තෙල් බින්දුවක්වත් නැතුව හදන මුරුංගා කොළ මැල්ලුම

විටමින් C, විටමින් A, පොටෑසියම්, කැල්සියම් සහ ප්‍රෝටීන් වලින් අනූන හරිම වටිනා වගේම අපි ඕනැම කෙනෙක්ට හරිම පහසුවෙන් ගෙදර වගා කරගන්න පුළුවන්, දැරිය හැකි මිලකට මිලදී ගන්න පුළුවන් එළවළුවක් විදිහට මුරුංගා හඳුන්වන්න පුළුවන්.

මුරුංගා කොළ මැල්ලුම, මුරුංගා ව්‍යාංජනය වගේ අපිට පුරුදු ක්‍රම වලින් එහා ගිහිල්ල ටිකක් වෙනස් රසකට පෝෂණ ගුණය ආරක්ෂා කරගෙන මුරුංගා කොළ ව්‍යාංජනයක් තෙල් නැතුව හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ.

හෘද රෝග සහ ආතරයිටීස් ඇතිවීමේ අවධානම අඩුකරන්න, පිළිකා සහ දියවැඩියාව වැනි රෝග වලින් ආරක්ෂාව ලබාදෙන්න, මොළයේ සහ වකුගඩු වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරගන්න වගේම මානසික ආතතිය අඩු කරගන්න උදව් කරන මුරුංගා මේ විදිහටත් හදල බලන්න කියල අපි ඔබට මතක් කරන්න කැමතියි.

එහෙනම් මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

කතුරු මුරුංගා කොළ කෝප්ප 02 ½ ක් 

වියළි මිරිස් කරල් 02 ක් 

අමු හෝ වියළි රටකජු කෝප්ප ¼ ක් 

සූදුරු තේ හැඳි ¼ ක් 

ලුණු කුඩු 

සිහින්ව ලියාගත් රතුළූණු ගෙඩියක් දෙකක් 

වතුර 

සාදාගන්නා ආකාරය 

මුලින්ම කතුරුමුරුංගා කොළ ටික හොඳින් සෝදා වතුර බේරෙන්න තබාගන්න.

ඊළඟට භාජනයක් ලිප තබා එයට අමු රටකජු එකතු කර රටකජු බැදෙන තෙක් තබාගන්න.

ඔබ යොදාගන්නෙ වියළි රටකජු නම් මේ පියවර මඟහරින්න ඔබට පුළුවන්.

ඊළඟට බැදගත් රටකජු ඉවත් කර එම භාජනයටම වියළි මිරිස් කරල් දෙක සහ සූදුරු එකතු කර තත්පර කීපයක් බැදගෙන ලිපෙන් ඉවත් කරගන්න.

දැන් මේ බැදගත් රටකජු, සූදුරු සහ වියළි මිරිස් නිමෙන්නට තබා නිමුණු පසු සියල්ල එක්කර බ්ලෙන්ඩරය භාවිතයෙන් කුඩා කැබලි සේ කොටාගන්න.

තවත් භාජනයක් ලිපතබා එයට කතුරුමුරුංගා කොළ සහ වතුර කෝප්ප ¼ ක් එකතු කර මද ගින්නේ විනාඩි 05 ක් 07 ක් පමණ හොඳින් හැඳිගාමින් පිසගන්න.

විනාඩි 05 කට පමණ පසු ලිප නිවා එයට ලියාගත් රතුලූණු, කුඩු කරගත් රටකජු වියළි මිරිස් මිශ්‍රණය එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

ඔන්න දැන් කතුරමුරුංගා කොළ මැල්ලුම සූදානම්.

එහෙනම් මේ විදිහටත් කතුරුමුරුංගා හදල බලන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles