මිලින්දගේ ටැටූ ශොප් එකේ ඕපනින් එක සුබ නැකතින් පැවැත්වුනේ සිකුරාදා දවසක උදේ වරුවේය. මිලින්ද ගෙදෙට්ටම ඇවිත් ඉන්විටේශන් එක දුන්න හන්දා විල්සනුත් චන්ද්‍රකාන්තිත් ඒ ඕපනින් එකට යන්න ගියාට නදීට නම් නිවාඩු ගන්න පුලුවන් විදියක් තිබ්බේ නැත.
එක පැත්තකින් රස්සාවට ගිය අලුත ය. පලවෙනි මාස හය ගෙවෙන තුරු එහෙම නිවාඩු ගන්න පුලුවන්කමක් නැත. අනික් අතට ඉතින් එක දවසක් හෝ මියුරුව දකින්න ලැබෙන්නෙ නැති එක ඉතින් දැන් හිතට දරාගන්න අමාරුය.
”මෙතන ලස්සනයි නේද?” මියුරු ඇහුවේ නදීගේ දෙනෙත් තමන්ට පිටුපසින් පෙනෙන හිරු බැස යන දර්ශනය වෙත එල්ල වී තිබෙනවා දැකය.
“ඔව්, රත්තරන් පාටයි” නදී කිව්වේ වෙනදාට ඇය මියුරු එක්ක කතා නොකරන අන්දමේ මුදු වඩා සුන්දර හඬකිනි. ඒ හඬත් වචනයත් නදී එක්ක තව තවත් ආදරයෙන් බැඳෙන්න උත්තේජනයක් වුණේය.
“ගෝල් ෆේස් කිට්ටුව එහෙම මීටත් වඩා ලස්සනට පේනවා ඇති සන් ඩවුන් එක. මම ගිය අවුරුද්දෙ ගියා යාලුවො එක්ක ට්‍රිප් එකක් යාලෙ. අපි හිටියෙ වයිල්ඩ් කෝස්ට් බයි ටෙන්ටඩ් ලොජ් කියල හොටෙල් එකක. මූදල ලඟයි. අපි හවස මූදෙ ඇවිදින්න ගියාම සන් ඩවුන් එක දැක්කා මාරම ලස්සනයි”
“ලංකාවෙ කොහෙත් ඉතින් ලස්සනයිනෙ. ලංකාවෙ ලස්සන නෑ කියල කියන්න තැනක් නෑ මං හිතන්නෙ. හැමතැනක්ම එක වගේ පුදුමාකාර ලස්සනයි”
“ඒ උනාට මට නම් ඒ හැමදේටම වඩා ලස්සන දෙයක් තියෙනවා” මියුරු කියන්නේ වඩා ආදරබරිත හඬකිනි.
“මොකද්ද?”
“ඔයා”
මියුරුගේ ඒ වචනත් හඬේ තැවරී තිබුණ ප්‍රේමයත් නදීගේ දෙනෙත් මියුරුගේ සුන්දර වත මතින් මෑත් කර වෙනත රැඳෙව්වේ ලැජ්ජාව නොඑසේනම් සබකෝලය හන්දාය. වත්තෙ කෙල්ලකට ඒ ලැජ්ජාව කොච්චර දුරට ගැලපෙනවද කියා හිතුණත් ආදරයක් ලඟ ආදරවන්තයෙකු ලඟ ප්‍රේමණීව වදන් හමුවේ ලැජ්ජා නොවී ඉන්න විදිය නදී දැන උන්නේ නැත.
“ඇයි බිම බලාගත්තෙ තරහරද?” මියුරු අහන්නේ නදී මින් පෙර කවදාකවත් කිසිවෙකුගෙන්වත් අසා නැති අන්දමේ මධුර මනෝහර හඬකිනි. කොළඹ සිපගෙන විත් ගත වැදෙන සීතල සුලඟටත් වඩා වැඩි සීතලකින් යුතු ඒ වචන තමන්ගේ ගත පුරා හිරිගඩු නංවනවා දැනුනත් නදී දිගටම බලාගෙන උන්නේ ඇත්තටම ලැජ්ජාව නිසාම පමණක් නොවේ. මේ මොහොතේ මියුරුගේ මුහුණ මත ආදරය ඕනවටත් වඩා ඇඳී තිබෙන බව දන්නා නිසාත් ඒ ආදරය ඉස්සරහා තමන් ඕනවටත් වඩා හැඟීම්බර වී ඔහුගේ ආදරය භාරගනු ඇතැයි යන හැඟීමත් බයත් නිසාවෙනි.
“ඔයා බිම බලාගෙන ඉන්නෙ මාත් එක්ක තරහ හන්ද නෙවෙයි, මං දිහාව බැලුවොත් ඔයා ඔය හිත අස්සෙ හංගගෙන ඉන්න ආදරේ එලියට පනියි කියන බය හන්දා බව මම දන්නවා”
මියුරු එහෙම කියද්දී නදීට තව දුරටත් බිම බලාගෙන ඉන්න හැටියක් තිබ්බේ නැත. තමන්ව එච්චර හොඳින් කියවන්නට පුලුවන් වූ කෙනෙකු තමන්ට මෙතුවක් කාලයකට හමුවෙලා නැති බව සිහිවෙද්දී මියුරු තමන්ගේ හිත අස්සේම හැංගිලා තියෙන හිතුවිල්ලක් එච්චර හොඳට කියවගත්තේ කොහොමද කියා නදීට හිතාගන්න පුලුවන් උනේ නැත.
“ඔයා හිතන්නෙ මං කොහොමද ඔයාගෙ හිත අස්සෙ හැංගිච්ච දෙයක් කියෙව්වෙ කියල මං හිතන්නෙ ඒක තමයි ආදරේ කියන්නෙ. මං සිංහලෙන් ලස්සනට දේවල් කියන්න දන්නෙ නෑ නදී. ඒ උනාට මං ඔයාට ඇත්තටම ආදරෙයි.
ඔයා මට කිව්වනෙ ඔයා කවදහරි බඳින්න හෙව්වෙත් එහෙම ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක්ව කියල. ඉතින් එහෙම එකේ මං මෙච්චර ආදරෙයි කියලත් ඔයාල පිලිගන්න බැරි ඇයි කියල මට තේරෙන්නෙ නැ’ කියා මියුරු මේසය මත තබාගෙන උන් අත් දෙක අස්සේ මූණ ඔබාගත්තේ මොන්ටිසෝරි යන පොඩි එවන් අඬද්දී මේසය උඩ අත් දෙක තියාගෙන ඒ අත් දෙක අස්සේ මූණ ඔබාගෙන ඉන්නවා වගේය.
නදී හිතුවේ ඇත්තටම මියුරු අඬනවා කියාය. එහෙත් මියුරුට කතා කරන්නටවත් ඔහුගේ සිනිදු කෙස් මත අත තබා ඔහුව නැගිට්ටවන්නවත් නදී උන්නෙ බයවෙලාය. මියුරු හීන් සැරේ හිස උස්සා බැලුවේ නදී මොකද කරන්නේ කියාය. ඒ කොල්ලන්ටම ආවේණික මන්දහාසයක් දෙතොල් මත තවරගෙනය.
“මං හිතුවෙ මං අඬනවා කියලා ඔයා මාව නළවයි කියල” ඔය ඉතින් ආදරණීය නෝක්කාඩුය.
“ඔයාව හුරතල් කරාල හොඳටම” නදි කියන්නේ මියුරුගේ මේ හැසිරීම් නිසා දෙතොල් මත ඇඳෙන්නට වෙර දරන හිනාවන් අපහසුවෙන් සඟවගන්නට අසීරු උත්සහයක යෙදෙමින් ය.
“කවුද?”
“මැඩම් තමයි”
“අම්මලා ඉතින් පුතාලට ආදරෙයිනෙ කොහොමත්, අම්මගෙන් පස්සෙ ඉතින් අම්මා වගේ ආදරේ කරන කෙල්ලෙක්ව තමා හොයාගන්න ඕන”
“ඉතින් හොයාගන්නකො”
“හොයාගෙන නම් තමයි ඉන්නෙ, එයාව මේ කන්වින්ස් කරගන්න එකනෙ අමාරුව.”
“මොකට කන්වින්ස් කරගන්නද?”
“ආදරේ කරන්න” කියා මියුරු කිව්වයින් පස්සෙ නදී ආයෙම වරක් අහක බලාගත්තේ මියුරුගේ දෙනෙත් අස්සෙන් ඇදී එන ආදර කිරණ මගහරිනු පිණිසය. වේටර්වරයා මියුරු ඇණවුම් කල කෑම බීම අරගෙන ආවෙ ඒ වෙලාවේය.
ස්ටාර්ටර්ස් වලට මියුරු අරගෙන තිබ්බේ ලංකාවේ වඩේ වර්ග කිහිපයක් එක්කර තනා තිබූ Colombo 7 වඩේ ප්ලැටර් එකක් ය. ඒ උලුඳු සහ මසාලා වඩේ කන්නට එන ග්‍රීන් චිලි චට්නි, බීට් රූට් සහ අනියන් සැලඩ් එක සමගය.
“මේ චට්නි එකත් එක්ක කන, ඔයා ආසද වඩේ කන්න?” කියා මියුරු අහන්නේ නදීගේ ප්ලේට් එක මතින් වර්ග දෙකෙන්ම වඩේ එක බැගින් තබමිනි.
“ආස උනත් නැතත් ඉතින් අපි හැමදාම වගේ කන්නෙ මේවා තමයි” කියා කියන්න තිබුණා නම් හොඳ බව දන්නවා උනත් නදී එහෙම කරේ නැත. එහෙම කරන්න පුලුවන්කමක් නැත. මියුරුට ආදරේ බව කියන්න හිත දෙන්නේ නැති බව ඇත්තක් උනත් මියුරුව ජීවිතයෙන් ඈත් කරන්නද නුපුලුවන් බව නදී දනී. ඉතින් එහෙම එකේ මේ ඇත්ත කියන්න ගිහින් පැත්ත නැතිකරගන්න නදීට බැරිය.
නදී මේ සියල්ල මතක් කරමින් උන්නේ කාමරයේ ඇඳේ හාන්සි වී ඇස් දෙක පියාගෙනය. ඒ ඇත්තටම වෙච්ච දේවල්ද කියා හිතන්න බැරි තරම් ලස්සන නිමේශයන් බව නදී දනී.
“උඹ එන්නෙ නෑ කිව්වොත් හැබැයි අරූගේ හිත කැඩෙයි, හැබැයි උඹ නේන එක හොඳයි. උඹ මේ එහෙම තැනක නතර වෙන්න ඕන එකියක් නෙවෙයි” කියා ආච්චි මිලින්ද ගැන කියද්දී නදී උන්නේ තමන් ගන්න ඕන කොයි පැත්තද, තමන් නතර විය යුත්තේ කොතනද කියා හිතමිනි.
“ආදරේ කියන්නෙ ඔප්ශන් එකක් කියල කියන්න බෑනෙ. මිලින්ද එක්ක යාලු නොවී මියුරු එක්ක යාලුවෙනවනම් ඒක කරන්න ඔයා එයාව මට ගැලවෙන්න පාරක් විදියට හිතල නෙවෙයි, එයාට ඇත්තටම ආදරේ කරනවනම් විතරනෙ.
සල්ලි තිබ්බත් නැතත් ඕනම මනුස්සයෙක්ට ලැබෙන්න ඕන ඇත්ත ආදරයක්”
එදා නදී රෙස්ටුරන්ට් එකේ හිඳ ගෙදර යන්න එලියට එද්දීත් තමන්ට අඩියක් දෙකක් ඉදිරියෙන් ගොස් ලිෆ්ට් එකට නගින්න බොත්තම ඔබන මියුරු දෙස බලාගෙන එහෙම කල්පනා කලාය.
“ඔයා මට කවදහරි ආදරේ වෙයි. එතකනුත් ඉන්පස්සෙනුත් මං ආදරෙයි” කියා මියුරු ලිෆ්ට් එක ඇතුලේ තමන්ට එහා පැත්තෙ හිටගෙන උන් නදීගේ ඉඟ වටා අත යවා තමන් වෙත හේත්තු කරගෙන ඇගේ හිස මත හාදුවක් තිව්වේ එහෙම කියමිනි.
ආදරය කියන්නේ දෙන්නෙක් අතර ඇතිවෙන රසායනික හැඟීමක් බව මෙතුවක් කාලෙකට හිතාගෙන උන්නාට ආදරය වනාහී කොච්චර දේවල් නම් හිතන්න ඕන දෙයක්ද කියා නදී තේරුම් ගනිමින් උන්නේත් ජීවිතේ පලවෙනි වතාවටය.
හිත ගිය තැන මාළිගාව කිව්වත් ආදරයක් සාක්ශාත් වෙන්නේ හිතත් යතාර්තයත් එක තැනකට ආ පස්සේ බව නදී තේරුම් ගත්තේ මියුරුත් මියුරුගේ ආදරයත් නිසාවෙන්මය.
මේ නිහඬ බව ඒ නිසාමය.