ආදරේ අවම සදාචාරය

“මං ඔයාට ආදරේ කිව්ව පමණින් ඔයා මට ආදරේ කියන්න ඕන කියලා එකක් නෑ. ඒකපාර්ශ්වීය ආදර කතාත් ඕන තරම් මේ ලෝකෙ තියෙනවානෙ. හැබැයි ඔයා තේරුම්ගන්න ඕන දෙයක් තමයි ඔයා මට ආදරෙ නෑ කියලා දැන දැන වුණත් මම ඔයාට ඇවිල්ලා ආදරේ කියලා කිව්ව එක පිටිපස්සෙ මට වටින හැඟීමක් තියෙනවා කියන එක.

ඔයාට මට ආදරේ කරන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි අඩුම ගානෙ ඔයාට පුලුවන් නේද මං ඒ ඔයා එක්ක බෙදාගත්ත හැඟීමට අඩුම තරමෙ වටිනකමක් දෙන්න. තැන් තැන්වල ගිහින් මං ඔයාට ආදරේ කිව්වා, මං ඔයාගෙ පස්සෙන් එනවා වගේ කතන්දර නොකියා ඉන්න? මාව අපහසුතාවයට පත් නොකර ඉන්න?

ඒක මහ පිරිමිකමක්වත්, බෝසත්කමක්වත් නෙවෙයි. ඒක තමයි අවම සදාචාරය”

මින්දුලී මෙහෙම කිව්වෙ රෙහාන් තැන් තැන්වල ගිහිල්ල “මින්දුලී මගෙ පස්සෙන් එනවා, මට ඕනම වෙලාවක එයාට කියලා ඕනම දෙයක් කරගන්න පුළුවන්” කියලා තියෙන බව දැනගත්තයින් පස්සෙ.මින්දුලී ඇත්තටම රෙහාන්ට සෑහෙන ආදරේ කලා. මින්දුලීට රෙහාන්ව හම්බුනේ කැම්පස් එකේදි. උස ලස්සන, මොඩ්ල් ලුක් එකට රෙහාන්ට කැම්පස් එක අස්සෙ වහ වැටිච්ච කෙල්ලො ඕන තරම් ඉන්නවා කියලා දැන දැනත් මින්දුලී රෙහාන්ට ආදරේ කලා.

“රෙහාන් කාරයට දකින දකින තැන කෙල්ලො. ඌ අර ඩෙමොන්ස්ට්‍රේටර් කෙනෙක් එක්කත් කොක්ක ගහලා කියල මට ඇහුනෙ කැන්ටිමේදි කොල්ලො කතා වෙනවා. ඌ හෙනට හිතන් ඉන්නවා ඌ ගැන”

“මිනිහා දන්නවා මිනිහගෙ පෙනුමයි, ශාරුක් කාන් වගේ දෙන පන්ච් ලයින් ටෝක්ස් ලඟ කෙල්ලො ඇඹරෙනවා කියලා”

“ඒක දැන දැන අපේ ගොන් නෑම්බිත් මේ ඌට ආදරේ කරන එකනෙ ප්‍රශ්නෙ. කවි ලියන්නෙයි, ලස්සන ලස්සන ලව් කෝට්ස් ලියල පින්ටරස්ට් එකෙන් හොයාගත්ත පින්තූර එක්ක ඉන්ස්ටා එකේ අමුණන්නෙයි ඌ ගැන තියෙන ආදරේටලුනෙ. ඔහොම ලව් එකක් ගැන මං මේ ඇහුවමයි”

“මේකිට වෙලා තියෙන්නෙ මේකි කියවනවා වැඩියි. පොත්වලින් අරගන්න හැම මගුලම ඔලුව අස්සෙ ඔබාගත්තමයි ඕනවට වඩා ක්‍රියේටිව් වුනාමයි තමයි ඔය වගේ මනස්ගාත ඔලුවෙ පිරෙන්නෙ” කියලා බෝඩිමේ යාලුවො කීප විටේ කිව්වත් මින්දුලී නෙවෙයි තමන්ගෙ ඔලුව අස්සෙ රෙහාන් ගැන පිරිච්ච ආදරේ අඩුවක් කරේ.

කැම්පස් එකේ මුල් අවුරුද්දෙ ඉඳලම රෙහාන්ට ආදරේ කල මින්දුලීගේ හිතේ කිසිම දවසක රෙහාන්ව අයිතිකරගන්න හැඟීමක් තිබ්බෙ නෑ. මින්දුලී හිතුවෙයි යාලුවො එක්ක කිව්වෙයි “ආදරේ කියන්නෙ අයිතිකරගන්න එකම නෙවෙයිනෙ. ආදරේ නම් එතන අයිතිකරගන්නවා කියන හැඟීමක් තියෙන්න බෑ මම හිතන්නෙ.අපි අයිතිකරගන්න හිතන්නෙ ආස කරන දේවල්. රෙහාන් මට ආදරේද නැද්ද කියන එක මට ඉම්පෝටන්ට් නෑ. මම එයාට ආදරෙයි. ඒක මේ එයා එක්ක අෆෙයාර් එකක් පටන් ගන්න, කවදහරි එයාව බඳින්න හිතාගෙන කරන එකක් නෙවෙයි. මං එයාට ආදරෙයි. එච්චරයි” කියලා මින්දුලී කොච්චර කිව්වත් යාලුවො නම් හිතුවෙ “ආදරේ කිසිම දවසක ඒකපාර්ශ්වීය වෙන්න බෑ, ආදරේ කියන්නෙ දෙන්නට දෙන්න අතරෙ බෙදාගන්න හැඟීමක් විතරයි. එහෙම බෙදාගන්නෙ නැතුව ආදරයකට පවතින්න බෑ” කියලා.

ඔහොම ඉද්දි තමයි රෙහාන්ටයි මින්දුලීටයි දෙන්නටම එකම ආයතනයේ ඉන්ටර්න්ශිප් එකකට යන්න පුලුවන් වුනේ. කැම්පස් එකේදි එහෙම ලොකුවට කියලා හිතවත්කමකින් රෙහාන් එක්ක සෙට් වෙන්න චාන්ස් එකක් ආවෙ නැති උනාට ඔෆිස් එකේදි ගෙවිච්ච මාස කීපය ඇතුළත රෙහානුයි මින්දුලී දෙන්නා සෑහෙන ලං වුණා.

ඔෆිස් එකෙන් පස්සෙ එලියට ගිහින් කෝපි එකක් බොන්න, පොත් ගන්න යන්න වගේ දේවල් වලදි චුට්ට චුට්ට ලං වෙද්දි තමන් රෙහාන්ට ඉස්සරටත් වඩා ආදරෙයි කියන එක වචනෙන් නොකිව්වත් හැඟීම්වලින් නොපෙන්වා ඉන්න එක, රෙහාන්ව දකිද්දි ඇස් දිලිසෙන එක නතරකරගන්න මින්දුලී දැනගෙන උන්නෙ නෑ. එහෙම ඉන්න දවසක තමයි රෙහාන් දවසක් ඇහුවෙ “ඔයා මොනවහරි දෙයක් හිතේ තද කරගෙන ඉන්නෙ?” කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරේ විදියට මෙච්චර දවසක් හිතේ හිරකරගෙන උන්නු “මං ආදරෙයි ඔයාට’ කියන හැඟීම එළියට දාන්න මින්දුලී දෙපාරක් හිතුවෙ නෑ. එවෙලෙ හිනාවෙලා රෙහාන් ඒක භාරගත්තා. අනිත් පැත්තට “මාත් ආදරෙයි” කියලා නොකිව්වට මින්දුලී ඒ ගැන අහිතක් හිතුවෙ නෑ.

“ආදරේ කියන්නෙ කිව්වට පස්සෙ හිතට හරි සැනසීමක් ගෙනත් දෙන හැඟීමක්” කියලා හිතුවට ඒක එහෙමම නෑ කියලා මින්දුලීට තේරුණේ ඉන්ටර්න්ශිප් එක ඉවරවෙලා ආයෙ කැම්පස් එකට යද්දි රෙහාන් හැම තැනම ගිනි තියලා කියලා දැනගත්තම.

“ඔයා ලැජ්ජ නැතුව අරූට ආදරෙයි කිව්වද?”කියලා බෝඩිමේ යාලුවො බනිද්දි පවා මින්දුලී කලේ සද්ද නැතුව උන්නු එක. ඒත් රෙහාන්ගෙ යාලුවො තමන්ව දකිද්දි “ආහ් නංගි අපිටත් ආදරෙයි කියනවද? කොල්ලන්ට ආදරෙයි කියන්න ලැජ්ජ නැද්ද? දැන් කාලෙ කෙල්ලොනෙ බං කොල්ලො පස්සෙ යන්නෙ, අපෙ පස්සෙ එන්න තමා එකෙක්වත් නැත්තෙ” කියලා විහිලු කරද්දි තමන් මේ ගැන රෙහාන් එක්ක කතා කරන්න ඕන කියලා මින්දුලී හිතුවා.

“ඒක මහ පිරිමිකමක්වත්, බෝසත්කමක්වත් නෙවෙයි. ඒක තමයි අවම සදාචාරය” කියල මින්දුලී කියද්දිත් රෙහාන් කලෙ නෝන්ඩියට හිනාවෙච්ච එක.

ආදරේ කියන එක වරදක්ද කියන එක මින්දුලී ආපහු වතාවක් හිතුවෙ ඒ නෝන්ඩි හිනාව දිහා බලාගෙන ඉන්න ගමන්මයි.

——————————————————————————————————————

“සමහර වෙලාවට අපි කෙනෙක්ට ආදරේ කියලා කියන්නෙ ඇත්තටම හැඟීමකින්. අනිත් පාර්ශ්වය අපිට ආදරේ කරන්නෙ නෑ කියලා දැන දැනම එයාට ආදරෙයි කියලා කියන්න ලොකු හිතේ හයියක් තියෙන්න ඕන.

කෙනෙක් ඇවිල්ලා ඔයාට ආදරේ කිව්වොත් ඒකෙ තේරුම ඔයාත් එයාට ආදරේ කරන්න ඕන කියන එක නෙවෙයි.

ඔයාට ඇවිල්ලා ආදරේ කිව්වට ස්තුතියි කියන්න.

ඒ ආදරේ පරිස්සමට රකින්න. තමන්ට කෙනෙක් ආදරේ කිව්වනෙ කියලා සතුටු වෙන්න. ස්තුතිවන්ත වෙන්න.

ඒක තමයි වටිනම දේ. ආදරෙන් පිදුම් ලබන්න ඕන අන්න ඒ වගෙ මිනිස්සු”

More Stories

Don't Miss


Latest Articles