(අ)හිමි සිහින -72

“කුසේ ඉන්න දුව ගැනවත් ඔයා ගැනවත් කිසිම උනන්දුවක් නැති චමල් ගැන අර පොතේ ලිව්වද?”

මගෙන් SmartLady කණ්ඩායම එහෙම ඇහුවා.ඒක හරි සාධාරණ ප්‍රශ්නයක්.සාමාන්‍යයෙන් බොහෝ අම්මලා තාත්තා අතින් වුණු වැරදි දරුවන්ට කියනවා.ඒකේ වැරැද්දක් නැතුවත් ඇති.

“ඒත් මම එහෙම කීවේ නෑ.ලිව්වෙත් නැහැ.”

මම මේ කියන කතාව හරිම සාපේක්ෂ කාරණාවක්.ඔබ ඔබේ සැමියා නිසා මහත් කම්කටොළු විඳිනවා නම් ඒ දේවල් දරුවෝ එක්ක බෙදා ගන්න එපා කියලා නෙවෙයි මම කියන්නේ.සමහරවිට ඔබට ඒවා කියන්න ඉන්න එකම කෙනා දරුවා නම් නොකියා ඉන්න එක අපරාදයක්.මම එහෙම නොලීවේ හේතුවක් ඇතිව.මම විශ්වාස කළා මගේ පුංචි දුව ලෝකය දැකිය යුත්තේ ඇගේ දෑසින් බව.ලෝකය වටහා ගත යුත්තේ ඇගේ දෑසින් බව.ඇයට මම කියනවා තාත්තා කිසිම වගකීමක් නැති මනුස්සයෙක් කියලා.ඒත් වයසින් වැඩිලා මගේ දිනපොත කියවන ඇයට තාත්තා පේන්නේ හොඳට නම් ඇය ඉතා ඉක්මනින් තීරණයක් ගන්නේ මං ගැන.

“තාත්තාගෙ නරකක් නෑ.අම්මා කියන විදියේ කිසිම නරකක් මට තාත්තගෙන් පේන්නේ නැහැ.”

ඇය උස්මහත් වුණු දැරියක විදියට එහෙම කිව්වොත් මට අත් වෙන ඉරණම ගැන ඔබට කියන්නට උවමනා නැහැනෙ.ඒ නිසාම මම හිතුවා දියණියට කිසිවක්ම නොකියන්න.ඇයගේ දිනසටහන් පොතේ තාත්තා කළ හොඳ පමණක් ලියන්න මම ප්‍රවේසම් වුණා.ඒ අල්පයක් දේ වුණත් මම ඒවා ලියා තැබුවා.

Pregnant Woman Sitting On Grass Outdoors Holding Bump

ඒ දිනපොත තුළ මට බත් කටක් හෝ දුන් මිනිසුන් ගැනත් මම ලියා තැබුවා.ඇයට තෑගි එවූ අය ගැනත් ලිව්වා.ඥාතින් සහ හිත මිතුරන් සම්බන්ධයෙන් තරුණ කෙල්ලො බොහොම ඉක්මනින් කෝප ගන්නා බව මම දන්නවා.ඔවුන්ගේ සමහර අතපෙවීම් ගැන ඉතා ඉක්මනින් ප්‍රශ්න කරන බවත් මම දන්නවා.

“කාලෙකට ඉස්සර මම අම්මාගෙ බඩේ ඉන්නකොට අම්මට බත් කටක් හරි දුන්නු අය.මම නරකට කතා කරන්න හොඳ නෑ.”

මගේ දූ එහෙම හිතලා ඇගේ ඥාතීන්ට නොරිදවා සිටීම වෙනුවෙන් මම හැම කෙනෙකුම අපට කළ හොඳ පමණක් එහි ලිව්වා.

“මගේ දූ, අපට කටින් වචන පිට කරන්න පුලුවන්.ඒවා මහා නරක වුණොත් අපිට ආයේ ඒවා අරගෙන කටේ ඔබා ගන්න බෑ.ඒ නිසා කාගෙවත් හිතක් තලන්න එපා.”

මගේ දූ හරිම වාසනාවන්තියක්.ඇයට ළදරු තොටිල්ලක් පිරී යන තරමට තෑගි ලැබුණා.ඒ අපේ පරම්පරාගත තොටිල්ලක්.ඒ තොටිල්ලේ නිදාගත් එකොළොස් වැන්නිය තමයි මගේ සුන්දර දියණිය.තොටිල්ල පිරී යන තරමට ලැබෙන තෑගි ඔහේ එක්‍ රැස්වෙන්නට නොදී මම ඒවා ලැබිය යුතු එහෙත් නොලැබෙන අයට බෙදා දුන්නා.

“මම හිතන්නේ මැණික ඔයා හරිම පින්වන්ත දරුවෙක්.ලැබීම් අතින් ඉහළින්ම ඉන්න කෙනෙක්.ඔයා පෙර ආත්ම වල හොඳට දන්පින් කරන නිසා වෙන්න ඕනෑ මේ තරම් දේවල් ඔයාට ලැබෙන්නේ.ඔයාව සතුටින් තියන්න පුලුවන් තරමට සල්ලි හම්බ කරන අම්මා කෙනෙක් ළඟ ඉපදෙන්නේ.ඔයාට ඒ පින් දිගටම ගෙනියන්න උදව් කරන්න ඕනෑ අම්මා.ඒ නිසා තමයි මම පුලුවන් තරමට මේ දේවල් කරන්නේ.”

මගේ වාසනාවන්ත දියණිය වෙනුවෙන් මම එහෙම ලියා තැබුවා.

“අම්මට හොඳටම සීනිනම් තමා.ඒ වුණාට මං මේ චොකලට් කෑල්ල කන්නං..ඔයා ඔහොම ඉන්න හොඳේ..” කියමින් මා කළ හොර වැඩ කුසයට වී අසා සිටි දැරිය අනේක දුක් කම්කටොළු ආවත් මගේ අත අල්ලා ගනිමින් මා එක්ක ඉන්නවා.”මං හිටියේ අහසේ,ලෝකේ ඉන්න හොඳම අම්මා හොයාගෙන මම ආවා”කියමින් මා අප්‍රමාණ ප්‍රීතියකට ලක් කරනවා.

මම ඇය වෙනුවෙන් පන්සල් යමින් බෝධිපූජා නොතිබ්බත් ඇය වෙනුවෙන් කළ හැකි දේවල් කරමින් ඇයට මේ මනුෂ්‍ය ලෝකයේ යහපත්ව ජීවිතේ ගෙවන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළේ එහෙමයි.ගර්භනී අපහසුතා කිසිවක් නැතිව මම අපූරු ගර්භනී කාලයක් ගත කළා.හැබැයි ඒ පින නිසා කියන්නට තරම් නම් මම මෝඩ නැහැ.ඒ මගේ සිරුරේ ස්වභාවය.ගර්භනී අපහසුතා ඇති ගැහැනු මොකක් හෝ පවක් කර ඇතිබවත් කිසිම අපහසුතාවක් නැති ගැහැනු පින්කාර බවත් කියන්නට බෑ.ඒවා මේ බොහොම විකාර සහගත මිථ්‍යා මත.අපි සියලු දෙනා එකිනෙකාගෙන් වෙනස්.අපහසු ගර්භනී කාල දැරීම,ගබ්සා වීම,දරුවෙක් කුස දරන තරමේ සෞඛ්‍යමත් බවක් නොවීම කියන කාරණා සියල්ලම අපේ සිරුරේ තත්ව.අමුතු පවක් හෝ අරුමයක් නැහැ.අපි හැමෝම ජීවිතය තුළ මොනවා හෝ ළඟා කර ගත් මිනිස්සු.

එක්තරා දවසක පෞද්ගලික රෝහලක ශල්‍යාගාරයට වී ගැහෙමින් බලා හිඳින මොහොත මටත් උදා වූයේ ඔය අතරේ දී.ඒ ජීවිතය මට ලබා දුන් ස්වර්ණමය දවසයි!!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles