හසරැලි වැස්සේ – අවසාන කොටස

අම්මා වඩවඩාත් අප වෙත නැඹුරු වන්නට පටන් ගත් අතර ඇය වසර විස්සක් තිස්සේ අපෙන් මොනතරම් දුරස්ව සිටියාදැයි මට වැටහුණේ ඉනික්බිතිව ය.අම්මා අයියාටත් මටත් තාත්තාටත් සියල්ල ඈ අතින්ම සිදුවිය යුතු බව විශ්වාස කරන්නට තරම් සන්සුන් වූවා ය.මම්මා කෙතරම් වැඩ කන්දක සිරව සිටියාදැයි මට සිතුණේ ඉන්පසුව ය.

“අම්මේ..අම්මට දැන් සුගත් අංකල් මතක් වෙන්නෙම නැද්ද?”

දිනක් අම්මා සමඟ රාත්‍රී අහර පිසිමින් සිටියදී මම ඇසුවෙමි.අතීතයේ පාසල් වෑන් රථයේදී මා දෙස බලන කොලුවෙකු ගැන අම්මාට පැවසීම පවා ප්‍රශ්න මවන්නක් වූ බව ඇත්තකි.නමුත් මේ වෙද්දී අම්මා එවැනි කතා පවා අසා හිඳින්නියකි.

“මතක් නොකර ඉන්න කාලේ හරි දැන්.”

අම්මා එසේ කීවේ බරැති කටහඬකිනි.මට අසීරුම මොහොතක දෙකක දේව දූතයෙකු සේ මුණ ගැසුණු වියපත් මිනිසා මට අමතක කරන්නට නොහැක.නමුත් ඔහු සමඟ සමීප ඇසුරක් ගෙන යාම අම්මාට කරන වරදක් බව මට සිතේ.

“අපි කාටත් වළ දාන්න ඕන අතීතයක් එනවා පුතේ..”

අම්මා කියද්දී ඒ මට කළ ආයාචනයක් බව මම තේරුම් ගතිමි.ළාබාල දැරියක සන්දියේ පටන් සිතේ සිටි ඒකපාර්ශ්වික ප්‍රේමය මහත් වේදනා කන්දකට පසු අත්හැර දමන්නට දවස් එළඹී තියේ.

“කැම්පස් ගියාට පස්සෙ අපි දෙන්නව අමතක කරන් නෑ හරිද?”

යෙත්මි තරවටුවක සරින් මට කියද්දී උවනි දෑස් රත් පැහැ කරගෙන බලා සිටියා ය.මට කොළඹ නගරය අතැර වසර පහ හයකට පේරාදෙණිය නිවස කර ගන්නට සිදුවෙන කාලය ඇරඹී ඇත.පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඡායාරූපයක් ජීව විද්‍යා පළමු සටහන් පොත අස්සේ රුවාගත් දැරිය හෙට සිට එහි ශිෂ්‍යාවකි.

“මෙහෙ ඉන්න පුලුවන්කම තියාගෙන එහෙ යන එක අපිටනම් තේරුම් ගන්න පුලුවන්..”

මා බලන්නට ආ නිර්මාණි අක්කා යෙත්මිටත් උවනිටත් කීවේ සරදම් ස්වරයකිනි.

“මෙයා එනකොට සචිර අයියා එහෙන් එන කාලේ ළං වෙනවා..” මිතුරියන් උස් හඬින් හිනැහේ.නිර්මාණි අක්කා ද ඒ සිනාවට හවුල් වේ.

“අලුත් යාලුවෝ කොච්චර මුණ ගැහුණත් අලුත් දේවල් ඔක්කොම කියන්නේ ඔයාලට තමයි..”

ගවුමේ ඇඳුණු රතු පැහැ පැල්ලම් සඟවා ගත් හත අට පන්තියේ පුංචි කෙල්ලන් කාලයේ පටන් අපට රකින්නට බොහෝ රහස් විණ.ඒවා සඟවා ගනිමින් ජීවිතයේ බොහෝ දෑ බෙදා ගත් මිතුරියන් අතැර යන්නට මට නොහැකි ය.හදවත මෙතැන තබා අධ්‍යාපනයට පිටව යන්නට මා සිතුවේ එනිසා ය.

“ඔයාලා දෙන්නත් නැටිල්ල නවත්තලා හරියට එක්සෑම් කරන්න.කරලා ලබන අවුරුද්දේ යන්න ඉතින්..”

නිර්මාණි අක්කා එසේ කියද්දී මම මිතුරියන් දෙස බැලීමි.දැනෙන සංකාබර හැඟීම මැකෙන්නට විහිලුවක් සොයා ගත යුතුම ය.

“මං ඉන්න දිහාටනම් එන්න එපා..”

ඒ කතාව අහවර කරන්නට ඉඩ නැත.මගේ දුරකථනය නාද වේ.ඒ සචිර අයියාගේ ඇමතුමකි.

“මං හෙට එනවා..”

ඔහු වෙත එන බව නොකියා කීවාදැයි මට සිතිණ.ඒ වචන බර වැඩිදැයි මට සිතෙන්නට ගද්දී ඔහුගේ හඬ ගලා ආයේ ය.

“මං බලන් ඉන්නවා.එන්න..”

අයියලා සමඟ ක්‍රිකට් ගසන්නට ගොස් බිම වැටී හූ තබන කුඩා දැරියක් ද ඇය වහා ඔසවා ගන්නා හයේ පන්තියේ කොලුවෙක් ද මිදුල මැද මට මැවී පෙනේ.ඔහුගේ අත ගෙන දිගු ගමනක් යන්නට ඇති බවක් මට එදා සිහිනයකින්වත් නොසිතෙන්නට ඇත.

“අපේ අයියා මාව බලාගත්තට වඩා මාව බලා ගන්න වෙයි ඉතින්..”

ඔහුගේ දඟ සිනාව දුරකථනය ඔස්සේ ළය මැද වැදිණ.

“ඒක ගැන ඔයාට විශ්වාස ඇති නේද ඉතින්..”

ආදරයට සමපාත වචනයක් ලෝකයේ ඇතිදැයි ඔබ සිතා තිබුණා ද? තිබේ! ඒ විශ්වාසයයි.විශ්වාස කළ හැකි අන්දමේ තරුණයෙකුගේ දෑතේ එල්ලී අනාගතයට පිය මනින නොතිත් ආශාව මා සනසාලන්නට පටන් ගෙන තිබිණ.

“හසරැලි..”

ඔහු මා අමතන හඬ ඇසේ.

“මං ආදරෙයි..ඉස්සර සූකිරියට වඩා මගේ හසරැලිට මං ආදරෙයි.”

හසරැලි වැස්සක්ව ප්‍රේමය ඇද හැලෙමින් තිබිණ.ආදරය අහිමි ව වාලුකාවක තනිව හුන් දැරියක යුවතියක වී ඒ වැස්සේ තෙතබරිතව යන බව මම දනිමි.ජීවිතයේ හසරැලි ද කඳුලැලි ද සමව දරා ගනිමින් ජීවත් වන්නට මට හැකි ය.මම බරැති වාක්‍යයක් බරැති හඬකින් ඔහුට පැවසුවේ එනිසා ය.

“මාත් හුඟාක් ආදරෙයි..”

සමාප්තයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles