එයා මට ඇත්තටම ආදරෙයි!

එයා මට ඇත්තටම ආදරෙයි! ඇයට එහෙම හි‍තෙනවා. හැමවෙලාවකදි ම ඇය ඔහුගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. ඇය ඔහු විශ්වාස කරනවා. ඔහු ගැන හැම මොහොතකම හොයාබලන්නෙ ඒනිසාමයි. ඔහු කතා නොකරන පුංචි වෙලාව පවා ඇයට අවුරුදු කල්පයක් තරම් දිගට දැනෙනවා. ජීවිතය පුරාවට ම ඈ ඔහු ගැන හීන දකින්න ආසයි. ඔහු ඇගේ හීන එකින් එක හැබෑ කරාවි.

ඒක තමයි ඇගේ එකම පැතුම. ජීවිතේ ඔහුත් එක්ක බෙදාගන්න එක මොන තරම් සුන්දර ද? ආදරේ කරන හැම යුවතියකට ම දැනෙන හැඟීම් තමයි මේ.

ප්‍රේමය ගැන නිවැරැදි විග්‍රහයක්‌ කරන්න මේ ලෝකේ කාටවත් බැහැ. ඒක වචනවලට
එහා ගිය හැඟීමක්. හැඟීමකටත් එහා ගිය අවබෝධයක්. බොහෝ දෙනා දන්න දේ තමයි,
එය විඳිය යුතු, දැකිය යුතු දෙයක්‌ බව. තරාතිරමක්‌ නැතිව, හැමෝගෙම හදවත්
ඇතුළෙ මේ හැඟීම් හටගන්නවා. අනවසරයෙන් හදවතට ගොඩ‍වෙන මේ හැඟීම් සමුදාය
සමබර කර ගැනීම, පාලනය කර ගැනීම එක් එක් පුද්ගලයාගේ හැසිරීම් රටාවන් එක්ක
වෙනස් වෙනවා.

පෙම්වතෙක් පෙම්වතියක් හැටියට එකිනෙකාගෙ අදහස් අවබෝධ කරගෙන ආදරෙයෙන් බැඳී
සිටින කාලය හැම කෙනෙකුගේ ම ජීවිතවල ඉතාමත්ම සුන්දර අවදිය හැටියට සලකන්න
පුළුවනි. මේ කාලයේ දී ඔබ ඔහුගේ ආදරය මුළුමනින් ම දිනාගන්නට සමත් වී
තිබෙනවාද? පෙම්වතිය ලෙස ඔබට ඔහුගේ ආදරය හඳුනාගන්නටත්, ඔහුගේ ආදරය තමා
සතුකර ගැනීමටත් හැකි වී තිබෙනවාද? ආදරය එකිනෙකාට දැනෙන විදිය වෙනස්‌.
බොහොමයක්‌ ගැහැනු ළමයින්ට ආදරය කරන කාලයේ ඇතිවන ලොකුම ප්‍රශ්නය “මුලදී
වගේ නෙමෙයි දැන් එයා ගොඩක්‌ වෙනස්‌”කියන එක. ඒත් මේක ඇත්තම තත්ත්වය
නොවෙන්නත් පුළුවනි.

පෙම්වතිය ලෙස ඔබ ඔහුට ආදරය කරන විට තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය තමයි,
පිරිමි පාර්ශ්වය ගැහැනුන්ට වඩා වෙනස්‌ බව. ආදරයේදී ඒ වෙනස්‌කම් අවබෝධ
කරගැනීම ඉතා වැදගත්. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ ආදරය විවාහයෙන් කෙළවර
විය යුතු බවයි. විවාහය දක්වා පවත්වාගෙන යන්න පුළුවන් විදියට ආදරය
පවත්වාගැනීම ඔබ දෙදෙනාගේ ම සාර්ථකවීමක්. ඒත් ඔබේ ආදරය විවාහයෙන් කෙළවර
වෙන්න දෙන්න එපා. විවාහය නිසා විය යුත්තේ ඔබේ ආදරය තව දුරටත් ශක්තිමත් වී
අලුත් වීමයි. අද දෙතැනකට වී ආදරය කළත්, ඔබ දෙපළ හෙට දවසේදී එකවහලක් යට
ජීවත්විය යුතුයි. ඔහු ගැන ඔබ හිතන හැටි හරිට ම හරිද, ඔහු බලාපො‍රොත්තු
වෙන තරමට ම ඔබ ඔහුට ආදරය කරනවාද? ඔබ ඔබෙන් ම විමසා බලන්න. ඔහුට ආදරය කරන
ඔබ අනිවාර්යයෙන් ම මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

ඔහු හිත් කියවන්නෙක්‌ නොවෙයි…

පෙම්වතිය ලෙස ඔබ සැම විටම ඔබේ පෙම්වතාගේ හැසිරීම්, ගති පැවතුම් තේරුම් ගත
යුතුයි. බොහෝ පෙම්වතුන් වචනාර්ථයෙන් තමයි යමක්‌ අවබෝධ කරගන්නේ. පෙම්වතිය
ලෙස ඔබ ඔහුට පවසන දෙයින් ඔහු අවබෝධ කරගන්නේ මතුපිට අර්ථය පමණි. මේ
අවස්‌ථාවලදී ඔබ පෙමව්තිය හැටියට වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබේ
පෙම්වතාට කිවයුතු දේ සෘජුවම පවසන්න. බොහෝ වෙලාවට ගැහැනු ළමයින් සිතනවා
පිරිමි ළමයින්ට හිත කියවන්න පුළුවන් කියලා. නමුත් මෙය හැමවිට ම ඇත්තක්
නොවේ. ඒ නිසාම පෙම්වතා ඔබගේ සිතුම් පැතුම් නිවැරැදිව හඳුනා ගන්නෙ නෑ කියා
හිත රිදවා ගැනීම සුදුසු නැහැ. පෙම්වතිය ලෙස ඔබ හැම විටම ඔබේ හැඟීම්
සෘජුවම පෙම්වතාට ප්‍රකාශ කළ යුතුයි. යමක්‌ අඟවන්න උත්සාහ කිරීම තුළින්
රිදෙන්නේ ඔබේ සිතටයි.

ඔහු හැම විටම අගය කිරීම අපේක්‍ෂා කරයි

ආදරය එකිනෙකාට දැනෙන විදිය, එකිනෙකා අවබෝධ කරගන්නා ආකාරය වෙනස්‌. ඔබේ
පෙම්වතාට ඔබ හදවතින්ම ආදරය කළත් ඔහුට එය නොදැනෙනවා විය හැකියි. එසේ වන්නේ
ඔහුට ආදරය දැනෙන විදිය වෙනස්‌ නිසාවෙනි. බොහෝ පෙම්වතුන්ට ආදරය දැනෙන්න
පටන්ගන්නේ තමාව අගය කිරීමත් සමඟයි. පෙම්වතිය ආදරයේ දී පෙම්වතාගේ මේ වෙනස
හඳුනාගත යුතුයි. ආදරය දෙදෙනාගේම හදවතටම දැනිය යුතු හැඟීමක්. ඔබේ පෙම්වතාට
ආදර හැඟීම් දැනෙන ආකාරය පෙම්වතිය ලෙස ඔබ හඳුනාගත යුතුයි. තමන්ව පහත් කර
කතා කිරීම, අපහාසයට ලක්‌කිරීම වැනි පෞරුෂයට හානි වන දේ ඔබේ පෙම්වතා
ආදරයේදී ඔබෙන් කිසිවිටෙකත් අපේක්‍ෂා කරන්නේ නැහැ. විශේෂයෙන් ම මිතුරන්
හමුවේ ඔහුගේ දුර්වලතා පවසන්න යන්න එපා.

නැවත නැවත ප්‍රශ්න මතක් කරන්න එපා !

පෙම්වතිය ආදරය විඳින මොහොතේ ප්‍රශ්නයක්‌ ඇති වූ විට එය නැවත නැවත සිහිපත්
කරන්නට ප්‍රියතාවක්‌ දක්‌වයි. නමුත් පෙම්වතා ප්‍රශ්නයක්‌ ඇති වූ මොහොතේම
එය අමතක කර පුරුදු ලෙන්ගතුකමින් ආදරය කරයි. පෙම්වතාගේ මේ වෙනස පෙම්වතියට
දරාගත නොහැකියි. පෙම්වතුන් ආදරයේ දී වඩාත් ආසා කරන්නේ ඒ මොහොතේ සිදුවන
දෙයට පමණයි. පෙම්වතා වරදක්‌ කළ විට එය නැවත නැවත ඔහුට මතක්‌ කිරීම ඔබ
ඔහුට කරන මදිකමක්‌ ලෙස පෙම්වතා වටහා ගන්නවා. ඒ නිසාම ප්‍රශ්නයක්‌ වූ
අවස්‌ථාවේ දී එය නැවත නැවත කතා කිරීම සුදුසු කාර්යයක්‌ නොවෙයි. ඔබේ
පෙම්වතාට ඔබව එපාවීමට එය ද හේතු වන අතර ආදරයේදී පෙම්වතාට මවක්‌ මෙන්
අවවාද කිරීම පෙම්වතිය ලෙස ඔබ නොකළ යුතුයි.

ආදරයෙන් ම වැරදීම් විසඳාගන්න

ස්‌වභාවයෙන් පිරිමි පාර්ශ්වය සැහැල්ලුවෙන් කාලය ගතකිරීමට කැමැත්තක්‌
දක්‌වයි. ඔවුන් ජීවිතය ගැන ගැඹුරින් හිතන්න පෙළඹෙනවා අඩුයි. නමුත් ගැහැනු
ළමයින් හැම විටම හැම දෙයක්‌ ගැනම සීමාව ඉක්‌මවා නැවත නැවත ඒ දේ සිහිපත්
කිරීමට කැමැත්තක්‌ දක්‌වයි. එය ඔබේ පෙම්වතාට කරදරයක්‌ විය හැකියි.
ප්‍රශ්නයක්‌ ඇති වූ විට එය නැවත නැවත කතා කරමින් අඩුපාඩු පෙන්වා දීමට
ගැහැනු ළමයි රුචියක්‌ දැක්‌වුවද පිරිමි පාර්ශවය එයට එතරම් කැමති නැහැ. මේ
නිසා ඔබේ පෙම්වතාගෙන් වරදක්‌ වූ විට ඔහුගේ වරද පෙන්වා දීමේදී ඔබ
උපක්‍රමශීලී විය යුතුයි. වැරැද්ද නිතරම මතක්‌ නොකර පෙම්වතාගේ යම් හොඳ
ක්‍රියාවක්‌ පවසා වැරැද්ද අවබෝධ කර දී නැවත පෙම්වතාගේ යටපත් ගුණාංගයක්‌
පවසමින් කතාව අවසන් කරන්න. උදාහරණයක්‌ ලෙස “ඔයා ගොඩක්‌ හොඳයි, මා දන්නවා
ඔයා මට ආදරෙයි කියලා. ඒත් ඔයාගෙ මේ වැරැද්ද නම් හොඳ නෑ. ඔයා මේ කරන දේ
නිසා නම් මට හිතෙනවා ඔයා මට ආදරේ නෑ කියලා. ඒත් මා දන්නවා ඔයා හොඳ
කෙනෙක්‌ කියලා.”

පෙම්වතා වෙනුවෙන් මුළු ජීවිතයම වුවද කැපකිරීමට පාරමී පුරන ඔබ පෙම්වතාගේ
පුංචි වරදක්‌ අමතක කර ඔහුට සමාව දීම වැනි පුංචි කැපකිරීමක්‌ කිරීමට
සූදානම් නොවේ. පෙම්වතා වරදක්‌ සිදුකළ විට එයට හදවතින්ම සමාව දී සතුටින්
සිටින්න උත්සාහ ගන්න. එය ඔබේ ආදරයේ සදාතනික පැවැත්මට හේතුවනු ඇත.

ඔහුගේ හැඟීම් තේරුම් ගන්න

ලිංගික හා ලිංගික නොවන ලෙස ස්‌පර්ශය අර්ථ ගැන්විය හැකියි. ප්‍රේම
සම්බන්ධතාවලදී ලිංගික ස්‌පර්ශය නම් අනුමත කළ නොහැකියි. බොහෝ විට පිරිමි
පාර්ශ්වය ලිංගික නොවන ස්‌පර්ශය (අතින් ඇල්ලීම, සිපගැනීම, ඔළුව අතගෑම)
තුළින් ආදරය ප්‍රකාශ කිරීමට කැමැත්තක්‌ දක්‌වන අතර පෙම්වතා පෙම්වතියගෙන්
මෙවැනි ආදරණීය ස්‌පර්ශයක්‌ බලාපොරොත්තු වෙයි. පෙම්වතාගේ මෙවැනි හැඟීම්
හැම විටම පෙම්වතිය තේරුම් ගත යුතුයි. ඇතැම් ගැහැනු ළමයින් අතින්වත්
අල්ලන්නේ නැතිව ආදරය කරන පෙම්වතෙක්‌ සොයයි. එය නම් සිදුවන්නේ ඉතා
කලාතුරකින්. ස්‌වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරය ඇතිවන්නේ රාගික
හැඟීම් සමඟයි. මේ නිසා ඔහු ආදරය කරනවිට ස්‌පර්ශයත් බලාපොරොත්තු වෙනවා.
ප්‍රේම සම්බන්ධතා බොහොමයක්‌ අතරමගදී බිඳවැටෙන්නේ පෙම්වතිය පෙම්වතාගෙන්
මෙම ආශාවන් හා ඔහුගේ හැසිරීම් අවබෝධ කර නොගැනීම නිසයි.

පෙම්වතා ආදරය ප්‍රකාශ කරන ආකාරය වෙනස්‌

පෙමින් වෙළී සිටින කාලයේ නිතර පෙම්වතිය මුණගැසෙන්නට ඇය දෙස බලමින් ඇයගේ
සුන්දරත්වය විඳින්නට, ඇය සමඟ තනිවෙන්නට පෙම්වතා වඩාත් කැමතියි. පෙම්වතිය
ද පෙම්වතා සමඟම එකටම කාලය ගත කරන්න වැඩි රුචියක්‌ දක්වනවා. විශේෂයෙන් ම
පෙම්වතිය පෙම්වතා හැම අවස්‌ථාවේදීම තමා සමඟ සිටීවි යැයි බලාපොරොත්තු
වෙනවා. ආදරය ලස්‌සන වන්නේ එකිනෙකාගේ අනන්‍යතාවන් රැකෙන විටයි. කෙදිනකවත්
ආදරයේ දී දෙදෙනාම එක්‌ අයෙක්‌ නොවන අතර දෙදෙනාගේම අදහස්‌, හැඟීම් ද
එකිනෙකට ගැළපෙන්නේ නැහැ. පෙම්වතුන්ගේ ආදර ලෝකය සුන්දර වන්නේ මේ වෙනසත්
සමඟයි.

වෙනස් අදහස්වලට ගරු කරන්න

දෙදෙනාම ඔවුනොවුන්ගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් ආශාවන්වල පවතින වෙනස
තේරුම් ගත යුතුයි. ගැළපීම කියන්නේ සමාන අදහස් පැවතීමට නොමෙයි. බොහෝ දෙනා
වරද්දාගන්නා තැනත් මෙයයි. වෙනස් අදහස් සමග එකට එක්වීමෙන් තමයි ඔබ
දෙදෙනාගේ ආදරයේ තියෙන වටිනාම බැඳීම ශක්තිමත් වෙන්නේ. වෙනස් අදහස් ආදරයට
එක්‌ කරන්නේ අපූර්වතම සුන්දරත්වයක්. පෙම්වතා ආදරය කරන්නේ ඔහුටම ආවේණික
ලක්‍ෂණ සමඟයි. පෙම්වතිය එය අවබෝධ කරගත යුතුයි. ඇගේ බලාපොරොත්තු ආශාවන්
ඔහුත් අවබෝධ කරගත යුතුයි. සාර්ථක ආදර සම්බන්ධතාවන් පවත්වාගෙන යන්නට නම්
දෙදෙනාම දෙදෙනාගේම මෙම වෙනස්‌කම් හඳුනාගෙන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
ආදර ලෝකය හැඩවෙන්නෙ ඔබ දෙදෙනාගේ මේ වෙනසත් සමඟයි.

– නිරංජලා-

ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක, සුරංග අමරකෝන් මහතා දිනමිණ පුවත්පතට
ඉදිරිපත් කළ තොරතුරු ඇසුරෙන් සකස් කරන ලදී.

Related Articles

Don't Miss


Latest Articles