බාධක මැද ගුවන ජයගත් දිව්‍යා

සාර්ථක පුද්ගලයන් ලෙස ඉතිහාසගත වනුයේ අනේක දුෂ්කරතා හා බාධක මැද සිය අරමුණු හා සිහින අත් නොහැර අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් ක්‍රීයා කොට එම සිහින යථාර්තයක් කර ගත් පුද්ගලයන්ය. දිව්‍යා එලෙස සියළු බාධක දුරලා සිය සිහිනය ජයගත් ළඳක්.

ඇය නමින් ඈන් දිව්‍යා (Anne Divya). මේ වන විට 30 හැවිරිදි වියේ පසුවන ඈන් ලොව විශාලතම ගුවන් යානාවක් වන Boeing 777 හි කපිතාන් පදවිය උසුලන ලාබාලතමයා ලෙස වාර්තාවක් තැබූවා. ඇය එයාර් ඉන්දීයා ගුවන් සමාගමේ ගුවන් යානා අණදෙන නිලධාරිනියක ලෙස දැනට සේවය කරනවා.

ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශයක ඉපිද ළමා වියේ සිටම ගුවන් නියමුවරියක් වීමේ සිහිනයක් ඇයට තිබුණ ද ඒ සදහා කළ හැකි දෙයක් ඇය දැන සිටියේ නැත. පවුලේ ආර්ථිකය එතරම් සරු නොවූ අතර ඇගේ අධ්‍යාපනය සඳහා ඇගේ දෙසව්පියනට ණය වන්නට සිදු විය. දකුණු ඉන්දියාවේ දුරබැහැර විජයවාඩා නගරයේ සිට පැමිණි ඇගේ දුර්වල ඉංග්‍රීසි පාසලේදී නිතර විහිළුට බඳුන් විය. ඇගේ ඥාතීන් ඇයගේ බලාපොරොත්තුව සමච්චලයට ලක් කලහ.

නමුත් ඇගේ උද්යෝගීමත් දෙමාපියන්ගේ මග පෙන්වීම මත වයස 17 දී ඈ Uttar Pradesh හි Indira Gandhi Rashtriya Uran Akademi (IGRUA) ගුවන් නියමු පුහුණු පාසලට ඇතුලත් වූවාය. බොහෝ බාධක මැද දෙමව්පියන්ගේ සහයෝගයෙන් වයස අවුරුදු 19 දී පුහුණුව අවසන් කර එයාර් ඉන්දියා ගුවන් සමාගමේ රැකියාව ලබා ගැනීමට සමත් විය.

140,000 පමණ වන ලොව ගුවන් නියමුන් අතුරින් කාන්තා ගුවන් නියමු වරියන් සිටිනුයේ 6,500 කටත් අඩුවෙන්ය.  ඔවුන් අතරින් ද කපිතාන් පදවිය උසුලනුයේ 450 ක් පමණය. දුප්පත් ගමක ඉපිද සිය දෛවයට අභියෝග කරමින් ඉතා කැපවීමෙන් ක්‍රීයා කර තමන්ට ජය ගත යුතු සිහිනය ජය ගත් ඈන් අප සැමට මහත් ආදර්ශයක්.

එයාර් ඉන්දියා සමාගමේ බෝයිං 777 වර්ගයේ ගුවන් යානාවක්

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles