යෝෂිත පාර අයිනට වෙලා බලාගෙන හිටියේ තමන්ගෙ හොඳම යාළුවා මොහාන් එනකන්. හදිසියේම මුණගැහෙන්න ඕන කියලා කිව්වත් මුණ ගැහෙන්න ඕන කාරණාව මොහාන් කිව්වෙ නැති නිසා යෝෂිත හිටියේ කුතුහලයෙන්.
” මචං නැගපන් ”
මොහාන් වාහනය පාර අයිනට කළේ එහෙම කියන ගමන්. යෝෂිත වටපිට බලලා වාහනයට නැග්ගා.
” මොකද බං වෙලා තියෙන්නේ ? උඹට කෝල් එකක් අරගෙන කියන්න බැරි තරම් වැදගත් කතාව මොකක්ද ? ”
” අභිෂේකා ලංකාවට ඇවිල්ලා ”
මොහාන් වාහනයේ වේගය වැඩි කලේත් , යෝෂිත සුසුමක් හෙලලා නිහඬ වුනෙත් එක වරමයි.
” උඹ මෙච්චර කල් පණ දාගෙන හෙව්වේ ඕකනේ. දැන් ඉතින් කරන දෙයක් කරපන් ”
මොහාන් එහෙම කිව්වත් යෝෂිත තවදුරටත් නිහඬ වුණා. තමන්ගේ හිත හෙමින් සීරුවේ අතීතයට පියාඹලා යන වග යෝෂිතට දැණුනා.
” යෝෂිත බලන්නකෝ මේ ෂර්ට් එක ? මේ කලර් එක ඔයාට නියමෙට මැච් වෙනවා ”
අභිෂේකා කෙහෙල් දල්ලේ පාටට හුරු කමිසයක් අතේ තියාගෙන යෝෂිත ළඟට එන්නේ සිනා මුසු මුහුණින්. අභිෂේකා මේ විදියට තමන් ගැන උවමනාවටත් වඩා වද වෙන එක වෙලාවකට යෝෂිතට කරදරයක් උනා.
” ඔය කෝක ඇන්දත් එකයි අභී. ඉක්මනට යමුකෝ මට පරක්කු වෙනවා ”
යෝෂිත කියන්නේ කලබලෙන්. ඒ වුනත් අභිෂේකා ඒ කලබලය ගණන් ගන්න බවක් පේන්න තිබුණෙ නෑ.
” මේ ඔෆිස් පාටි එක ඔයාගෙද මගේද ? ඔයා ලස්සනට යන්න ඕනෙනේ අනේ. පොඩ්ඩක් ඉන්න මම හොඳ ඇඳුමක් තෝරලා දෙනකං ”
එහෙම කියපු අභිෂේකා අනිත් පැත්තට හැරුණා.
“මේ ඕයි. ඔන්න ඕක අරගෙන එනවා යන්න. මට ජිම් එකට යන්න තියෙනවා ”
යෝෂිත වටපිට බලන්නෙවත් නැතුව උස් හඬින් එහෙම කිව්වා. අවට හිටපු කීප දෙනෙක්ම තමන් දිහා එක එල්ලේම බලාගෙන ඉන්න වග අභිෂේකා දැක්කේ දෑස් වලට කඳුළු උනාගෙන එද්දීයි.
යෝෂිත අභිෂේක දිහා නොබලා කවුන්ටරේ පැත්තට ඇවිදගෙන එනකොට අභිෂේකා බිම බලාගෙන යෝෂිතගේ පස්සෙන් ආවෙ ආසාවෙන් ඔහු වෙනුවෙන් තෝරගත්තු කමිසයත් අතේ ගුලි කරගෙනයි.
” යාළුවෙලා ඉන්න කෙල්ලගේ නම්බුව ගැන වත් හිතන්න බැරි තිරිසනෙක්නෙ ඌ ”
කලින් දවසේ හවස වෙච්ච සිද්ධිය අභිෂේකා රුවනිට කිව්වෙ කාර්යාලයේදීයි.
” ඉක්මනට තරහ ගත්තට එයා හරි හොඳයි රුවනි ”
යෝෂිත අතින් මොන වැරැද්දක් වුණත් ඒක ඉවසන එක පුරුද්දක් කර ගත්ත අභිෂේකා යෝෂිත මොන දේ කරත් ඒක ඉවසන්න පුරුදු වෙලා හිටියා.
” උඹට ඉතින් යෝෂිත මොනවා කරත් කමක් නෑනේ. හැබැයි උඹගේ ඔය ඉවසීම නැත්තටම නැතිවෙන දවසක් එනවා කියලා මම මේ දැන් කිව්වා කියලත් උඹ මතක තියාගනින් ”
රුවනි කිව්වේ තරමක් දැඩි හඬකින්. ඒත් කවදාවත් ඒ ඉවසීම නැති වෙන්නේ නැහැ කියලා ලොකු විශ්වාසයක් අභිෂේකාට තිබුණා.
” මං ඔයාගේ තේ එක හදන්නද යෝෂිත ? ”
දවසක් එලියට ගිය වෙලාවේ අවන්හලේ සේවකයා තේ බඳුන මේසේ උඩින් තියලා ගියාට පස්සේ අභිෂේකා ඇහුවේ යෝෂිත දුරකථනයට එබීගෙන මොකද්දෝ වැඩක නිරත වෙලා ඉන්න නිසා.
” හා ”
යෝෂිත උත්තර දුන්නේ දුරකතනය දිහා බලාගෙනමයි. අභිෂේකා තේ එක හදලා යෝෂිත වෙතට දිගු කරේ ඒ වෙනකනුත් යෝෂිත ඔලුව වත් ඉස්සුවේ නැති නිසා.
” ආ යෝෂිත තේ එක “
යෝෂිත අත දිගු කරේ දුරකතනය දිහා බලා ගෙනමයි. තේ කෝප්පය යෝෂිතගේ ඇඟට ඉහිරෙන්න ගත වුනේ තප්පර දහයකටත් වඩා අඩු කාලයක්.
” මොන සිහියෙන්ද ඕයි ඉන්නේ ? ”
වරද තමන්ගේ අතේ තියා ගෙන යෝෂිත පුරුදු විදියටම අභිෂේකා ට බැන වැදුනා. අභිෂේකාත් ඇත්තටම වරද තමන්ගේ අතේ කියලා හිතා ගෙන අත් පිස්නාවකින් යෝෂිතගේ කමිසය පිහිදන්න ලෑස්ති උනා.
” එහාට වෙනවා ”
යෝෂිත අත් පිස්නාව උදුරලා ගන්න ගමන් අභිෂේකාව තල්ලු කරලා දැම්මා. අභිෂේකා විසි වෙලා ගිහින් බිම වැටුනත් යෝෂිත හැරිලාවත් බැලුවේ නෑ.
” එනවා යන්න ”
යෝෂිත අභිෂේකා වැටුන බවවත් තැකීමක් කරන්නේ නැතුව අභිෂේකා ව ඇද ගෙන වාහනයට ආවා. අභිෂේකා හිටියේ සිද්ධ වෙච්ච දේ ගැන කම්පනයට පත් වෙලා.
” වැරද්ද කරලා සොරි කියන්නවත් එපා ”
කවදාවත් නැති වෙන්නේ නෑ කියලා හිතපු ඉවසීමේ සීමාව ඇත්තටම නැති වෙන බව අභිෂේකා ට දැනුනේ යෝෂිත එහෙම කියපු වෙලාවේ.
” මොකද්ද මං කරපු වැරද්ද යෝෂිත ? ”
අභිෂේකා එක එල්ලේම යෝෂිත දිහා බැලුවා. යෝෂිතගේ හිත කැළඹුනේ අභිෂේකා ඒක අහපු විදියට සහ ඇය එක එල්ලේම තමන් දිහා බලපු විදියට. ඔහු එකවරම වාහනය පාර අයිනට කරලා නතර කලා.
” මොකද්ද තමුසේ ඇහුවේ ? ”
” මං ඇහුවේ ඔයාට සොරි කියන්න මං කරපු වැරද්ද මොකද්ද කියලා ? ”
වෙනදට මොන දේ උනත් නිහඬව ඉන්න අභිෂේකා ගේ මේ හැසිරීම ගැන යෝෂිතට දැනුනේ පුදුමයක්
” තමුසෙනේ ඕයි අර දුම් දාන තේ එකක් මගෙ ඇඟේ හැලුවේ ? ඒක වැරද්දක් නෙමෙයිද ? ”
යෝෂිත කෝපයෙන් කෑගැහුවා. ඒත් එක බැල්මකින් වත් අභිෂේකා වෙනස් උනේ නෑ.
” මං හැලුවද ? ඔයා ෆෝන් එක දිහා බලා ගෙන ඒක ගන්න ගිහින් හලා ගත්තද ? ”
ඇත්තටම සිද්ධ උනේ ඒක උනත් ඒක පිළිගන්න එක මදිකමක් වගේ යෝෂිතට දැනුනා
” තමුසෙ ඔය කාටද කතා කරන්නෙ ? ”
යෝෂිත පුලුවන් තරම් හයියෙන් අභිෂේකා ගේ නිකටින් අල්ලලා තර්ජනාත්මක විදියට ඇහුවේ දත් මිටි කන ගමන්. ඒත් එක්කම අභිෂේකා ඇගේ අත් දෙකෙන්ම යෝෂිතගේ අත අල්ලලා පැත්තකට කලා.
” වැරදි නොකර සමාව ගන්න මං තවදුරටත් ලෑස්ති නෑ යෝෂිත. හැබැයි ඔයා එක්ක හැමදේම ඉවසගෙන හිටපු වැරද්දට මම සමාව ගන්නවා ”
එහෙම කියපු අභිෂේකා වාහනෙන් බැස්සා. කවදාවත්ම හිතපු නැති විදියට අභිෂේකා පාරේ ඈතට නොපෙනී යද්දි යෝෂිත විනාඩි ගණනාවක් ගල් ගැහිලා බලාගෙන හිටියා.
දින ගණනාවක් යනකන්ම යෝෂිතට තමන්ව සම්බන්ධ කර ගන්න ඉඩක් අභිෂේකා තිබ්බේ නෑ. තමන් කරපු වැරදි අවබෝධ කරගන්න ඔහුට කාලය දෙන එකයි අභිෂේකා ගේ අරමුණ උනේ.
” තමුසේ මං නැතුව දවස් ගානක්ම හරි ලස්සනට හිටියා නේහ් ? “
දවස් තුන හතරකට පස්සේ අතරමඟ දි අභිෂේකා ව නතර කර ගත්ත යෝෂිත අභිෂේකා ට චෝදනා කලේ එහෙම. ඒත් ආපහු යෝෂිතගේ වචන වලට හිත රිද්ද ගන්න අභිෂේකා ලෑස්ති උනේ නෑ.
රැකියාවකට විදෙස් ගත වෙන්න අභිෂේකා තීරණය කලේ ඊටත් සති කීපයකට පස්සේ. කාටවත්ම නොකියා ලෑස්ති කර ගත්ත ඒ ගමන ගැන යෝෂිතට වත් නොකියා ඉන්න අභිෂේකා වග බලා ගත්තා.
අභිෂේකා විදෙස් ගතවුන ආරංචිය දැන ගත්තට පස්සේ යෝෂිතට දැනුනේ හැමදේම නැතිවුනා වගේ. ඒත් ඒ වෙනකොට තමන් හුගක් පරක්කුයි කියලා යෝෂිතම තේරුම් අරන් තිබුනා. අභිෂේකා එක්ක ගත කරපු කාලය ඇතුලත තමන් ඇයට මොන තරම් අසාධාරණ විදියට සැලකුවද කියලා යෝෂිත හැමදාම කල්පනා කලා. අභිෂේකා ව සම්බන්ධ කර ගන්න උත්සහ කලත් ඒ උත්සහය අසාර්ථක වෙනකොට යෝෂිත හිටියේ දරා ගන්න බැරි දුකකින්.
” මට අභිෂේකා ව බලන්න ඕන මොහාන් ”
යෝෂිත කිව්වේ අතීත මතකයෙන් මෑත් වෙන ගමන්. අභිෂේකා ගේ පැරණි කාර්යාල මිතුරිය උන රුවනිගේ මාර්ගයෙන් අභිෂේකා ව මුණ ගැහෙන්න යෝෂිත වෙලාවක් යොදා ගත්තේ ඒ විදියට.
අවුරුදු දෙකකට පස්සේ අභිෂේකාව දැක්ක යෝෂිතගේ ඇස් දෙකට කඳුලු පිරුනේ නොහිතපු විදියට.ඒත් අභිෂේකා හිටියේ හිත තද කර ගෙන.
” මට ආයෙ අවස්ථාවක් තියෙනවද අභී ? ”
යෝෂිත එහෙම අහනකොට අභිෂේකා ඔහු දිහා බැලුවේ ආයෙමත් බලාපොරොත්තු පිරුනු දෑස් වලින්.