ළපෙති මල් -35

වේගයෙන් දොරකඩ නතර වූ රිය නිසා සිරිමා බමුණුසිංහ කලබල වූවා ය.
එවැනි වේගයෙන් කඩාපාත් වන්නී ලංකා බව සිරිමා මහත්මිය දන්නී ය. ලංකා එන්නේ හදිසි පණිවිඩ රැගෙන නොවේ.කුමක් හෝ ගැටළුවක් රැගෙන ය.ලංකා සැබෑ වේගයකින් දුව ආ එකම දිනය මන්දාරා මල්වර වූ දා ය.එය ද තම දියණිය තවදුරටත් ළපටි කෙල්ලක නොව යෞවනියක යැයි අම්මා කෙනෙකුට ඇති වූ ආවේගය නොවන බව සිහි වෙද්දී සිරිමා මහත්මියට ඇති වන්නේ කලකිරීමකි.

“රහල් කියනව කිසිම පාටියක් ගන්න බෑ කියල..මොන මනුස්සයෙක්ද ඒ..මේ මගෙ එකම දුව.මං මෙච්චර කල් බලා හිටියේ ඒකට..”

එදා ඒ ගැටුම සමථයකට පත් කිරීමට අසීරු වූ අන්දම සිහිපත් කරමින් ආලින්දයට ආ සිරිමාගේ සිතුවිලි අහුර බිම වැටුණේ දොරකඩ හුන් අමුත්තා නිසා ය.

“සුනෙත් පුතා..ඔයා ආව කිව්වට මට මුණ ගැහුණේ නෑනෙ.මං රහල්ට කියන්නමයි හිටියෙ ඔයාව ඩිනර් එකකටවත් එක්කන් එන්න කියල..”

සිරිමා කතා කළේ සිනා උතුරවමිනි.එහෙත් සුනෙත් නගා ගත්තේ ආයාස සිනාවකි.ඔහු සාලයට ආ ලීලාට හෙළුවේ බැගෑබර බැල්මකි.

“ලීලා,මට වතුර එකක් දෙනවද?”

සුනෙත් ගැටළුවක බව සිරිමාට වැටහුණේ ඒ ඉල්ලීම සහ සුනෙත්ගේ ස්වරය හන්දා ය.

“මට මේක දරා ගන්න බෑ අම්මා..”

සුනෙත් පැවසුවේ එපමණකි.ඔහු දෑත මත හිස ගසාගෙන ඉකි බිඳින්නට ගත්තේ ය.පුතුගේ පාසල් මිතුරා කාලයේ පටන්ම අම්මා කියමින් තමා පසුපස කුඩා දරුවා දැන් වැඩුණු මිනිසෙකි.නමුත් එකල රහල් සමඟ අඬදබර අල්ලා වැලපෙන අයුරින්ම වැලපෙන ඔහුට හඬන්නට ඉඩ හැර සිරිමා මහත්මිය බලා සිටියා ය.

“ඇයි පුතා?”

සුනෙත් කිසිත් නොකියා ලීලා ගෙන ආ වතුර වීදුරුව හිස් කළේ ය.මෙතැන ගැටළුවක් බවත් තමන් එතැනට වැඩි බවත් තේරුම් ගත් ලීලා යන්නට ගියේ වතුර ජෝග්ගුවත් වීදුරුවත් ටීපෝව මත තබා ය.ජයන්ති මෙන් කුණු රැස් කරමින් රස විඳිමේ පුරුද්දක් ලීලාට තිබුණේ නැත.

“පුතාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මුණ ගැහුණද?”

සිරිමා මහත්මිය විමසුවා ය.වේදනාකාරී විරහවකින් පසු සදාකාලිකව අවිවාහක වන්නට තීරණය කළ සුනෙත්ගේ තීරණය වෙනස් කර දෙන්නැයි ඔහුගේ දෙමාපියන් සිරිමා මහත්මියගෙන් ද රහල්ගෙන් ද ඉල්ලූ දවස් අපමණ ය.නමුත් කාලය රහල්ව ද දික්කසාද පුද්ගලයෙකු බවට පත් කළේ එවැනි ඉල්ලීමක් කරන්නට රහල්ට ඉඩක් නොතබා ය.

