Murder Mystery කියන්නෙ ගොඩක් අය බලන්න ආස බයයි, කුතුහලයයි දෙකම උපරිමයටම එකතුවෙච්ච Film Genre එකක්නෙ. ඉතින් අපි අද කතාකරන්න යන්නෙත් අන්න ඒ වගේ Murder Mystery Movie එකක් ගැන.
අනිත් Murder Mystery Movie වලට වඩා හැබැයි මේ චිත්‍රපටය විශේෂ වෙන්නෙ මේ චිත්‍රපටයට සත්‍ය සිදුවීමක් පදනම් වෙලා තියෙන එක. ඒ 1996 දී මුලු ඉන්දියාවම බයෙන් තිගස්සන්න හේතු වෙච්ච කතාවක්.
ඉතින් කතාව පටන්ගන්නෙ මෙන්න මේ විදියට. මේ චිත්‍රපටයේ දුවල දෙන්නෙක් එක්ක තනිවෙච්ච අම්මා කෙනෙක් ඉන්නවා. මෙයාලා හරිම දුප්පත් අය. කොටින්ම මෙයාලට කන්න දෙයක් ගන්නවත් සල්ලි නැති තරම් දුප්පත්. ඉතින් දරුවන්ව බඩගින්නෙ තියන්න කිසිම අම්මා කෙනෙක් කැමතිවෙන්නෙ නෑ. ඉතින් තමන්ගෙ දරුවන්ගෙ බඩගින්න නිවන්න මේ අම්මා කරන්නෙත් ගණිකා වෘත්තිය පටන් ගන්න එක. හැබැයි එයා එතනින් නතරවෙන්නෙ නෑ. මේ අම්මා තමන්ගෙන් සේවය ලබාගන්න එන අයව සිහි නැති කරලා එයාලගෙ රත්තරන් බඩු ඒව මේව හොරකම් කරනවා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සෙ එයා මේ මිනිස්සුන්ගෙ ඔලුවට පහරදීලා එයාලව මරල දානවා.
මේ විදියට හරිම Thrilling Beginning එකක් එක්ක පටන් ගන්න මේ චිත්‍රපටයේ නම Posham Pa.
මිනිහෙක්ව මරල දානව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. ඊටත් වඩා අමාරුයිනෙ එහෙම මිනී මැරුමක් කරලා බේරිලා ඉන්න එක. ඉතින් ඔයාලා හිතන්නෙ මේ අම්මා මෙහෙම මිනිස්සුන්ව මරල දාලා තමන්ගෙ දරුවො දෙන්නා එක්ක බේරිලා ඉන්නවා ඇත්තෙ කොහොමද?
අන්න ඒ ගැන දැනගන්න නම් ඔයාලා මේ කතාව දිගටම කියවන්න ඕන.
ඊලඟට පෙන්වන්නෙ හිරගෙයක් ඇතුලෙ මැරිලා ඉන්න කාන්තාවකගෙ මිනිය ලඟ අඬ අඬ ඉන්න ගැහැණු දෙන්නෙක්. මේ මැරිලා ඉන්න අම්මගෙ නම ප්‍රජා. ලොකු දුවගෙ නම රේඛා. පොඩි දූ ශිඛා. මේ අම්මයි දුවල දෙන්නයි මේ හිරගෙදරට එන්න හේතුව මොකද්ද කියන එක චිත්‍රපටයේ මුලදිම නම් ඔයාලට දැනගන්න ලැබෙන්නෙ නෑ. කොහොමහරි මේ සිදුවීම් අතරවාරයේම මේ හිරගෙදරට එනවා තරුණ ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක්. ඒ දෙන්න තමයි නේහා සහ ගුන්දීප්. මේ දෙන්න එන්නෙ වාර්තා චිත්‍රපටයක් හදන්න ඕන කරන විස්තර දැනගන්න බලාපොරොත්තුවෙන්. නේහා සහ ගුන්දීප් එන්නෙ ඇත්තටම ප්රජාගෙ ලොකු දුව වෙච්ච රේඛාව හමුවෙන්න. ඉතින් නේහා සහ ගුන්දීප් කතාබහ රෙකෝඩ් කරගන්න කැමරා එහෙම සෙට් අප් කරගන්න අතරවාරයේ රේඛාව අරගෙන ඔතනට පොලිස් නිළධාරිනියක් එනවා. නිදහසේ රේඛා එක්ක කතා කරන්න උවමනා නිසා ගුන්දීප් පොලිස් නිළධාරිනියට පොඩි පගාවක් දීලා එයාව එතනින් යවනවා. මෙතනදි අපි දකිනව මේ කාමරේ ඇතුලෙ ඉන්නෙ පූසෙක් දිහා රේඛා අමුතුම විදියට බලාගෙන ඉන්නවා.
නේහායි ගුන්දීපුයු රේඛාගෙන් කොච්චර ප්‍රශ්න ඇහුවත් රේඛා ඔව් ඔව් කියල විතරයි උත්තර දෙන්නෙ. මෙතනදි බලාගෙන ඉන්න අයට වගේම නේහාටත් තේරෙනවා රේඛාට මොකක් හරි මානසික අවුලකුත් තියෙනවා කියලා. නේහාට ටිකක් මේක නිසා තරහ යනවා. එයා තරහෙන්ම රේඛාගෙන් අහනවා “ඔයාලා ළමයි පස් දෙනෙක්ව මරලා දැම්මනෙ, ඇත්ත කියන්න” කියලා.
ඉතින් රේඛා නේහාගෙ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න 1977 අවුරුද්දෙ වෙච්ච සිද්දියක් විස්තර කරන්න ගන්නවා. එතකොට රේඛාට වයස අවුරුදු හතක් වගේ. ඒ වෙද්දි රේඛාගෙ අම්මා වෙච්ච ප්‍රජා ඩ්‍රග්ස් වලට ඇබ්බැහි උන ගණිකාවක්.
ඉතින් අම්මා ගණිකාවක් විදියට කාමරේ ඇතුලෙ වැඩ කර කර ඉද්දි බඩගිනි එන පුංචි රේඛා කුස්සියෙ සද්ද කර කර කෑම හොයනවා. ඕකට තරහ යන ප්‍රජා ඇවිත් රේඛාට හොඳටම ගහනවා. ඉතින් මේ සිදුවීම මතක් කරන ගමන් රේඛා නේහටයි ගුන්දීප්ටයි කියනවා “අවුරුදු හතේ ඉඳල මම බලන් හිටියෙ අම්මා මැරෙන්නෙ කවදද කියලා”
කොහොමහරි ඕක කියල කෑගහන්න පටන් ගත්තට පස්සෙ පොලිස් නිලධාරිනියක් ඇවිල්ල රේඛාව ආයෙ එයාගෙ කාමරේට ගෙනිහින් දානවා. රේඛාට කොහොමත් මානසික අවුලක් තියෙනවනෙ. කාමරේ ඇතුලෙදි රේඛාට එයාගෙ මැරිච්ච අම්මව මැවිල පේන්න ගන්නවා. අම්මා රේඛාට කතා කරල මෙන්න මෙහෙම කියනවා.
“උඹ ඒ කෙල්ලාට බොරු කිව්ව එක හොඳයි. කවුරු කොහොම ඇහුවත් පවුලෙ රහස් කාටවත් කියන්න එපා” කියලා.
මෙතනදි බලන් ඉන්න අපිට සැක හිතෙනවා එහෙනම් ඇත්ත මොකද්ද කියන එක?
කොහොමහරි ආයෙ පෙන්වන්නෙ අර මුලින්ම පෙන්නපු රේඛාගෙ අම්මා මිනිහෙක්ගෙ ඔලුවට ගලකින් ගහල මරලා දාන සිදුවීම. අම්මා මේක කරන වෙලාවෙ එතන හිටිය රේඛා කකා හිටපු බත් එකටත් ලේ බිංදු විසිවෙලා තියෙනවා. රේඛා ලේ වැටිච්ච බත් ටික අයින් කරල ඉතුරු ටික කනවා.
ප්‍රජා ඒ මරපු මනුස්සයව බෑග් එකක දාලා ඇලකට දාන්න යනවා.
පසුවදා නේහා සහ ගුන්දීප් මේ ප්‍රජා, රේඛා සහ ශිඛාගෙ නඩුව භාරව ඉඳපු අධි නීතීඥ තුමාව හම්බෙන්න යනවා එයාගෙනුත් මේ ගැන විස්තර අහගන්න.
2001 දි තමයි අශෝක් මේ නඩුව භාරගෙන තියෙන්නෙ. ප්‍රජා, රේඛා සහ ශිඛා කියන තුන්දෙනාටම විරුද්ධව තමා මේ නඩුව දාලා තියෙන්නෙ. වෙලා තියෙන්නෙ ප්‍රජා ඒ දවස්වල ඔය පොඩි පොඩි කම්කරු වැඩ කර කර ඉඳපු මිනිස්සුන්ගෙ දරුවන්ව හිඟා කන්න යොදවල තියෙනවා. ඊටපස්සෙ ප්‍රජා ඒ ළමයින්ගෙන් සල්ලි ඉල්ලගෙන ඒ ළමයිව මරල දාලා හංගල තියෙනවා.
දවසක් දෙකක් නෙවෙයි 1991 ඉඳල 1997 වෙනකම් ප්‍රජා මේ වැඩේ කරල තියෙනවා. ලමයි 50 දෙනෙක් මේ විදියට මරලා දාලා තියෙනවා. ඔය විස්තරේ දැනගන්න නේහා සහ ගුන්දීප් ප්රජාලගෙ ගෙදර හොයාගෙන එනවා. ඒ වෙද්දි ඒ ගෙදර වහලා දාලා තියෙන්නෙ. ඉතින් මේ දෙන්නා ඒ ගෙදර ලඟ කඩේකින් වගේම අසල ගෙදරකින් ප්රජාලගෙ විස්තර දැනගෙන තියෙනවා.
මෙතනදි ඒ මනුස්සය අමුතු කතාවක් කියනවා.
“ප්‍රජා ශිඛාට ආදරෙයි ගොඩක්. ඒත් එයා රේඛාට නම් හැමතිස්සෙම ගහනවා මම දැකල තියෙනවා” කියල.
ඉතින් මේක බලාගෙන ඉන්න අයටත් හරි ප්‍රශ්නයක් වෙනවා. ඇයි ප්‍රජා දරුවො දෙන්නට එහෙම දෙවිදියකට සැලකුවෙ කියන එක.
ඉතින් ඒ ගැන දැනගන්න වගේ අන්තිමේදි මෙයාලා තුන්දෙනාවම පොලිස් භාරයට පත්වෙන්න තුන්දෙනාම එක්කහු වෙලා කරපු වරද මොකද්ද කියල දැනගන්න ඔයාලත් Posham Pa බලන්නම ඕන කියල මම කියනවා!