“නෙතූ.. ඔයා දැන් ඉන්නේ මෙහෙද?”
අහම්බයකින් වගේ හුරුපුරුදු හඬක් ඇහෙනකොට නෙතු හැරිල බැලුවේ පුදුමයෙන් වගේ.මේනක! නෙතූට දැනුණේ මහා පුදුමයක්.ඒ වගේම වේදනාවක්.කවදාක හරි දකින්න බලා හිටපු මේනක, අහම්බයකින් ඇස් ඉස්සරහට ඇවිත්.
“ඔව් මේනක.මේ ෂොප් එක අපේ..”
නෙතූ එහෙම කියලා මේනකගේ බිල් එක චෙක් කරන්න පටන් ගත්තා.ඒත් වෙනදා තරම් ඉක්මනින් ඒ දේ කරන්න බැරි බවක් ඇයට දැනෙන්න පටන් ගත්තා.
“ඔයා මැරි කරලා ඉන්නේ කොහෙටද කියලවත් මම දැනගෙන හිටියේ නෑනෙ.මං ඇහුවට ඔයාගේ යාලුවෝ කවුරුත්ම මට කිව්වෙත් නෑ.ඒ නිසා මං ඔයාව හොයන එක අතෑරලා දාලයි හිටියෙ.”
මේනක එහෙම කියද්දී නෙතූ කිසිවක්ම නොකියා ඉතුරු සල්ලි ඔහු අතින් තිබ්බා.දැන් ඒ දේවල් කතා කරලා මොකටද?
මේනකත් නෙතුත් අතර ආදර කතාව අවුරුදු ගාණක සම්බන්ධතාවයක්.ඒ ආදරයට නෙතූගේ ගෙදරින් තදින්ම විරුද්ධ වුණේ අම්මලා තාත්තලාට මේනකව පොඩ්ඩක්වත් හොඳ නැති වුණු හින්දා.කුල ප්රශ්නය තදින්ම ඔලුවේ තියාගෙන හිටපු නෙතූගේ අම්මත් තාත්තත් ඒ ආදරය නවත්වන්න නෙතූට තදින් බලපෑම් කරා.අන්තිමට නෙතූ අම්මලාට අවනත වෙන්න තීරණය කළා.
විවාහ වුණු සාගරගේ කිසිම වැරැද්දක් නැති නිසා නෙතූ ජීවත් වුණේ හිත හදාගෙන.ඒත් ආයේම හිත හෙල්ලෙන්න පටන් ගත් බව ඇයට දැනුණේ මේනක යන්න හදනකොට
“මගේ නම්බර් එක තාම බ්ලොක්ද?”
මේනක යන්න කලින් එහෙම අහපු නිසා නෙතූ හෙමින් සැරේ ඒ අවහිරය ඉවත් කළා.ඊටත් පස්සේ ගෙදර ගියාද අහලා මේනකට පණිවිඩයක් යවන්නත් අමතක කළේ නැහැ.
“මං දැන් වැඩ කරන්නේ මෙහෙ බෑන්ක් එකේ..”
මේනකගේ ඒ පණිවිඩයට පස්සේ නෙතූ බැංකු කටයුතු වලට ගියේ හරිම කැමැත්තෙන්.මේනකව ආයේ ආයේ දකින්න තියන උවමනාව තදින් දැනෙනකොට නෙතූ බැංකුවට නිතරම යන්න පටන් ගත්තා.
“ඔයා දැන් කම්ප්ලේන් නොකර බැංකුවට යනව නේද?”
සාගර එහෙම අහනකොට නෙතූ හිනාවකින් මඟ ඇරලා ඉන්න උත්සාහ කළා.
“මොකද කරන්නේ නෙතූ, කෑවද?”
අහම්බයකින් වගේ එහෙම පණිවිඩයක් ආවම නෙතූ තිගැස්සුණා.වෙලාව දවල් දෙකත් පහු වෙලා කියලා ඇයට තේරුණේ ඉන්පස්සෙ.සාගර කවදාවත් තමන්ගෙන් එහෙම අහන්නේ නැති බව ඇයට ඊටපස්සේ මතක් වුණා.
“වෙලාවට කන්නකො නෙතූ, ඔයාට කොහොමත් ගෑස්ට්‍රයිටිස් තියනව නේද?”
මේනක එහෙම සැර වෙද්දී තමන්ගේ ඇස්වලට කඳුළු පිරුණේ ඇයි කියලවත් නෙතූට පැහැදිලි නෑ.ඉතින් කොහොමද කතා දුරදිග ගිහින් ආපහු මේනක තමන්ට නැතිව බැරි කෙනෙක් වෙන බව ඇය තේරුම් ගත්තා.
“මොනවද සාගර මේ ගෙවල් හැඩි කරන්නේ?”
සාගර හැරුණත් වැරදි කාරයෙක් වගේ පේනකොට නෙතූ සාගරට කෑගහන්න ගත්තේ ඔය අතරේ.දිගින් දිගටම මේනක එක්ක චැට් කරනකොට නෙතූට උයමන් පවා පැටලෙන්න පටන් ගත්තා.
“මේ චිකන් එකට ලුණු වැඩි වෙලානෙ.”
සාගර එහෙම අහනකොට නෙතූ නැගිට්ටේ පුටුවත් තල්ලු කරගෙන.
“කන්න බැරිනම් නිකං ඉන්න..”
නෙතූ එහෙම කියාගෙන ගිහින් ඇඳේ පෙරළුනා.සාගරත් එක්ක දිගින් දිගටම රණ්ඩු ඇති කරගෙන දික්කසාද වෙන්න ඇය තීරණය කළේ ඉන්පස්සේ.ලේසියකට තරහ යන්නේ නැති සාගරව කෝප ගන්වන්න පුලුවන් හොඳම ක්‍රම හොය හොයා නෙතූ ඇඳේ පෙරළෙන්න පටන් ගත්තා.මං දික්කසාද වුණොත් මේනක ආයෙම මාව කසාද බඳියි, නෙතූ එහෙම හිතුවේ සන්තෝසෙන්.
සාගර කොහෙද යන හඬ ඇහුණු නිසා නෙතූ දුරකථනය අතට ගත්තේ මේනකට පණිවිඩයක් යවන්න හිතාගෙන.ෆේස්බුක් තීරයේ උඩපහළ යන්න පටන් ගත්තම දැක්ක දෙයකින් නෙතූ තිගැස්සුණා.
“මේනක විවාහ ගිවිසගෙන..”
කදුළු ගුලි ගුලි ඇස්වලින් වැටෙනකොට තමන් හිටියේ මායාවක බව නෙතූට තේරුම් යන්න පටන් ගත්තා.පරණ මලක ආයේ සුවඳක් නැහැ.තමන් මොනතරම් මෝඩයිද?
“මං කෑම අරන් ආවා.ඔයා අද දවසම ෂොප් එකේ මහන්සි වුණානෙ..ලුණු ගැන ඇහුව මමයි වැරදි..”
සාගර ඇවිත් ඇයව වැලඳ ගත්තේ ඒ මොහොතේ.
සාගරට ද්‍රෝහි වෙලා මම කරගන්න ගියේ මොනතරම් වරදක්ද?නෙතූ හිතුවේ සාගරගේ පපුවට හිස තියා ගන්න ගමන්.