තරිඳු කෝපි එකක් එක්ක කෙටි කෑමක් ඕර්ඩර් කරලා මේසෙකින් ඉඳගත්තා. අද දවසම වෙහෙසිලා ඉන්න නිසා තරිඳු තීරණය කරලා තිබුණේ රෑ කෑම එකත් එලියෙන්ම අරගෙන යන්න. අද තරුෂිටත් රාත්රී වැඩ මුර තියෙන දවසක් නිසා තරිඳු ට උයන එක කොහොමටත් කම්මැලියි. තරිඳු නිදහසේ කෝපි කෝප්පය බොන අතරේ තරුෂිට වට්සැප් පණිවිඩයකුත් යැව්වා. තරුෂිගෙන් පිළිතුරු ලැබුනේ ටික වෙලාවකින්
” උයන්න කම්මැලි.. ඉන්දියන් තෝසේ පාරක් දාන්නම් නෝනා ඈ…?”
තරිඳු එහෙම කිව්වාම තරුෂිගෙන් සමාව අයදින මුහුණකුත් එනවා. තරිඳු තරුෂිට තේරුම් කරා ජීවත් වෙනකොට මෙහෙම වරුවක් පහු වෙන එකත් ඇත්තටම සැහැල්ලු බව. තරිඳු කෑමත් අරගෙන ගෙදර ගිහිල්ලා, ඇඟ සෝදගෙන රූපවාහිනීය ඉස්සරහ ඉඳගන්නකොටමයි ගේට්ටුව ළඟ සීනුව නාද වෙනවා ඇහුනේ. ඒත් එක්කම තරිඳු ගේ ජංගම දුරකතනයත් නාද වුණා.
” ලොකු මල්ලී … අපි මේ ගේට්ටුව ළඟ … කෝ .. ඔයාලා ගෙදර නෙවෙයිද ?..”
කඩාගෙන පහත් වෙන්න යන මරාලේ තරම තේරුණත් , එවෙලේ ගේට්ටුව විවෘත කරන්නේ නැතුව ඉන්න තරිඳු ට පුළුවන් වුනේ නැහැ. ලොකු අක්කයි, පොඩි අක්කයි දෙන්නා ඇවිල්ලා හිටියේ තනියම.
” කෝ අයියලා… පොඩි තුන්දෙනා කෝ …”
තරිඳු පුදුමෙන් වගේ අහනකොට අක්කලා තරිඳු ට පිළිතුරු නොදීම ගෙට ඇතුළු වුනා. තරිඳුත් අක්කලා දෙන්නාගේ පස්සෙන් ගෙට ඇතුළු වුනා.
” කෝ අර කුමාරිහාමි …”
කාමර දෙකකටම එබිලා ලොකු අක්කා තරිඳු ගේ ඇඟට කඩාගෙන පැන්නා. තරිඳු ඒ විමසීම බලාපොරොත්තු වෙලා උන්න නිසාම, ඒ වග ගාණකට නෑ වගේ අසුනකට වැටුණා. පොඩ් අක්කා කාමරෙන් කාමරේ එබි එබි යන විදිය තරිඳු කලකිරීමෙන් බලාගෙන හිටියා.
” කෝ මල්ලී තරුෂි ..?”
පොඩි අක්කත් ඒකම අහන ගමන් තරිඳු ගේ ඉස්සරහින් ඉඳගත්තා.
” එයා නයිට් අක්කේ අද…”
තරිඳු කිසිම බරක් පතලක් නැති හඬකින් එහෙම කිව්වා. ඒත් අක්කලා දෙන්නා ඒක ලෝකේ තියෙන ලොකුම බර කියලා හිතලායි ගත්තේ. ලොකු අක්කා යක්ෂාවේශ වෙලා වගේ තරිඳු ළඟින් ඉඳගත්තා.
” කිව්වේ බැන්දාට පස්සේ නයිට් කරන්නේ නැ කියලා නේද මහ ලොකුවට ?? ඈ.. එහෙනම් ඇයි ? බලනවා.. අද රෑට තමුසේ බඩගින්නේ…. ඒ මදිවට ඇඟේ හැටි …. අර කුමාරිහාමි සැපට කකා බිබී , සැප අරගෙන එහෙට වෙලා ඇති…රෑ තිස්සේ මිනිස්සුන්ගේ ඇඟ පත අත ගගා මොන නෙය්යාඩගම් නටනවාද කියල කවුද දන්නේ මල්ලි. .. ඒකනේ මම සිංහලෙන් කිව්වේ…, මේ මඟුල කෙරෙන්න නම් තරුෂි ජොබ් එකෙන් අයින් කරගන්න ඕනි කියලා.. කසාද් බැන්දා කියලත් නෑ ඔයාට බෝඩින් ජීවිතයක් නේ ගෙවන්න වෙලා තියෙන්නේ….”
අක්කාගේ ආදරේ විශ කොයි තරම්ද කියලා තරිඳුට නොවැටහෙනවා නෙවෙයි. ඉස්සර ඉඳන්ම අම්මා වගේම අක්කලා දෙන්නටත් උවමනා කලේ තමාව ඔවුන්ට අවනත පුතෙක්, මල්ලී කෙනෙක් කරලා තියගන්න එක බවත් තරිඳු ට මතකයි.තරුෂි එක්ක විවාහය කරගන්න තීරණය කරපු වෙලාවේ අක්කලා දෙන්නයි අම්මයි ඒ තීරණේ වෙනස් කරන්න නොකරපු දෙයක් නැහැ. වාසනාවට තරිඳුගේ තාත්තා තරිඳු ගේ පැත්තේ උන්න නිසා තරිඳු ශක්තිමත් වෙලා තරුෂි එක්කම විවාහ වෙන තීරණය ගත්තා.
” ඔයා ඔයාගේ හිතට හරි කියලා දැනෙන තීරණය ගන්න පොඩි පුතා.. මම අම්මාව බලාගන්නම් … අම්මා ගැනවත්, අක්කලා ගැනවත් හිතලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට තියෙන කාලේ අඳුරු කරගන්න ඕනෑ නැහැ….”
තාත්තා එහෙම කියපු දවසේ හිතට දැණුන ශක්තිය සහ හැඟීම ක්ශය වෙන්න තරිඳු ඉන් පස්සේ කවදාවත් ඉඩ දුන්නේ නැහැ. අක්කලාට ඕනි දෙයක් කියන්න ඉඩ දීලා තරිඳු අක්කලාටත් එක්කම ආයෙම කෑම ඕර්ඩර් කලා.
ඒ අතරේ ලොකු අක්කාගේ ස්වාමි පුරුෂයාගෙන් ඇමතුමක් ආවා. අක්කා අඬාගෙන බිම ඉඳගත්තා.
” වෙලා තියෙන්නේ මොකක්ද කියනවකෝ අක්කා ….”
තරිඳු උන්නේත් කලබලෙන්.
” අනේ පොඩි බබා ඇඳෙන් වැටිලා.. ලේ යනවා ඉවරයක් නෑලූ … ප්රයිවට් ගෙනිච්චාම එහෙමම ගවර්මන්ට් හොස්පිට්ල් ගෙනියන්න කියලා … අනේ මට ගෙදර යන්න ඕනි මල්ලී …”
තරිඳු කඩිමුඩියේ අක්කාවත් එක්කගෙන ගෙදර යන්න පිටත් වුණා. ඒ අතරේ තරුෂිට තුමක් අරගෙන සිදුවීම කියන්නත් තරිඳු අමතක කලේ නැහැ. පැය තුනකින් ඔවුන් නුවරට ළඟා වුණා.
” බයවෙන්න දෙයක් නෑ… නර්සස්ලා , ඩොක්ටර්ස්ලා ඉන්නවා.. බබාව තියටර් ගත්තා… තරුෂි නංගීගේ යාලුවෝ දෙන්නෙක්ම ඇවිල්ලා කතා කලා. ප්රයිවට් ඇඩ්මිට් නොකලා කියලා ඔයා හිත කලබල කරගන්න එපා… එවෙලේ ඒ නර්සින් හෝම් එකේ ඩොක්ටර් කෙනෙක්වත් හිටියේ නැ.. බලන්න මෙහෙ රෑ කියලා නෑ, කට්ටිය වැඩ… දැන් ටිකකට කලින් ගෙනාවා බෝතල් පියනක් ගිලිලා ළමයෙක් .. ආං ඒක එලියට අරගෙන බබාව ඉන්ස්පෙක්ශන් වලට වෝර්ඩ් එකට දැම්මා… අපි හිතුවට මෙතන ලොකු රාජකාරි කන්දක් එක්ක කැප වෙන මිනිස්සු පිරිසක් ඉන්නවා….”
අයියා අක්කට කියනකොට, අක්කා ලැජ්ජාවෙන් වගේ තරිඳු දිහා බැලුවා. හිත රිදවගෙන ඉන්න අක්කාව තවත් රිදවන්න අකමැති වුන නිසාම, තරිඳු වෙනසක්වත් නොපෙන්වාම උන්නා. පාන්දර හය වෙනකොට තරුෂිත් නුවර රෝහලේ.
” ඔයා කොහොමද ආවේ …”
” ශිෆ්ට් එක චුට්ටක් එහෙ මෙහෙ කරගත්තා.. මම ඔයා කීව වෙලේම එන්න හිතුවේ .. ඒත් ටිකක් අමාරු පේශන් කෙනෙක් උන්නා.. එයා ඕකේ වෙනකල් අපි ඇටෙන්ශන් උන්නේ….. තුන හමාරට කොටුවෙන් නැග්ගා…නින්දක් දාගෙන ආවේ … මම බබාව බලලා එන්නම් …”
එහෙම කියලා තරුෂි මිතුරු හෙදියකට ඇමතුමක් ගත්තා. අක්කලා දෙන්නාම ටෂි දිහා තිබුන ඇස් තරිඳු දිහාවට ඇලෙව්වා.
” සමාවෙන්න මල්ලී …”
කවුරුත් නැති තැනක් බලලා, ලොකු අක්කයි පොඩි අක්කයි වෙන වෙනම තරිදුට කිව්වා.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |