පතිනියකගේ සටහන් – 15

0
1942

සති අන්තය එන්නේ අස්පස් කරන වැඩට. සතියේ දවස් පුරා මඟ හැරෙන හැමදේම සහයෝගෙන් බෙදාගෙන කරන්න දැන් භානුකටත් මටත් පුරුදුයි. මම හිටියේ මගේ මල් පාත්තිවලට සාත්තු කරමින්. කම්බි වැටකින් වෙන් වුණු එහා ගෙදරත් කලබල පාටයි. ඒ ගෙදර ගෘහණිය වෙන අක්කා මට හිනාවක් පා කළේ මිදුල අතුගාන අතරේ.

“කොහොමද අක්කේ.. අද නිවාඩු ද අක්කටත්?”

මම ඇයට කතාවකින්ම උත්තර දුන්නා. ඇය ඉදලත් අරගෙනම මම ළඟට ඇවිත් කතාව පටන් අරන්. කිසිම වැඩකට උදව් නොදෙන දූ ගැනත් නිවාඩු දවසෙ හොඳටම නිදියන මහත්තයා ගැනත් කියවිල්ල යන අතරේ ඇගේ ඇස් කොහෙටද දුවන හැටි මම බලාගෙන.

ලොකු බේසමකට ජනෙල් රෙදි සහ ඇඳ ඇතිරිලි අරගෙන ආපු භානුක ඒවා වනන හැටි අක්කා බලා ඉන්නේ පුදුමයෙන්.

“මල්ලි රෙදිත් හෝදනවද?”

භානුක ගැන කැත ඕපාදූපයක් ලේන් එක පුරා පැතිරෙන්න කලින් වහාම නිවැරදි කරන්න වෙනවා. ඔහු වොෂින් මැෂිමෙන් සේදුණු රෙදි වනන බව මම අක්කට පැහැදිලි කළා.

කියවන්න :  සුපිරි සැමියෙක් සොයා වෙහෙස නම් කියවන්න..

“නංගි අතින් රෙදි හෝදන්නෙම නැද්ද ?”

කාර්යබහුල ජීවිතේ තුළ එයට ඉඩක් නැති බව මම කියද්දී ඇය අතින් රෙදි හෝදලා කොන්දෙ අමාරු හැදෙන හැටි මට කියන්න ගත්තා.

“දැන් වොෂින් මැෂිමක් ලොකු ගාණක් වෙන්නේ නෑ අක්කේ. ගෙවන්න ගන්නත් පුළුවන්” මගේ කතාවට ඇය දුන්නේ අමුතුම උත්තරයක්.

“අනේ අපිත් එකක් ගෙනත් තියෙන්නේ නංගි. මේ වතුර යන බටේ හයි කර ගන්න වෙලාවක් නෑනෙ තාම. ඉතින් තාම ඒක පෙට්ටිය අස්සෙ. තවම පැකින් කඩලා නෑ. ගෙනල්ලා මාස හතර පහක්”

එය සවි කරගන්න එක පහසුවක් බව ඇයට මතක් කරලා මම ගෙට ආවේ ඒ ඕපාදූපය භානුකට කියන්න.

කියවන්න :  මේ දවස්වල ඔබට ඔබව අමතක වෙලා ද?

“ඔය සමහර මිනිස්සුන්ගේ හැටි තාරු. වැඩ වවා ගන්න, පහසුකම් තිබිලා ඒවා යූස් නොකර ඉන්න, පැමිණිලි කර කර ඉන්න හරිම කැමතියි. ජීවිතේම පැමිණිල්ලක්.”

ඇත්ත. වැඩපහසු කරන උපකරණ බොහොමයක් වෙළෙඳ පොළේ තියෙද්දී ඒවා පාවිව්චි කරන්න මැලි වෙමින් වැඩ වවාගන්න කාන්තාවන් අපේ කාර්යාලයෙත් ඕනෑ තරම්. උවමනාවක් තියෙනවා නම් මුදල් ඉතිරි කරගනිමින් ඒවා මිලට ගන්න බුද්ධියක් කාන්තාවන්ට තියෙන්නට ඕනෑ. තවත් සමහරු අල්ලපු ගෙදර අක්කා වගේ. තිබිලාත් පාවිව්චියට කම්මැලි. ඉතින් හැමදාමත් දුකින්.

“දවසම අස්පස් කරලා දැන් උයන්නත් කම්මැලි ඇති නේද… වොෂ් එකක් දාගෙන අර ඔයා ආසම රෙස්ටොරන්ට් එක පැත්තේ යමුද..” භානුක අහන්නේ ආදරෙන්.

ජීවිතේ තියෙන්න විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. විශේෂයෙන්ම පවුල් ජීවිතේ.

ගීයක් මුමුණමින් නානකාමරයට යන අතරේ මම එහෙම හිතුවා.

-නිබන්ධිකා-