රන් මල් දම් – 57

රාජිකාගෙන් මන්දාරම්ගේ සේයාරුව සහ අදාලා විස්තරය දැනගත් පසන් දණ්ඩෙන් පහර කෑ නාගයෙකු මෙන් කෝපයට පත් වූයේය.

“මට තේරුණ විදියට පුතා ඒ කොල්ලා නිම්නාවී ගැන මොකක් හරි අදහසක් තියෙනවා.. ඔය නිම්නාවීගේ ඇක්සිඩන්ට් එකට සම්බන්ධ ගෙදරනේ..නිම්නාවි එහෙ ගිය මාස දෙක තුනේ මොකක් හරි වෙන්න ඇති ..”

” ශිට් .. ආන්ටිලාත් පුදුම මිනිස්සු …නිම්නාවී ඔච්චර කනෙන් රිංගනකල් අහු වුණේ නැහැනේ …”

පසන් ගුගුලේය.

තමාගේ ව්‍යාපාර සගයෙකු යටතේ සිටින සේවකයෙකු නිම්නාවී හා ප්‍රේමයෙන් බැඳී ඇතැයි යන්න පසන්ට දැනුනේ තම ආත්ම ගෞරවය ඉතා පහලටම සේදී යෑමක් ලෙසය. වහාම ව්‍යාපාර සගයා ඇමතූ පසන්, තමන් හා වන ව්‍යාපාර කටයුතු දිගටම කරගෙන යෑම අවශ්‍ය නම් හේතු නොවිමසාම මන්දාරම් වර්ණකුල ආයතනයෙන් ඉවත් කර දිය යුතුයැයි කීවේ උදෑසන වැඩ කටයුතු නිසිලෙසින් අරඹන්නට හෝ පෙරය.

පසන් රණවීරගේ සමාගමය තමාට කෙතරම් වටින්නේදැයි දැන උන් මන්දාරම්ගේ ආයතන ප්‍රධානියා මන්දාරම් තම කුටියට කැඳවූයේය. මන්දාරම් ආයතනය තුල මානව සම්පත් කළමණාකරණ විෂයෙහි ලා කෙතරම් හොඳින් ක්‍රියා කරනවාදැයි දැන උන් ආයතන ප්‍රධානියාට මන්දාරම් අහිමි කරගන්නටද අවැසි වූයේ නැත.

“සර් …”

“ඉඳගන්න මන්දාරම් ….”

මන්දාරම් අසුනේ ඉඳගත්තේ ඒ කැඳවීම එතරම් ගණනකට නොගෙනය. එහෙත්, ආයතන ප්‍රධානියාගේ ස්වරූපය දුටු මන්දාරම් යම් කුතුහලයක් පුරවා ගත්තේය. එය බැරෑරුම් යමක් බව සිතුවේය. පසුගිය දිනවල තමා උන් අස්තාවර මානසිකත්වය නිසා යම් වරදක් වූයේදැයි සිතුවේය.

” මන්දාරම් පසන් රණවීරව දන්නේ කොයි විදියටද ?…”

” සර් ?…”

ආයතන ප්‍රධානියා ඉන් පසුව කිසිවක් නොපවසා බලා සිටියදී මන්දාරම් කුමක් හෝ සීමාව ඉක්මවා යන යමක් සිදුව ඇති බව වටහා ගත්තේය.

” සර් අපේ පාර්ට්නර් කෙනෙක් …”

” පර්සනලි දන්නවාද කියලා අහන්නේ මන්දාරම් ….”

වයසින් තමා ඉක්මවා සිටින අත්දැකිම් බහුල ආයතන ප්‍රධානියාගෙන් සැඟවෙන්නට මන්දාරම් ට ඉඩක් වූයේ නැත.

” සර් .. පසන් රණවීර බඳින්න ඉඳලා තියෙන්නේ මම දන්න ගෑණු ළමයෙක් …”

” බඳින්න හිටියේ අර අතුකෝරළ හෝල්ඩින්ග්ස්ලාගේ ලොකු දුවනේ …”

ආයතන ප්‍රධානියා පෙරලා විමසද්දී මන්දාරම් හිස සැලුවේය.

” ඉතින් … මන්දාරම් කොහෙන්ද මෙතනට සම්බන්ධ වෙන්නේ ?…”

මන්දාරම් එයට පිළිතුරු නොදී උන්නේය.

” මන්දාරම් , උදේ පසන් මට කතා කරලා මන්දාරම්ව ඩිස්මිස් කරන්න කියලා පොඩි ත්‍රෙට් ටෝන් එකකින් කිව්වා… හේතුවක් අහන්න එපා කියලත් …”

මන්දාරම් දෑස් පියාගත්තේය. නිම්නාවීගේ මවගේ කපටි දෑස් සිහිවූයේය.

” අර මහ ගෑණි කන දාගෙන උන්නේ .. ඕකි දැනටම පසන් කාරයාගේ කනේ එල්ලලාද දන්නේ නෑ .. උඹට ලේසි වෙන්නේ නෑ පුතෝ…”

චානක පෙරලා එද්දී පැවසූ බවද සිහිවිය.

” ප්‍රශ්නයක් නෑ සර් .. මට ලෙටර් එක දෙන්න … “

මන්දාරම් නැගිට්ටේය. ඇය වෙනුවෙන් අහිමිව යන දේවල් අල්ලා ගන්නවා වෙනුවට, ඇය රැක ගැනීමේ හැඟීම අල්ලා ගන්නට මන්දාරම් තීරණය කර තිබුණි.

” පිස්සුද මනුස්සයෝ ..මගේ කොල්ලාත් එකයි මට උඹත් එකයි … . පසන් මට වටිනවා තමයි, ඒත් මට උඹ ඩ්‍රොප් කරගන්න ඕනි නැහැ මන්දාරම් ..උඹ මේකේ බර ඇද්ද එකෙක් .. මගේ කොල්ලා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කල එකෙක් ….. වෙලා තියෙන දේ කියලා ඉන්නවා ඉස්සෙල්ලාම ..තමුසේලා දැන් දැනුම් තේරුම් තියෙන කොල්ලෝ නේ.. ඒලෙවල් ළමයි නෙවෙයි නේ … ඔහොම කුළු හරක් වගේ පිඹගෙන තීරණ ගන්න යන එක කවදා ඉඳන් පුරුදු වුන දෙයක්ද ?…”

මන්දාරම් යළි හිඳගත්තේය.

අම්මා අනතුරට පත්ව ඇත්තේ නිම්නාවී අතින් යන්නේ සිට, ඇය තම නිවසේ හෙදියක් සේ රඟපාමින් අම්මා රක බලා ගත් අයුරුද, ඒ කාලයේ තමා ඇය වෙත අහේතුකවම බැඳුණ බවද කීවේය. නිම්නාවී අලහකෝන් ලෙසින් තමා ඇය හඳුනාගෙන නොතිබූ බවද කීවේය. ඉන් පසුව නිම්නාවීගේ පියාගේ මැදිහත්වීමෙන් නිම්නාවීඉ සහ අපන් අතරේ සිදුවෙන්නට යෙදී තිබූ විවාහය නවතා දමා ඇති බවද කීවේය. පෙර දින පසන් තම ආයතනයට පැමිණි මොහොතේ අහම්බෙන් ඇසුණු ඔහුගේ දුරකතන ඇමතුම පිළිබඳව ද මන්දාරම් මඟ නොහැර කීවේය. දැන් සඟවන්නට කිසිවක් නැත. තමා කලබලය,කෝපය, අහිමි වීම යන කාරනා සියල්ලට වහල් වීම නිසා නිම්නාවීව පොලිසිය වෙත කැඳවා දැමීම ගැන මන්දාරම්ට දැනෙන්නේ  විස්සොපයකි. සියලු කටයුතු නිම කර නිවසට පැමිණි මොහොතේ පටන් කිසිඳු සැනසීමක් නොදැනීම අග වූ හේතුව, තමා ඇයට තවමත් නොවෙනස්ව පෙම් කරන බව යැයි දැන් සෙත් මන්දාරම් වර්ණකුල පිළිගෙන හමාරය.

ආයතන ප්‍රධානියා සියල්ල සාවධානව අසා උන්නේය.

” පසන් රණවීර කියන්නේ එහෙම මිනිහෙක්ද එතකොට ?..”

” අන්තිම දවසේ නිම්නාවීගේ ගෙදරින් ගිහිල්ලා තියෙන්නේත්, නිම්නාවීගේ තාත්තාට තර්ජනය කරලා …කොහොමම හරි නිම්නාවීව මැරි කරනවා කියලා…”

” එතකොට මන්දාරම් ඔය විස්තර  එහෙ කිව්වබව කොහොමද පසන් දන්නේ ?…”

මන්දාරම් ඉතා ගැඹුරු හුස්මක් හෙලුවේය.

” නිම්නාවීගේ අම්මා අමුත් විදියට ගෑණු කෙනෙක් සර් .. එයා එදා මම ගිය වෙලාවේ ඉඳන් මගේ ගැන විමසිල්ලෙන් ඉන්න ඇත්තේ .. විස්තර ඔක්කොම කියන්න ඇත්තේ එයා .. මම තේරුම් ගත්ත විදියට, නිම්නාවීගේ අම්මාට තවම ඕනි නිම්නාවීව පසන් එක්ක එකතු කරවන්න …”

ආයතන ප්‍රධානියා මන්දාරම්‍ට සමුදුන්නේය. තමා පණිවිඩයක් දන්වන්නම්‍යැයි කීවේය.

මන්දාරම් චානක අමතා සිදුවීම කීවේය. චානක මන්දාරම්ට බැණ වැදුනේය.

” දැන් ඉතින් අලහකෝන් ෆැක්ට්‍රි එකකවත් ජොබක් ඉල්ලගනින් … මං කිව්වා තොට නැට්ට පාගගන්න එපා කියලා …”

” පසන්ට ඕනි මාත් එක්ක එහෙම හැප්පෙන්න නම් මාත් ලෑස්තියි චානා …. මට ඔය එකෙක්වත් ලොකු නෑ …”

මන්දාරම් ඉන් පසුව කීවේ චානකගේ කෝපය දෙඟුන කරවමිනි.

” මිනිහෝ ,,, හැප්පියං ඒ මිනිහා එක්ක වැඩකට ඇති දේකට … තෝ ඌ එක්ක හැප්පුණා කියලා තොට මුකුත් ලැබෙන්නේ නෑ බූරුවෝ … නිම්නාවී දැන් තෝ ගැන හිතන්නේ නෑ … හිතලා බලපං , උඹ ඊයේ අච්චර අර ගෙදරට ගියා, ඒකිට යුතුකමක් තිබුනේ නැද්ද ඇවිල්ලා මූණ පෙන්නලා යන්න .. අඩුම  තරමේ හැමදේටම සමාවෙන්න කියලා යන්න තිබුණේ නැද්ද .. ඒකි මහ උද්දච්ච කෙල්ලෙක් බං …. ඒකි නැණ්දාව බලාගන්න ආවේ වෙන මඟුලක් නිසා නෙවෙයි, අඔඉ ඒකිට විරුද්ධව කිසිම දෙයක් නොකරන තැනට වටපිටාව හදන්න … මොකද නැන්දා සනීප වෙන එක ඉක්මන් වෙනකොට අපිට ඇක්සිඩන්ට් සීන් එක පස්සේ යන්න තියෙන උවමනාව අඩු වෙන බව ඒකි දැනගෙන උන්නා..උද්දච්ච කපටි අම්මණිඩියෙක් …”

මන්දාරම් කිසිවක් කීවේ නැත. පෙරලා කිසිවක්ම අවැසි නැත. කොන්දේසි විරහිතවම ඇය වෙනුවෙන් සිට ගැනීමට හැක. පසන් ඇය රිදවන්නට උත්සාහ කරන්නේද , ඒ රිදුම් තමා පසු නොකර නිම්නාවී වෙත යන්නට නොදෙමියි මන්දාරම් තීරණය කර තිබුනේය.

චානක මන්දාරම්ගේ මේ හැසිරීම් දුටුවේ එක් ආකාරයක උන්මත්තක බවක් ලෙසිනි.

” යකෝ ..නිම්නාවි මුණ ගැහිලා උඹට මාස කීයද ? ඔය තියෙන්නේ ඩීප් ලව් නෙවෙයි බං ..ඔය තියෙන්නේ නිකන් ඇලීමක් .. මාස දෙක තුනට ඔච්චර ලව් කොහේද බං ?…

” මෙච්චර ආදරේ කරන්න කොච්චර කල් ගෙවෙන්න ඕනිද චානා ?…”

මන්දාරම් එක්වරම එලෙසින් විමසා චානකව නිහඬ කලේය.

අපේක්ෂා ගුණරත්න 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles