පතිනියකගේ සටහන් – 14

0
2127

“මොකද තනියම හිනා වෙන්නේ ?” භානුක අහන්නේ රිය පදවන අතරේ. මගේ මුහුණේ සිනාවක් තියෙන්න ඇති. ඒ සිදුවීම සිහියට එන විට කඳුලක් නොනැඟී සිනාවක් එන එකත් කොච්චර දෙයක් ද?

“අද මට අකවුන්ට්ස් ඩිපාට්මන්ට් එකේ හර්ෂනී කීවනේ භානු, මේ ගවුම හරිම ලස්සනයි කියලා”

භානුත් මගේ හිනාවට එකතු වෙනවා.

“එහෙම තමයි ඉතින් මගේ තේරීම්”

භානු කියන්නේ තවම පහව නොගිය හිනාවෙන්.

“අයියෝ.. ඉතුරු ටිකත් අහන්න ඉතින්. ඊට පස්සේ එයා කියනවා. හැබැයි මේ ගවුම මට පොඩ්ඩක්වත් ගැළපෙන්නේ නෑලු. මං කෙට්ටු නිසා බාච්චුවක් වගේලු. ආයේ මොකුත් නෑ මූණටම කැතයි කිව්වා”

මට භානුත් එක්ක හර්ෂනී ගැන කියන්න බොහෝ දේවල් තියෙනවා.

කියවන්න :  කෙට්ටුවෙන්න ආසනම් ඇතිවෙන්න කන්න

ඇය කාර්යාලයේ ගැහැණු ළමයිව අගය කරන්නෙම නැති තරම්. අපි අඳින ඇඳුම් සිරුරට නොගැළපෙන බව, කොණ්ඩය සකසන්නට ගිහින් ඉන්නවාට වඩා බොහෝ කැත වෙලා බව, පිම්පල්ස් එන්න එන්නම වැඩි බව, එන්න එන්නම මහත් වෙන බව, කෙට්ටු ගතිය හොඳටම වැඩි බව අපිට මතක් කරන්නේ ඇය.

“ඒ විතරක් නම් බැරියැ. භාග්‍යා ප්‍රෙග්නන්ට් කාලේ ටිකක් කලු වෙලා හිටියනෙ. බලන්න බැරි තරම් කැතයි කියලා හර්ෂනී එයාව දකින දකින පාරට මතක් කළා. මේ ගමනත් කොල්ලෙක් කියලත් සාස්තරත් කීවා. ඒත් භාග්‍යාට රෝස මලක් වගේ දූ පැටියෙක් ලැබිලා”

භානුක පරිස්සමින් රිය පදවන අතරේ කතාව අහගෙන ඉන්නවා.

කියවන්න :  අලුත් අවුරුදු කැවිලි මේසය 3 - පොඩිත්තන්ට කැවිලි ජාති..

“ඔයා දන්නවද තාරු.. කොච්චර උගත් වුණත් සමහරු හරි ආසයි ඔහොම අනිත් අයව පහත් කරන්න. අනේ කැත වෙලා. අපොයි මහත් වෙලා.. ඕවා තමයි කටේ තියෙන්නේ. හිතට අරන් දුක් වෙනවට වඩා මට හිතෙනවා ඕවා හිනාවෙලා අමතක කරන එක තමයි හොඳම වැඩේ”

ඔහු වාහනේ නතර කරන්නේ රෙදිපිළි ප්‍රදර්ශනාගාරයක් ළඟ.

“මේ මොකද?” මම අහන්නේ පුදුමයකින්.

“හර්ෂනීටත් වැඩක් තියෙන්න එපැයි. එයාට විවේචනය කරන්න අපි තව අලුත් ඇඳුමක් දෙකක් ගමු”

භානුකගේ අපූරු විසඳුම දිහා මම බලා ඉන්නේ ආදරෙන්. ලෝකෙම හිනා වුණත් මොකද.. ඒ අයට පෙරළා හිනා වෙන්න තරම් ශක්තිමත් හිනාවක අයිතිකාර පතිනියක් වෙන්න මම වාසනාවන්ත නම්..

-නිබන්ධිකා-