පිනි සේල – 25

“නෙත්මි බ්‍රේකප් වෙලා කියලා ආරංචියක් ආවෙත් නෑනෙ”

එදින සවස මා ඒ කතාව හෙළි කරද්දී ඊෂා පැවසුවේ කුතුහලයෙනි. අයියා සමඟ ව්‍යාපාර කටයුතු වලට ගොස් යළි පැමිණි දිනුක ද නිවසේ වූ නිසා ඒ කතාව එක්ව බෙදා ගන්නට අපට හැකි විණි.

“හරි එයා බ්‍රේකප්මයි කියමුකො. ඒත් ඔය නෙත්මිලා එක්ක මලිඳු ඔච්චර ෆිට් වුණේ කවද්ද කියලා මං මේ හිතුවේ..”

දිනුක පවසන්නේ මඳ සිනාවකිනි.

මම කිසිත් නොපවසා ම කල්පනාවට වැටුණෙමි. මේ සමහර සිදුවීම් දැන් සීමාවෙන් එපිටට යන බව මට ද නොසිතුණාම නොවේ.

“මට ඔය මලිඳුගෙ බෙල්ල කඩන්න හිතෙනවා. ඒ විතරනං බැරියැ. මේ ගොං ගහ පව් කියලා හිතිලා මට ඕකා එක්ක කතා කරන්නත් හිතුණා කියලා මතක් වෙනකොට මගෙම බෙල්ල කඩාගන්න හිතෙනවා..”

ඊෂා කෝපයෙන් පිපිරී යන්නට පටන් ගත්තා ය. දිනුක කෝප වූයේ නැත. නමුත් ඔහු මගේ උරහිසට අතක් තැබුවේ මා සන්සුන් කරන්නට ය.

“පිනී, මලිඳු ඔයාගේ අවුරුදු කීයක වන් සයිඩ් ලව් එකද කියන එක අපි දැන් අමතක කරමු. ඒක අමතක කරන්න බැරි උනත් ඔයාට මලිඳු ඇත්තටම හොඳ යාලුවෙක්ද කියන එක ගැනනම් ආයේ පාරක් හිතන්නම වෙනවා.. එයා ඔයාට ආදරේ මිනිස්සු ගැන කතා ගොතන එක යාලුකමට නෙවෙයි පිරිමිකමටත් ලැජ්ජාවක්..”

මම නිසොල්මන්ව අසා සිටියෙමි.

“දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අපි අතින් ඔයාට වැරැද්දක් උනාමයි කියමු. මලිඳු ඔයාව දන්නේ අපිට වඩා ගොඩක් කලින්. එයා ඕක ඔයාට කියන්න ඕන ඔයාව අවුල් කරලා අපෙන් ඔයාව බිඳවලා නෙවෙයි.. එයාගේ ඔලුවෙ වැඩ කරන ප්ලෑන්ස් මම දන් නෑ..ඒත් මට හිතෙන්නේ එයාට ඔයාව නටවන්න දෙන එක දැන් ඔයාම නවත්තන්නම ඕන..”

වදනකුදු නොදෙඩුව ද මා සම්පූර්ණයෙන්ම දිනුක සමඟ එකඟ වෙමින් සිටියෙමි. මලිඳුගේ හිනාවක් සොයන්නට බොහෝ දේ කළ දවස් ද ඔහුගෙන් එකම මැසේජ් එකක් හෝ එනතුරු ඉවසූ දවස් ද ඉතා බොළඳ දැරියකට අයිති දවස් බව වටහා ගන්නට මට ඕනෑ විය. තවදුරටත් ඒ පිනිදිට ඉඩ දිය යුතු නැත.

කියවන්න :  පිනි සේල -16

“පිනී… මං හිතන්නේ ඔයා අපේ අයියා ගැන අවුල් වෙලා ඉන්නේ මං අවුල් වෙලා ඉන්න විදියටමයි. ඒ විදියටම ඔයා දිනුක ගැන හිමල්ක ගැන වුණත් අවුල් වෙනවනෙ..ඒ අපේ යාලුකම. සහෝදරකම. ඒකට ඔයා නොහිතන කතා කියන්න මලිඳුට තියන උවමනාව ගැන ඇත්තටම ඔයා එයාගෙන් අහන එකයි හොඳ…මොකද ඕක මං ඇහුවොත් ඌට දත් නැති වෙනවා.”

ඊෂාගේ කෝපය පහව නොගිය නිසා ම අපි බොහෝ වෙලා වැඩකට නැති දේ කියවමින් කල් ගත කළෙමු. අයියා නිවසේ සිටියේ නැත.ඔහු දිනුකව හැරලවා නැවත පිටව ගොස් ය. ඔහු තවමත් සාමාන්‍ය නොවීම ගැන ඊෂා සමඟ මොනවා හෝ කතා කරන්නට සිතුණ ද නැවත ඈ අවුලට පත් කිරීම නොහොබිනා බව මට සිතිණි.

එදින රාත්‍රියේ මට කල්පනා කරන්නට බොහෝ දෑ තිබිණි. මලිඳු ගැන ප්‍රේමයක් පහළ වූ දින දක්වා ම අතීතයේ සැරිසරන්නට මට උවමනා විණි. යොවුන් වියට එළඹෙමින් සිටි කාලයේ පටන් ඔහු මගේ ප්‍රේමය විය යුතු බව මා සිතුවේ ඇයිදැයි මගෙන්ම විමසන්නට මට ඕනෑ විය. ප්‍රේමය ඇති වන්නේ හේතු ඉදිරිපත් කරමින් නොවන බව සැබවි.ඔහු මා දුටු හොඳම යෞවනයා බවට මා තහවුරු කරගත් මිනුම් වලින් අද වෙද්දී දිනුක ද හිමල්ක ද අමෝද අයියා ද ඔහු අබිබවා යාම ද සත්‍යයකි. නමුත් තවමත් මගේ ඇස් දීප්තිමත් ව බබළවන්නට සමත් වන්නේ ඔහුගේ සිනාව ය. ඉතා වියවුලට පත් තැනෙක දී දිනුකත් හිමල්කත් අමෝද අයියාත් මා සනසන්නට දහසක් කරුණු කියද්දී ඔහු “ඇයි පිනී..” ඇසීම ම මා නිවෙන්නට හේතුවකි. මගේ ජීවිතයේ සම්පූර්ණ සතුට ඇත්තේ ඔහුගේ එක් සිනාවක සහ වචන පේලියක බව සිතමින් ඔහු වෙත ඇලෙන මා මේ උමතු ප්‍රේමයෙන් මිදෙන්නේ කවදාදැයි මට පැහැදිලි නැත.

කිසිසේත්ම පැහැදිලි නැත.

කල්පනාවේ නිමග්නව සිටි මට බාධා නොකර ඊෂා මගේ ඇඳ මත නිදා සිටියා ය. අමෝද අයියා නිවසට එන්නට ප්‍රමාද වන බොහෝ රාත්‍රීන් වල හිතේ ඇති පීඩනය සහ බිය දිය කරගන්නට ඊෂා කරන්නේ මගේ කාමරයට පැමිණ කියවමින් හිඳීම ය. නැතිනම් බැල්කනියට වී නිසොල්මන්ව ඔහේ මඟ බලා සිටීම ය. අයියාගේ රිය පැමිණි හඬ ඇසී මඳ වෙලාවක් ගෙවී ගිය ද ඈ ඇගේ කාමරයට නොයා නින්දට වැටී අවසන් ය. මම කාමරයේ විදුලි පහන නිවා දමන්නට නැගී සිටියෙමි. දොරට තට්ටු කරන හඬක් ආවේ එවිට ය. ඊෂා ද දෑස් විවර කළා ය.

කියවන්න :  පිනි සේල - 24

“මෙයා මොකෝ…”

මා දොර විවර කරද්දී දොරට එපිටින් සිටි අමෝද අයියා දෙස බලමින් ඊෂා නැගිට ගත්තා ය. ඉතා සැහැල්ලුවෙන් හිනැහෙමින් සිටි අයියා දින ගණනකට පසු දැකගත් ප්‍රීතියෙන් අප දෙදෙනාම සතුටට පත් වෙද්දී ඔහු සිටියේ හිනැහෙමිනි.

“මේ ටර්ම් එකේ එක්සෑම් ළඟයි කියලා දිනුකයා කලින්ම ගියා පාඩම් කරන්න. තමුසෙලත් පණ දාගෙන පාඩම් කරනවා ඇති කියලා මං මේ පීසා එකකුත් අරන් ආවේ. මේ කම්මැලි සමයං දෙක නිදි. චික් විතරක්..”

ඔහු එතරම් සැහැල්ලුවෙන් සිටින්නේ මොනතරම් කාලයකට පසු දැයි මා සිතුවත් ඊෂා වහා පැන ඔහු අතින් ආහාර පාර්සලය උදුරා ගත්තා ය.

“ඔයා ඔහොම කන්න බොන්න දීලා සලකනවා නම් අපිට බැච් ටොප් වුණත් වෙන්න බැරියැ අයියා…”

අයියා හිනැහෙමින් හිඳ ගත්තේ කාලයකට පසු අප සමඟ කියවන්නට බව මට වැටහිණි. මගේ දුරකථනය නාද වූයේ ද එවිට ම ය.

“අපේ නංගියා..”

දුරකථන මුහුණතේ වූ නංගිගේ ඡායාරූපය සහ අංකය අමෝද අයියාටත් ඊෂාටත් පෙන්වන්නට මට උවමනා වූයේ ඇයිදැයි සිතමින් මම නංගිගේ ඇමතුමට සම්බන්ධ වූයෙමි.

“ඒ අක්කියා.. මාර වැඩක් වුණානෙ. කලබල වෙන්න එපා මේක අහලා.සන්තෝසෙට බැල්කනියෙන් පහළට පනින්නත් එපා ඈ…”

නංගී කියවාගෙන යද්දී මා දුරකථනය ද රැගෙන බැල්කනියට ආවේ සැබෑවටම ඈ කියන්නේ ඉන් පනින්නට කාරණාවක් දැයි සැක සිතමිනි.

“මොකක්ද..”

“ඔයාට ප්‍රපෝසල් එකක් ඇවිත් ආං..දැන්ම වෙඩින් ගන්න නම් ඕන නෑලු.. ඒත් ඔයා කැමතිද අහනවා…”

ඒ හදිසියේ මට මංගල යෝජනා ගෙන ආවේ කවුදැයි දැන ගන්නට ඕනෑ වූ මට එය නොකියමින් තාවර වන නංගීට බනින්නට තරම් සිත් විය.

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments