“අම්මි බඩගිනියි..”
පුතා ඇවිත් කතා කරනකම් මම හිටියේ ඇඳේ.අඬලා ඉදිමුණු ඇස් පුතාට පේනවට මට දුකයි. මම ලයිට් එක නොදා මොහොතක් හිටියා. පුතා මට තුරුළු වුණා.
“අම්මි ලයිට් එක දාන්නකො මට බයයි..”
මම පැය ගාණක් ඇඳේ වැටිලා අඬනකොට පුතා ඉන්න ඇත්තේ මොනතරම් බයකින්ද? මුළු ගේ පුරාම අඳුර පැතිරිලා. කොහොමත් දැන් ඉතින් මගේ මුළු ලෝකෙම අඳුරුයි තමයි. මම එහෙම හිතුවා.
සාලෙට ඇවිත් විදුලි පහන් දල්වනකොට මට ආයෙත් ඇඬුණා. මගෙත් ශෙහාන්ගෙත් වෙඩින් ෆොටෝ එක සාලේ ලොකුවට බැබළෙනවා. ඒක උස්සලා පොළොවෙ ගහන්න ආපු තරහ මම වාවා ගත්තේ අමාරුවෙන්. මම ආයෙම කඳුළු ගලන ඇස් අමාරුවෙන් පිහදා ගත්තා.
“අම්මි ඇයි අඬන්නේ..”
පුතා අහනවා. ඇඬීමට හේතුව අද නොකිව්වත් කවදමහරි එයාට කියන්න මට සිද්ධ වෙනවා. මම එහෙම හිතුවේ ඇස් පියාගෙන. පුතාට බඩගිනියි කියලා ආයෙම මතක් වුණා. කෑම ඕඩර් එකක් දානවද? එයාට නූඩ්ලස් එකක්වත් හදලා දෙනවද?
වාහනේක හඬ ඇහුණේ ඒ වෙලාවේ. ශෙහාන් ද? නෑ ඒ එයාගේ වාහනේ සද්දේ නෙවෙයි. මං කාලෙකින් එයාගේ වාහනේ නොගියට ඒ හඬ හොඳට අඳුනනවා.
“අම්මි…පුංචි ඇවිල්ලා..”
පුතා ජනේල තිර අතරින් බලලා කෑගහනවා. මං දොර ඇරිය ගමන් හිතේ වේදනාව ආයේ වාන් දාන්න පටන් ගත්තා. නංගි බදා ගත්ත මට හයියෙන් ඇඬෙන්න ඇති. සඳුන් මල්ලි පුතාවත් වඩාගෙන එළියට යන්න ඇත්තේ ඒකයි.
“මූණෙ හැටි අක්කා..අර මල යස්සයා ඔයාට ගැහුවද..”
නංගි අහන්නේ කේන්තියෙන්.
“පාරක් දෙකක් ගැහුව..” මම පුලුවන් තරම් හෙමින් කිව්වා.
“ලැජ්ජා නැති මිනිහෙක්..එයාම වැරැද්ද කරලා එයාම ගහනවා..” නංගි මගේ ඔලුව අතගාන්නේ ශෙහාන්ට බැන බැන. කෑම පාර්සල් වගයක් අතින් කටින් අරගෙන පුතාවත් වඩාගත්ත සඳුන් මල්ලි ගෙට ගොඩ වුණේ ඒ අතරේ.
“කොල්ලා බඩගිනියි කිව්වා අක්කේ. මං හොටෙල් එකේදී අරන් දුන්නු කිරි පැකට් එකත් සේරම බිව්වා. අනේ විනූ,ඉක්මනින් පුතාට කවන්න..”
මල්ලි එහෙම කියාගෙන කෑම පාර්සල් ටික මේසෙ උඩින් තිබ්බා.
“ඔයා පුතාට කවන්න සඳුන්. මම අක්කට කටක් දෙකක් කවාගන්නම්. පේන හැටියට මෙයාලා අද දවසටම මොකුත් කාලා නෑ. පව් අර නොදරුවත් බඩගින්නේ..”
පිඟානක් සඳුන් මල්ලි අතේ තියන ගමන් නංගි මං ළඟ වාඩි වුණා. එයා බත් කටක් මගේ කටේ තිබ්බේ බලෙන්. මට දැන් කන්න ඕනෑ බත් නෙවෙයි.වහ!!
“අක්කේ,අපි පොලිස් පැමිණිල්ලක් දාලා අපේ ගෙදර යං හොඳේ..ඔයා මෙහෙ ඉඳලා මොනවා හරි කරගනී කියලා විනූත් බයෙන් ඉන්නේ..”
සඳුන් මල්ලි කියන්නේ හරිම පරිස්සමින්. මෙහෙම සහෝදරයෝ වත් නැති වුණානම්…
“නියපොත්තෙන් කඩන්න තිබ්බ දේවල් පොරොවෙන් කපන්න වුණාම ඔහොම තමයි අක්කේ..”
නංගි කියන්නෙ කේන්තියෙන්. මම මොකුත්ම නොකියා ඉන්න උත්සාහ කරා. ඇත්තටම කියන්න දෙයක් ඉතුරු වෙලාත් නෑ.
“මම ඔයාට රෙඩ් ලයිට් පෙන්නුවේ මැරේජ් එකටත් කලින්.” නංගි මගේ අතින් වතුර වීදුරුව තිබ්බේ එහෙම කියාගෙන.
ෂෙහාන්ගෙයි මගෙයි ආදර කතාව පටන් ගන්නේ ඉස්කෝලේ කාලේ. ටියුෂන් ප්‍රේමයක්. ෂෙහාන් ලැබීම ගැන මට තිබුණේ පුදුමාකාර සතුටක්. ඒ තරම් ආදරයක් මට දරා ගන්නත් අමාරු වුණා. ෂෙහාන් සෙල්ලකාර බව අනිත් අය කියද්දී මං ඒ ඉරිසියාකාර කතා ගැන කේන්ති ගත්තා.
“ෂෙහාන් අර සෙන්ට්‍රල් එකේ බුවනිගෙන් යාලු වෙන්න අහලා..”
මට ඒ ආරංචිය දුන්නේ මිතුරියක්. ඒ වගේ ආරංචියක් ගැන හොයලා බලන්න ඕන වුණත් මම කරේ ඒ කතාව වහාම අමතක කරන එක.
“අක්කා..ෂෙහාන් අයියා අර බුවනි යන යන තැන ඉන්න එක මට ඒ තරම් දිරවන් නෑ..”
නංගිත් එහෙම ආරංචියක් අරන් ආවා. බොරු කතන්දර හැදීම ගැන එයාට දොස් කියන්න මම වග බලා ගත්තා.
හරියට බැලුවා නම් ඒ තමයි පළවෙනි රතු එළිය!
මම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලේ ෂෙහාන් රස්සාවක් කරා. එයා ඔෆිස් එකේ ගෑනු ළමයි එක්ක ඕනෑවට වඩා ළං වෙලා ෆේස්බුක් ෆොටෝ දැමීම අනිත් අය ගැටලුවක් කර ගනිද්දී මං හිනා වුණා. මටත් ඕනෑතරම් යාළුවෝ ඉන්නේ? ෂෙහාන්ව ඇයි අනිත් අය ප්‍රශ්නයක් කරගන්නේ.
“ඔයාගේ බෝයිගෙන් මල වදයක් අනේ තියෙන්නේ..”
‘සෙක්ස් චැට්’ කරන්න ආරාධනා කරලා ෂෙහාන් යවපු මැසේජස් වගයක් ගෑනු ළමයෙක් මට එව්වා. පිරිමින්ට කතන්දර හැදීම ගැන ඒ ළමයා මගෙන් බැනුම් අහගත්තා.
ඒ දෙවැනි රතු එළිය.
ෂෙහාන්ට තියෙන්නේ එක සම්බන්ධයක් නොවන බවට ආපු ආරංචි ඕනෑතරම්. මම ඒ වෙලාවට අඬනකොට ෂෙහාන් කරේ මාව තුරුළු කරගන්න එක.
“මගේ කෙල්ලට මාව ඔච්චර අවිශ්වාසද?”
මම එයාව අවිශ්වාස නොකර ඉන්න පටන් ගත්තා. මොන ආරංචි ආවත් මගෙන් බැනුම් ඇහුවේ පණිවිඩකාරයා.
“ෂෙහාන්ව බඳින්න එපා අක්කේ. ඔය වනචර මිනිහට පවුලක් තියාගන්න බෑ..”
නංගි එහෙම කියනකොටත් මම හිනා වුණා. අනේ මල විකාර! අක්කාටත් වුණත් ඉරිසියා කරන නංගි කෙනෙක් තමයි මටත් ඉන්නේ.
“නිපූ. ඔයා ජොබ් එකට යන්න ඕන නෑ..”
මැරි කරලා මාස දෙකක් ගෙවෙන තැන මට ෂෙහාන් කිව්වා. මට මහන්සි වෙලා රස්සාවක් කරන්නවත් නොදෙන එයාගේ ආදරේ ගැන මං සතුටු වුණා. නංගි නම් කිව්වෙ ආයේ ආයේ ඒ ගැන හිතන්න කියලා.
මොනවා හිතන්නද? මං ඊළඟ මාසේම අම්මා කෙනෙක් වුණා. පුතා එනකන් බලාගෙන ඉන්න කාලේ මම හිතපු තරම් සුන්දර නෑ. ෂෙහාන්ගේ විවිධ සම්බන්ධතා මට ආරංචි වෙන්න පටන් ගත්තා.
“ඔයා ප්‍රෙග්නන්ට් නිසා ඉස්සර වගේ මට ලං වෙන්න බෑනේ..ඒ නිසා මං අතින් වැරදි සිද්ධ වුණා. මට සමාවෙන්න..”
ෂෙහාන් එහෙම කියද්දී පවා මං එයාව විශ්වාස කළා. මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ.
“තමුසෙ පිටි මුට්ටියක් වගේ ඕයි. මෙලෝ ආසාවක් හිතෙන්නේ නෑ. එහෙව් ගෑනියක් එක්ක මම මොනවා කරන්නද? ඔව් මම ෂෙරීන් එක්ක යාලුයි. මං එයාගෙ අපාට්මන්ට් එකට නවතින්න යනවා..”
අද උදේ මහා රණ්ඩුවක් අවසානයේ ෂෙහාන් එහෙම කිව්වා. එයාගේ අනියම් සම්බන්ධතා මහ ගොඩක් අස්සේ තදින් දුරදිග ගිය සම්බන්ධතාවයක් ගැන මගේ ප්‍රශ්න කිරීම අවසන් වුණේ ඒ විදියට. මොන තරම් ඇඬුවත් මොනතරම් ඉල්ලුවත් ශෙහාන් ආපහු හැරෙන්න කැමති වුණේ නැහැ.
ආදරය කරපු දවස් වල ඉඳලා නොනවත්වාම දැක්ක රතුඑළි තේරුම් ගත්ත නම් මට මෙහෙම නොවෙන්න තිබුණා. පුංචි දරුවෙකුත් එක්ක මම ඉස්සරහට මොනවා කරන්නද? මට තවම ඒ ගැන හිතාගන්න බෑ. ශෙහාන් ආපහු ආවොත් මං එයාට සමාව දෙනවද? ඒත් එයා ආපහු එයි කියලා මම හිතන්නෙත් නෑ.
එක හිතක් නැති ප්‍රේමවන්තයෙක් වෙනුවෙන් අවුරුදු දහයකටත් වඩා නාස්ති කරල ඉවරයි කියලා මට තේරෙන්නේ දැන්. ඒත් දැන් බොහෝ දේවල් සිද්ධ වෙලා ඉවරයි.
සමහරවිට මම දික්කසාද වෙයි. ශෙහාන්ට සමාව දෙන්න බැරි හින්ද ඩිවෝස් නොවී මම වෙනම ඉන්නත් පුලුවන්. තුන් අවුරුද්දක් වයස මගේ පුතාට තාත්තා අහිමි වීම් ඇරෙන්න මේ විවාහයෙන් මං ඉතුරු කරගත්ත දෙයක් තියනවද?
ආදරය කියන්නේ රැවටීම කියලා හිතාගෙන හිටපු මට ඉදිරි ජීවිතය ලේසි වෙන එකක් නෑ. ඒත් මං සටන් කරනවා. ශෙහාන් නැතුවට මට දිනන්න බැරි වෙන එකක් නෑ.