අපි හැමෝම ජීවිතේ එක එක කාලවලදී අනිත් අයට ඕනෑතරම් සමාව දීලා ඇති නේද?
අපේ හිත් කෑලිවලට බිඳලා දාපු මිනිස්සුන්ට, රිද්දපු යාළුවන්ට, නැත්නම් හිත රිදවපු සහකරුවෙක්ට වුණත් “කමක් නෑ, ඒක ඉවරයිනේ” කියලා අපි හිත හදාගන්නවා.
හැබැයි ඔයා කවදා හරි නතර වෙලා හිතලා තියෙනවද, මේ ලෝකේ අපිට සමාව දෙන්න අමාරුම, දරාගන්න බැරිම පුද්ගලයා කවුද කියලා?
ඒ වෙන කවුරුත් නෙවෙයි, අපි අපිටමයි.
තමන්ගේම පරණ වැරදි, අතීතයේ ගත්ත මෝඩ තීරණ, නැත්නම් අසාර්ථක වුණු ආදර කතා අස්සේ හිරවෙලා, අදටත් තමන්ටම හොරෙන් වෛර කරන හිත් අපේ අතර ඕනෑතරම් හැංගිලා ඉන්නවා.
ඉතින් මට හිතුණා, අද ඔයත් එක්ක ටිකක් ළඟින් ඉඳගෙන, හිත නිවෙන විදිහට මේ “තමන්ට සමාව දීම” ගැන බොහොම ආදරෙන් කතා කරන්න.
ඇයි අපි අපේ අතීතය දිහා ඔච්චරම රිදෙන විදිහට බලන්නේ?

“අයියෝ මම එදා ඒ වගේ කෙනෙක් වෙනුවෙන් මගේ කාලේ නාස්ති කලේ ඇයි?”, “මට තිබ්බා ඒ දේ මීට වඩා හොඳට කරන්න” වගේ පසුතැවීම් හරියට අපේ හිත පුරාම විටින් විට ඇවිත් හොල්මන් කරනවා. රෑ වෙලා මුළු ලෝකයම නිහඬ වෙනකොට, ඇඳට වෙලා හාන්සි වුණාම අවුරුදු ගාණකට කලින් වුණු ඒ පුංචි වැරැද්ද මතක් වෙලා පපුව මැදින් ලොකු බරක් දැනෙන්න ගන්නවා. උගුර ඇතුළේ යම්කිසි දෙයක් හිරවෙලා වගේ, ඇස් කෙළවරින් කඳුළක් වැටෙනකම්ම හිත මුරණ්ඩු වෙනවා. අන්න ඒ වෙලාවට අපේ මොළයයි හිතයි අතරේ මාරම සටනක් සිද්ධ වෙන්නේ.
මොළය කියනවා “ඕක ඉවරවුණු දෙයක්නේ. දැන් අවුරුදු ගාණක් වෙනවා. දැන්වත් ඕක අමතක කරලා දාපන්.” කියලා. ඒත් හිත කියන්නෙ එහෙම නෙවෙයි. එයා කියනවා “ඒ වුණාට මම එදා එහෙම නොකර සිටියා නම්, අද මගේ ජීවිතේ මීට වඩා කොච්චර ලස්සන වෙන්න තිබ්බද? මමමයි මගේ සතුට නැති කරගත්තේ” කියලා.
හැබැයි අපි එකක් අමතක කරනවා.

අද ඉන්න ඔයා අතීතය දිහා බලන්නේ ගොඩක් දේවල් තේරුම් ගත්ත, පරිණත මනුස්සයෙක් විදිහට.
හැබැයි එදා ඒ වැරැද්ද කරපු මොහොතේ ඔයාගේ වයස, ඔයාගේ මානසික මට්ටම සහ ඔයා ලෝකය දැකපු විදිහ ඊට වඩා ගොඩක් වෙනස්. නොදන්නාකම, තනිකම, නැත්නම් ආදරේ බලාපොරොත්තුව නිසා එදා ඔයා ගත්තේ ඒ වෙලාවේ ඔයාගේ හිතට අනුව ඔයාට ගන්න පුළුවන් වුණු හොඳම තීරණය වෙන්න ඇති. ඉතින් අද ඉන්න මේ matured ඔයා, එදා හිටපු ඒ අහිංසක, නොදන්නාකමට වැරදි කරපු පුංචි ඔයාට මේ විදිහට දඬුවම් කරන එක සාධාරණද?
පොඩ්ඩක් හිතලා බලන්නකො. දැන් ඉන්න ඔයා එක්ක බලද්දි එදා උන්න ඔයා නොදරුවෙක් වගේ.
තමන්ට සමාව නොදෙන තාක් කල්, අපේ අස්සේ තියෙන ඒ ලස්සන හැකියාවන්, හීන ඔක්කොම මනසින් සහමුලින්ම මැකිලා යන්න පුළුවන්. හැමදාම පරණ කුණු කන්දක්, පරණ බෝතලයක දාලා වහපු වස විස ටිකක් හිත අස්සේ තියාගෙන දුක් විඳ විඳ ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ.
ඔයාගේ හොඳම යාළුවා අතින් වැරැද්දක් වුණාම ඔයා එයාව බදාගෙන “කමක් නෑ බං, ඕවා ඕනම මනුස්සයෙක් අතින් වෙනවා, අපි ඕක හදමු” කියලා හිත හදනවා නේද?
අන්න ඒ ආදරය, ඒ පිරිමැදීම ඇයි ඔයා ඔයාටම දෙන්න ලෝබ වෙන්නේ?

අතීතය කියන්නේ අපිට ආයෙත් කවදාවත් ලියන්න පුළුවන් පොතක් නෙවෙයි. ඒ පිටු පෙරලලා ඉවරයි. හැබැයි අනාගතය කියන්නේ ඔයාගේ අතේ තියෙන, ඔයාට කැමති විදිහකට ලියන්න පුළුවන් අලුත්ම සුදු පිටුවක්. වැරදි සිදුවීම මනුෂ්‍ය ස්වභාවයක් වුණාට, ඒ වැරදි අස්සේ හිරවෙලා මුළු ජීවිතේම විඳවන එක මෝඩකමක්.
ඔයාට වගේම මටත්, අපිට වගේම අනිත් අයටත් තමන් ගැනම කලකිරෙන එක මහා වේදනාවක්.
ඒ නිසා අදම, මේ මොහොතේම ඔයාගේ හිතට හීනියට තට්ටු කරලා කියන්න
“මම එදා හිටපු ඔයාට ආදරෙන් සමාව දෙනවා” කියලා.
එතකොට ඔයාට දැනේවි, හිත අස්සට හරියට නිකන් පිරිසිදු අලුත් හුස්මක් ඇතුල් වෙනවා වගේ පුදුමාකාර නිදහසක්.
ඒ නිදහස ඔයාට උදව් වේවී ඊයෙ ගැන පසුතැවෙන්නෙ නැතුව අද දවස ආදරෙන් ඉන්න ඒ වගේම හෙට දවස දිහා ලස්සනට බලන්න!











