පතිනියකගේ සටහන් – 13

“හපෝ ඔන්න එනවා..”

නිලූ මට හිසින් පෙන්වන දිසාව දිහා මම බැලුවේ විමසිල්ලෙන්. උපුලි කාලෙකට පස්සේ ඔෆිස් ඇවිත්. ඇගේ දරුවා උපන් හැටියේ මිය ගියාට පසු ඇය මානසික කඩා වැටීමකට ලක් වූ බවත් එයට ප්‍රතිකාර ලැබූ බවත් කාර්යාලයේ අපි කාටත් රහසක් වුණේ නැහැ. ඇගේ මුහුණ තවමත් අඳුරුයි. මට ඇය ගැන දැනුණේ අනුකම්පාවක්.

“උපුලි අක්කා දැන් එයාගේ නෑනාට මාර ඉරිසියාවයිලු. අපි මීට් වෙනවනෙ අනේ ජිම් එකේදි. ශානි අක්කිට බබාලා දෙන්නෙක්නෙ. උපුලි එයා දිහා බලන්නෙම ඉරිසියාවෙන් කියලා ශානි අක්කා කියන්නේ”

මාධවිත් කතාවට එකතු වෙලා.

“ඇත්ත ළමයිනේ. ඔය මානසික රෝග කියලා දෙයක් නෑ. ගෑනුන්ට ඉරිසියාව කුඩු කේඩුකම පාලනේ කරගන්න බැරි උනාම දැන් ඒවට අලුත් අලුත් නම් දෙන්න අරන්. අනික අහිමිවීම් දරන්න බෑ ලු. මොන විකාරයක් ද.. ගෑනු කියන්නෙ ඕනම දෙයක් දරා ගන්න හිත හයිය ජාතියක්. මානසික අමාරු වලට බේත් බොන්න කලින් ඕං ඕක අවබෝධ කරගත්තා නම් හරි”

මදිපාඩුව වුණු මිසිස් පෙරේරාත් අඩුවැඩිය අරගෙන ඇවිත්.

මම නිහඬවම පරිගණකය දිහා බලාගෙන හිටියේ මේ කතාව ගැන අප්‍රසාදයෙන්. ඒත් ඒ අපුල කතාවට මැදිහත් වෙන්න මට හිතුණේ “පිස්සෝ එක්ක පරිස්සමින් ළමයිනේ. උපුලි එක්ක ගණුදෙනු ඕන නෑ” කියලා මිසිස් පෙරේරා උපදෙස් දෙන්න ගත්තම.

“මිනිස්සුන්ට ඕනම වෙලාවක ලෙඩ වෙන්න පුලුවන්. මධූ දැන් ඔයා ඔය හොටු පිහින්නෙ සනීප වෙන්නේ නැති පීනස් අමාරුව නිසානේ. මිසිස් පෙරේරාට හැමදාම ෂුගර්. උපුලිටත් එච්චරයි. දරාගන්න බැරි දුකක් එයාගේ මනස ලෙඩ කළා. අපිට දරා ගන්න බැරි දුකකදී මොළයේ රසායනික වෙනස්වීම් නිසා මානසික ගැටලු ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි. මානසික ගැටලු ගොඩක් තියෙනවා. සමහරු අප්‍රමාණ විදියට සැක කරන්නේ, තවත් සමහරුන්ට එක එක විදියේ භීතිකා ඇති වෙන්නේ, තව සමහරු හිතාගන්න අමාරු විදියේ බොරු කියන්නේ, සමහරු ඕනවට වඩා පිරිසිදුකම, පිලිවෙල හොයන්නේ, සමහරු ඕනෑවටත් වඩා අවධානය හොයන්නේ මෙහෙම කියලා ඉවර කරන්න බැරි තරම් රෝග ගණනාවක්. මේ හැමදේටම ප්‍රතිකාර තියෙනවා. ඒ හැමෝම දවසක සනීප වෙනවා. ඒත් ලෙඩක් නැති කාලේ ඉහ මුදුනේ තියන් ආස්සරේ කරලා මානසික රෝගයක් කීව ගමන් අපෝ අපිට හානිකරයි කියලා අත් අරින්න එපා. ඒ මනුස්සයා සනීප වෙන්න පරක්කු වෙන ප්‍රධානම කාරණේ ඒක. අපි හැමෝම කරන්නේ ඒකනේ. පුදුම සංවේදී මිනිස්සු අපි. ඒත් ළඟම කෙනෙක් ඔහොම ගැටලුවක නම් දඩිබිඩි ගාලා අත් අරිනවා. ඊට පස්සේ අපහාසේ පටන් ගන්නවා. මොන කැත වැඩක්ද ඒක.. පිළිවෙලට ප්‍රතිකාර ගන්න මනුස්සයෙක්ගේ හිත සනීප වෙන්න අපිත් ආදරෙන් උදව් කරන එකයි මනුස්සකම.”

භානු මගේ කට සැර වැඩියි කියලා වෙලාවකට හිනාවෙන්නේ ඇත්තටම ද මන්දා.. හැමෝගෙම කතාබහ නැවතුණා. ඉන්පස්සේ සමහරු උපුලිත් එක්ක වෙනදා වගේම සුහදව ඉන්න හැටි මම දැක්කේ හිනාවකින්.

උපුලි සාමාන්‍ය විදියට ජීවිතේ ගත කරන්න උත්සාහ කරනවා. අපි ඇත්තටම ඒකට උදව් කරන්න ඕනෑ..

ඒ තමයි මනුස්සකම..
මම හිතුවේ සන්තෝසෙන්.

– නිබන්ධිකා –

Related Articles

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...