කොළඹ රස්සාව

“කොළඹ රස්සාවල් වලට යනවා කියන්නෙ ඉතින් මොනවා කරන්න යනවද කියල අපි දන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නේ?

ඔය කොළඹ බෝඩිං වෙලා රස්සාවලට යන කෙල්ලන්ට අන්තිමේ වෙන්නෙ තාත්තල නැති දරුවො එක්ක බඩ වෙන්න තමයි” කියලා නදුනි කොළඹ රස්සාවකට යන්න ලෑස්ති වෙයිද කතා කිව්වෙ නැන්දලා. නැන්දගෙ පොඩි දූගෙ වයසෙ තමයි නදුනි. දෙන්නා ඒ ලෙවල් කරෙත් එකට. නඳුනිට ලොකුවට කැම්පස් යන උවමනාවක් එහෙම තිබ්බෙ නෑ. එයාට ලොකුවටම උවමනා වුනේ රස්සාවකට යන්න.

අම්මලා තාත්තලත් එහෙම ලොකුවට ඉගෙන ගත්ත මිනිස්සු නොවිච්ච හින්දමද මන්දා නදුනිගෙ ඒ තිරණේට විරුද්ධ උනේ නෑ ගෙදරින්. ඒ විදියට තමයි ඉස්කෝලෙ යන කාලෙ ඉඳල ජායාරූප තරගවලින් ඉස්කෝලේ ඕනවටත් වඩා ආඩම්බරේට පත් කරපු නදුනි ඇඩ් ඒජන්සි එකක රස්සාවකට ආවෙ. නදුනි රස්සාවකට සිලෙක්ට් වෙලා කියල දැනගත්ත ගමන් අල්ලපු ගෙදර ඉන්න නැන්දට ඉතින් කොළඹ ගැන කියන්න දාහක් කතා කිව්වා.

“පවුලෙ එකම ලමයවත් ඔහොම අයාලෙ යවනවා කියන්නෙ අනේ මන්දන්නෙ නෑ බං. උබල නිකන් හරියට මේ රටේ ලෝකෙ වෙන ඒවා නොදන්නවා වගේ නෙ හැසිරෙන්නෙ. ගම්වල ඉඳල කොළඹ රස්සාවලට යන කෙල්ලන්ට බේරෙන්න හම්බෙන්නෙ නෑ කොළඹ කාක්කන්ගෙන්” කියලා කතා කියද්දි අම්මයි තාත්තයි බය වෙනවා කියල දන්නවා උනත් නදුනි නැන්දලා එක්ක පැටලෙන්න ගියේ නෑ.

“මොකටද නිකන් ඔය ඕන නැති කතා” කියලා හිතලා නදුනි සද්ද නැතුව කොළඹ යා ගමනට ලෑස්ති උනා.

ඔෆිස් එකට ලඟින්ම බෝඩිම හොයාගන්න පුලුවන් වෙච්ච එක ගැන සන්තෝස උනත් නදුනිව බෝඩිමේ දාලා ආයෙ ගමට යන්න උනාම නම් අම්මගෙ ඇස්වල කඳුලු පිරුණා.

“කවුරු මොනව කිව්වත් මගෙ පුතා ගැන මං දන්නවා. ඒ උනාට ඉතින් මේ නොදන්න පලාත්වල ඉන්න මිනිස්සු මොන වගේද කියන්න අපි දන්නෙ නෑනෙ පුතේ. ඒ හන්දා මයි පුතා පරිස්සමෙන් ඉන්න” කියල ඇස්වල කඳුලු පුරවගෙන අම්මා කියද්දි තාත්ත නම් කලේ ඔලුව අතගාලා බෝඩිමෙන් එලියට ගිහින් අඩිය ඉක්මන් කල එක.

කොහොම හරි කොළඹට පුරුදු වෙන්න ගමේ ඉඳන් ආව නදුනිට අමාරු උනේ නෑ. ඔෆිස් එකේ වැඩත් එක්ක, ශුට්ස්, ඉවෙන්ට්ස් එද්දි නදුනි වැඩ කරගෙන ඉස්සරහට ගියේ හරිම ආසාවෙන් කැමැත්තෙන්.

නදුනි ඩිරෙක්ට් කරපු ඇඩ්ස් එහෙම ටීවි එකේ යද්දි ඒව හරි ලස්සන බව, නදුනි දක්ශ බව ගමේ හැමෝම කියද්දි උනත් අල්ලපු ගෙදර නැන්දලා නම් කිව්වෙ වෙනම කතාවක්.

“ඔය මහ රෑ දෙගොඩහරිය වෙනකම් කොල්ලො එක්ක ශූටින් යනවා කියන්නෙ ආයෙ ඉතින් ගන්න දෙයක් නැතුව ඇති. අපි නොදන්නවද ඔය ඔහොම ශූටින් කියල යන කෙල්ලො කරන දේවල්” කියල ගම පුරා තැන් තැන්වල කිය කිය  යන්න නම් නැන්දා අමතක කරේ නෑ.

මිනිස්සු ඕව විශ්වාස කරාද නැද්ද කියලා හොයන්නවත් නදුනි නම් මහන්සි උනෙත් නෑ. තමන් දන්නවා නම් තමන් හරි බව ආයෙ මොකටද ඕව ගැන හිතන්නෙ කියලා තමයි නදුනි තමන්ගෙ ගෙදර අයටත් කිව්වෙ.

ඔහොම ඉද්දි තමා නැන්දගෙ දූ වෙච්ච පබසරා ටීවී එකේ තිබ්බ අවුරුදු කුමාරි උත්සවේකට යන්න ගියේ. කොහොමහරි ලස්සන හන්දම පබසරාට අන්තිම දොලොස් දෙනා වෙනකම් එන්නත් පුලුවන් උනා. පබසරාව ටීවි එකේ පෙන්නද්දි නැන්දා කලේම ගම වටේ ගිහින් පබසරාව ටීවි එකේ පෙන්නන වෙලාවක් කට්ටියට කිය කිය ගිය එක.

නදුනි ඉන්න දවසකත් නැන්දා ආවෙ “ඔන්න හෙටත් අපේ කෙල්ලව ටීවි එකේ පෙන්නනවලු” කියාගෙන ආඩම්බරෙන් හිනා වෙවී.

අම්මලා නම් මුකුත් නොකිව්වට මෙච්චර දවසක් තමන්ට කිව්ව කතාවලටත් එක්ක උත්තර දෙන්න හිතාගෙනමයි නදුනි නැන්දා එක්ක කතා කරන්න හිතුවෙ.

“දැන් ඔය ටීවි එකේ පෙන්නන ගෑණු ළමයින්ට කොළඹ එහෙම පරිස්සම් ද නැන්දෙ?”

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles