” දන්නවාද වැඩක් … සේරසිංහ මහත්තයාගේ ලොකු දුව කසාදේ අතෑරලා ගෙදර ඇවිල්ලලු … ගම් හතකට මඟුල් කියලා, දවස් හතක් මඟුල් කාලා නාඩගම නටනකොටම හිතුවා මම නම්, දීගේට වඩා ආටෝපේ බව …”
ලොකු අම්මා එහෙම කියනකොට ශෙහාන් නංගී දිහා බැලුවා. නංගී ශෙහාන්ට කලබල නොවී ඉන්න කියන්න වගේ ඉඟි කලා.
” ඔව්වා අපිට වැඩක් නෑනේ අක්කේ.. අනෙක ඒ ළමයි දැන උගත් ළමයිනේ … කරුණු කාරනා කතා බහ කරගෙන ඔය දේවල් කරගන්නවා ඇත්තේ…”
කෑම මේසේ අඩු පාඩු බලන ගමන් අම්මා එහෙම කියලා, තත්වය සාමකාමි කරලා දාන්න උත්සාහ කරන බව ශෙහාන්ට වැටහුනා. ශෙහාන් බත් පිඟාන දිහා බලාගත්තා.
” මොන… ඒ බැඳපු කොල්ලා ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක සෑහෙන්න ඇයි හොඳැයියක් තිබිලාලු …එකක් නම් නෙවෙය් කියලත් කියනවා…. මෙහෙ කෙල්ලට ඒක අතටම අහුවෙලා, දෙන්නාටම කෑ ගහලා එහෙම තමයි එතනින් ඇවිල්ලා තියෙන්නේ… එච්චරක් නම් මදෑ, ආයේ කසාදේ පූට්ටු කරන්න හිතාගෙන එහා පැත්තේ මහ උන් ඕං ඊයේ රෑම එහෙ ඇවිල්ලත්ලු….”
ලොකු අම්මා ඇහින් දැක්ක ගානට කියන කතා ගැන ශෙහාන්ට කෝපයට වඩා දැනුනේ පිළිකුල් සහගත බවක්. හතර පෝයට සිල් අරගෙන, සුදු ඇඳුම් වලින් පිට පාට ඇඳුමක්වත් අඳින්නේ නැති ලොකු අම්මාගේ මේ හැසිරීම වෙන කිසිම තැනක නොදැකපු තරමින් අප්‍රසන්න හැසිරීමක් බව ශෙහාන් හිතුවා.
” හරි හරි අක්කේ..ප්‍රශ්න වුනහම කතා බහ කරලා විසඳගන්න පුලුවන් වෙන්න ඕනි…. ඒ හින්දානේ අපිට මනු සතා කියන්නේ … අක්ක ඔන්න ඕවා කතා නොකර කාලා ඉන්නකෝ ….”
අම්මා ශෙහාන් දිහා නොබලාම එහෙම කිව්වා. ඒත් ලොකු අම්මා දිගින් දිගටම කලේ සේරසිංහ මහත්තයලාගේ ලොකු දුවට අපහාස කරපු එක.
” අනේ ලොකු අම්මේ… අනුන්ගේ ඇස් වල පොල් කෙඳි හොයන්න කලින්, තමන්ගේ ඇහේ පොල් පරාලේ බලාගන්න … අනුන්ගේ පවුල් වල කැඩිච්ච කසාද වලට කලු තෙල් ගහන්න කලින්, බාල අක්කාගේ පවුල ඇරුණු එකට මුකුත් කරානම් හොඳයි නේද ?.. බාල අක්කා ඔය මෙවන් අයියා අතෑරලා ගෙදර ඇවිල්ලා ඉන්නේ මෙවන් අයියාට මූණ දෙන්න බැරි ගානට නටපු නාඩගම් හින්දානේ…”
පුටුවත් පස්සට කරගෙන , වේගෙන් නැගිටලා ශෙහාන් එහෙම කිව්වාම ශෙහාන්ගේ නංගිත් කලබලෙන් නැගිට්ටා. අම්මා නම් කුස්සියටට ගියා.
” හොඳ වෙලාවට ශෙහාන්ලෑ තාත්තා නොහිටියේ .. හිටියා නම් අක්කා ආයේ මේ පැත්ත පලාතේ එන්න නෙවෙයි…”
අම්මා එහෙම හිතුවේ කුස්සියේ තිබුණ පුටුවේ වාඩි වෙලා.
එකපාරටම ලොකු අම්මා අඬන්න ගත්තා.
” ඔන්න බලහං නංගී .. අපි ඇහේ මූණේ තියාගෙන හදපු කොල්ලා අන්තිමේදී මට කියන කතාව.. මම දැනගත්තා උඹට ඒකි ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ කියලා…. ඉස්කෝලේ කාලේ ඉඳන් උඹේ ලව් එකනේ ඉතින් ඔය.. මං නොදන්නවයැ ඒවාගේ කෙරුවාව.. හැබැයි නංගියේ මං ගෙනාපු යෝජනා එකක්වත් දණෙන් උඩට මායිම් නොකර උන්න කොල්ලා බලාගනින් දැන් කසාද ඉහිරිච්ච ගෑණු පස්සේ යන අපූරුව …”
ශෙහාන්ගේ අම්මා සාලෙට ආවේ කෝපයෙන්. තමන්ගේම අක්කා වුනත්, දරුවන්ට කරන අපහාස අතවදුරටත් ඉවසන්න ඇයට පුලුවන් වුනේ නැහැ.
” මොනවද අක්කේ මේ දරුවන්ට කියන කතා .. අක්කා අක්කාගෙ දරුවෝ ගැන බලාගන්න .. අපි අපේ දරුවෝ ගැන බලාගන්නම් …. මේ වේලුණු තුවාල පාරලා ඇත්තටම මොකද්ද අක්කේ බලාපොරොත්තු වෙන්නේ ?…”
අම්මා එහෙම ඇහුවම ලොකු අම්මාගේ කෑමත් නැවතුනා. එහෙමම අඬ අඬා එලියට බැහලා යන්න ගියා. ශෙහාන්ගේ නංගී අයියාගේ කලබලේ නිවෙන්න වතුර වීදුරුවක් ලං කලා.
” ඔයා එහෙම ඒ ළමයා එක්ක කතාවට යන්න එපා සුදු පුතා …කසාදේ ඇරගෙන ආවට, තවම ඒ නීත්‍යානුකූල කසාද ගෑණියෙක් නේ ..අන්තිමේදි ඔයත් ඕවාට පැටලෙයි ..”
අම්මා ශෙහාන්ව පහු කලේ එහෙමත් කියාගෙන. ශෙහාන් කාමරේට ගිහින් දොර වහ ගත්තා. අසන්ති විවාහ වෙලා අවුරුදු දෙකක් ගෙවිලා ගිහින් බව කල්පනා කලා. ඇය තමාට අහිමි වූ බව පිළිගන්න, ඒ අවුරුදු දෙක පුරාම තමා කොයි තරම් නම් උත්සාහ කලාද කියලා කල්පනා කලා. අසන්තිගේ දෙමාපියන්ගේ මහන්තත්ත කම නිසා අසන්තිව ඒ ව්‍යාපාරිකයාට විවාහ කරලා දුන්නට, ඔහු ස්ත්‍රීන් ඇසුරෙහි ලා කොයි තරම් ඇඹලයෙක්ද කියලා ශෙහාන් අසන්තිට මුලින්ම කියලා තිබුනේ. ඒත් ඇගේ දෙමාපියන් ඉදිරියේ අසන්ති අසරණ වෙලා තිබුණා.
මාස හයක් විතර ගෙවුනා. පාරකදීවත් ශෙහාන්ට අසන්ති මුණ ගැහුනේ නැහැ. ශෙහාන් ඇයව සම්බන්ධ කරගන්න උත්සාහ කලත් ඒ උත්සාහයන් සාර්තක වුනෙත් නැහැ. ශෙහාන්ට අවශ්‍ය වුනේ ඇයට හිත ශක්තිමත් කරගෙන ජීවත් වෙන්න පුලුවන් බව මතක් කරන්න . ඇය තනිවෙලා නැති බව ඇයට කියන්න. එක දවසක් අසන්තිගේ තාත්තා ශෙහාන්ගේ තාත්තාව මුන ගැහෙන්න ආවා.
” මම මෙහෙම යෝජනාවක් කරන එක හරි අසාධාරණ බව මම දන්නවා තිලකසිරි මහත්තයා.. ඒත් දරුවෝ වෙනුවෙන් දෙමාපියන්ට කරන්න බැරි දෙයක් ණැති බව තිලකසිරි මහත්තයත් දන්නවා කියලා හිතලයි මම මේ ගමන ආවේ… අසන්තිගේ ඩිවෝස් එක ලැබුනා තිලකසිරි මහත්තයා… ප්‍රශ්න වෙලා ගෙදර ආව දවසේ ඉඳන් නඩුවාරේට එලියට බහිනවා ඇරෙන්න, දරුවා කාමරෙන් එලියට එන්නේ නෑ තිලකසිරි මහත්තයා… දොස්තර කියන්නේ, එයාට සමීප කවුරු හරි එක්ක කතා බහ කරන්න ඉඩ හදලා දෙන්න කියලා.. එයා මනෝ වෛද්‍යවරු එක්ක කතා බහ කරන එකත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරනවා…”
ශෙහාන්ගේ තාත්තා ශෙහාන් ගෙදර ආවාම විස්තරේ කිව්වා. ඒ වෙනුවෙන් ශෙහාන් කරන්න හිතන ඕනෑම දේකට තමන්ගේ ආශිර්වාදය තියෙන බවත් කිව්වා.
” මම තවම අසන්තිට ආදරෙයි තාත්තේ .. එයා ගියාම, මම මගේ හිතේ තිබුන ආදරේ එක්ක තනියෙන් ජීවත් වෙන්න තීරණය කලා තමයි … ඒත් දැන් මේ අසන්ති ඇවිල්ලා ඉන්නේ …. ඒ තනිවීම නැති කරලා මා එක්ක ඉස්සරහට යන්න කියලා මටත් හිතෙනවා තාත්තේ…. අසන්තිගේ ඩිවෝස් එක ඕකේ වෙනකල් මම මුකුත් නොකර හිටියේ … පෙරේදා ඩිවෝස් එක ලැබිලා …”
ශෙහාන් තාත්තාට ඇත්තම කිව්වා.
” හවසට යමු … අම්මාටත් කියන්නම් මම … අසන්ති කියන්නේ, මේ ගෙදර ඇවිල්ලා උයලා,පිහලා, කාලා බීලා ගිය කෙල්ල …. වැඩි ආටෝප ගැන නොහිතුවත්, ඔය කියන විදියෙන් කෙල්ලව ටිකක් ඉස්සරහට, ආලෝකෙකට අඳින්න පුතාට පුලුවන්…”
කතාව අහගෙන උන්න ශෙහාන්ගේ අම්මාට අතීතේ සිහි වුනා. නොගැලපෙන සම්බන්ධයට පැටලිලා ජීඉව්තේ පටලාගන්න ඔන්න මෙන්න උන්න තමාව, බලෙන්ම ශෙහාන්ගේ තාත්තාට විවාහ කරලා දුන්නාට පස්සේ, ඔහු තමා වෙනුවෙන් ඉවසපු තරම සිහි වුනා.
” දෙවියොන්ට ගෑණු අපි ගැන හොඳමට බලන්න ඕනි වුනාම ඔයා වගේ, පුතා වගේ පිරිමි ලෝකෙට එවන්නේ මහත්තයා …”
අම්මා එහෙම කියලා ශෙහාන්ගේ ළඟින් හිටගත්තේ, ශෙහාන්ගේ නංගීත් තාත්තාව බඳාගන්නකොට.
අපේක්ෂා ගුණරත්න.
ReplyForwardAdd reaction |