“මට මගෙ දරුව මුණ ගැහුණා අම්මා..”

සුනෙත් එසේ කීවේ හදවත පෙළූ අප්‍රමාණ වේදනාව බිම තබමිනි.ඉනික්බිති මන්දාරා හෙළි කළ කාරණා ද ඔහුගේ අතීත ජීවිතය ද එකිනෙකට ගැළපෙන අන්දම ඔහු සිරිමා මහත්මියට පැවසුවා ය.

“මට හිමංගි දැක්කම මොකක්ද හුරුවක් තිබ්බ.එයාට තියෙන්නෙ ඔයාගෙ ඇස් දෙක..හිමාලිගෙ පෙනුම සෑහෙන්න හිමංගිට තියෙනව කියල මට දැන් තමයි කල්පනා වෙන්නේ.එහෙම වුණත් හිමාලිගෙ ගතිගුණ එකක්වත් හිමංගිට නාපු එක තමයි එකම සැනසීම.”

සිරිමා මහත්මිය ලංකාගේ මිතුරියක වූ හිමාලි සිහි කරමින් එසේ කීවා ය.ලංකා සහ රහල් අතර ඇති වූ බොහෝ ගැටුම් විසඳා ගන්නට නොහැකි වූයේ ඔවුන් නිසා ය.ගැටළු වලදී බුද්ධිමත් ලෙස හැසිරෙන හිමංගිට ඒ ජාන සුනෙත්ගෙන් පිරිනැමෙන්නට ඇත.

“මට මගෙ දරුවට ඇත්ත කියන්න ඕන අම්ම..”

සුනෙත් පැවසුවේ වේදනාවෙනි.අනතුරුව ඔහු කොහෙන්දෝ සිනාවක් සොයා පැළඳ ගත්තේ ය.

“හයේ පන්තියේ ඉඳන් අම්මට අම්මා අම්මා කිව්වට දැන් අක්කා කියන්න වෙයි නේද? මගෙ කෙල්ල බැඳල ඉන්නෙ අම්මගෙ පුතාවනෙ..”

සිරිමා මහත්මිය හිනැහී සුනෙත් අසලින් අසුන් ගත්තා ය.

“ඇඩොප්ට් කරන දරුවන්ට වුණත් හංගන්න ඕන ලොකුම රහස තමයි එයාලගෙ හැබෑ දෙමාපියන් ගැන කතා.මේකත් ඒ වගේ තමයි සුනෙත්.මං දන්න හැටියට හිමංගි ඇත්තටම තරහ කවදාවත් එයාව බලන්න ගමට ආවේ නැති අම්මා ගැන නෙවේ.අම්මට එයාව දුන්නු තාත්තා ගැන.ඇත්ත එළි වුණත් හිමාලි එයාගෙ අනුකම්පාව ඉක්මනින් ලබා ගනී.ඔයාට එයාව දිනා ගන්න එක ලේසි වෙන්නෙ නෑ කියලා අපි අකමැත්තෙන් වුණත් පිළි ගන්න වෙනව..”

ඒ සත්‍යය පිළි ගන්නට සුනෙත්ට සිත් වූයේ නැත.නමුත් තාත්තා කෙනෙකු නැති දියණියක් බිහි වන්නට ඉඩ හැරීම ගැන හෝ පවසා හිමාලිට නිවැරදි වන්නට ඇති ඉඩකඩ වැඩි ය.තමන් ඈ රැක ගන්නට උත්සාහ කළ බව ඔප්පු කිරීම පහසු වන්නේ නැත.

“රහල්ට ඇත්ත කියන එක හොඳයි.ඒත් මම හිතනව සුනෙත් මේක හිමංගිට කියන්න තව ඉවසන්න වෙනව.සුනෙත් තාත්තා කියල දැන ගන්න කලින් හිමංගි එයාගෙ අම්මා හිමාලියි කියන එක දැන ගන්න ඕන කියලයි මං හිතන්නෙ.”

සිරිමා මහත්මිය ඇගේ සිතුවිල්ල පැවසුවා ය.සුනෙත් ඒ ගැන දිගුදුර කල්පනාවට වැටුණේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles