අපි මෝටර් රථයේ වාරික ගෙවා දැම්මේ රත්තරන් බඩු උකස් කරලා.වාරික සහ පොලිය ගෙවමින් කොහොමහරි වැඩේ ගොඩ දා ගත්තා.මගේ බැංකු කාඩ්පත් සියල්ලමත් තිබුණේ චමල් ළඟ.ඔහොම ඉන්නකොට මට දවසක් බැංකුවෙන් ලැබුණු ලිපියක් හමු වෙනවා.මගේ රත්තරන් මාලයක්,වළලු,අම්මාගේ රන් ආභරණ කිහිපයක් සියල්ලම උකස් වෙලා.ඒ රිසිට්පත් නිසා තමයි ඒවා ඇත්තටම සින්න වූ බව මම දන්නේ.
එදා මම සෑහෙන වෙලාවක් ඇඬුවා.ඒ මට මල්වර වූ වෙලාවේ අම්මා තාත්තාගේ අතින් ලැබුණු තෑගි.මට රත්තරන් ආභරණ කියන වචනයේ ලොකු වටිනාකමක් නෑ.මගේ හිතේ තිබුණු ධෛර්යයට වෙහෙස මහන්සි වෙලා නැවත රන් ආභරණ මිලට ගන්නත් තිබුණා.නමුත් ඒවායේ ඇති වටිනාකම! ඒවා නිකම්ම නිකම් රත්තරන් බඩු නෙවෙයි.ආදරය මුසු තෑගි.ඒවාට ඇත්තේ සංවේදි වටිනාකමක් මිස වෙළඳපොල වටිනාකමක් නෙවෙයි.මට දරා ගන්නටම බැරි වූයේ ඒ කාරණාවයි.මගේ පුංචි දෝණි මල්වර වූ විට ඒ ආභරණ පළඳවන්න තිබුණා නම්!
මම හඬමින් චමල්ට බැන්නා.මගේ ඉවසීම කෙළවරව තිබූ නිසා මගේ වචන පවා යහපත් වුණේ නැහැ.මාස ගණනක්ම වාරික ගෙවීම මඟ හරින ලද ඒවා මගෙන් සැඟවූ මිනිසෙකුට හොඳ වචන කියලා පලක් තියෙනවයැ.
“අපෝ ඕවගෙ මෙලෝ වටිනාකමක් නෑ.පරණ ඒවානෙ.ඕවගෙ වටිනාකමට වඩා දැන් පොලී ගෙවල තියෙන්නෙ.ඊට ලාබයි රත්තරන් බඩු අලුතින් ගන්නව.ඒකයි බේරා නොගත්තෙ..”
කිතුලට ගිය මිනිහට තියනවලුනෙ උත්තරයක්.ගහේ තණකොල නෑ කිය කියා බිමට බහින මිනිහට දෙන්න උත්තරයක් නැතිව මමත් නිශ්ශබ්ද වුණා.මෙහෙම මිනිස්සු වෙනුවෙන් වැය කරන වචනත් අපරාදේ!
අපේ මෝටර් රථය ඒ කාලේ ගෙදර තිබ්බෙම නැති තරම්.චමල්ගේ යාලුවෝ දවසට එක්කෙනා බැගින් එනවා.
“මචං..කාර් එක ගන්න පුලුවන්ද?”
කිසිම කතාවක් නෑ.කිසිම හිතා බැලීමක් නෑ.වාහනයේ යතුර මිතුරන් අත තියන්න චමල් පැකිලෙන්නෙම නෑ.
එක වතාවක් චමල්ගේ මිතුරෙක් අපේ ගෙදර ආවේ තාත්තට බෙහෙත් ගන්න ගාල්ලට යන්න උවමනා බව කියමින්.මගේත් අනුමැතිය ඇතිව එක දවසක් සඳහා වාහනය ඔහු ලබා ගත්තා.තාත්තා කෙනෙකුට ප්‍රතිකාර ගන්න කියනකොට වාහනය නොදී ඉන්නේ කොහොමද?
ඊට පහුවදා අර මිතුරාගෙන් දිගින් දිගටම මඟ හැරුණු ඇමතුම් එනවා.ඔහුගේ සාමාන්‍ය පුරුද්දක් ඒ.ඔහුගේ උවමනාවටත් අපි ඔහුට කතා කරන්න ඕනෑ.
“මොන විකාරයක් ද මේ මිස්ඩ් කෝල්ස්..”
මම එහෙම කේන්තියෙන් වුණත් ආපහු ඇමතුමක් ලබා ගත්තා.ඒ මගේ වාහනය ඔහු අත බව මතක් වුණු නිසා.ඒ ඇමතුම ගත්තු මට දැනුණේ මහා කේන්තියක් සහ අසරණකමක්.
“මං අතින් වාහනේ හැප්පුණා..”
අන්න ඒ පණිවිඩය දෙන්න තමයි ඔහු ඇමතුම් දීලා තියෙන්නේ.අධිවේගී මාර්ගයේ අනතුරට ලක් වූ වාහනයේ ඉදිරිපස සහ පිටුපස කුඩේ කුඩු කියලත් අපිට දැන ගන්න ලැබුණා.හොඳම කතාව ඇහුවේ ඊටත් පස්සේ.වාහනය අරන් ගිය ඒ මිත්‍රයාට රියදුරු බලපත්‍රයක් නැහැ.චමල් ඒ බව දැනගෙන තමයි වාහනය දීලා තියෙන්නේ.දැන් ඉතින් රක්ෂණ සමාගමට වාහනය ගැන කිසිම වගකීමක් නැහැ.මගේ හිසේ ලේ සිඳී ගියා.මගේ වාහනය ඊට කලින් වතාවක් වාරික නොගෙවීම නිසා සීස් කිරීමට පවා ලක් වුණා.ඉතා අසීරුවෙන් තමයි වාහනය බේරා ගත්තේ.ඒ වතාවෙත් පරණ කාර් එක සින්න වෙන්න දීලා අලුත් වාහනයක් ගන්නට ලක්ෂෙට කොඩි දමමින් පාරම් බෑ සැමියෙක් මට ඉන්නවා.මාසයට හැට අටදාහක් වාරික ගෙවමින් එවැනි කරදර වලට පවා ලක් වෙමින් කෙසේ හෝ රැකගත් මගේ වාහනය දැන් අනතුරට ලක් වෙලා.මට මහා පුදුම අසරණකමක් දැනුණා.මගේ දේවල් ගැන කිසිම වටිනාකමක් නැති මිනිසෙක් නිසා මම ආයේ අමාරුවක වැටුණා.
නමුත් මගේ දෛවය ඒ සම්බන්ධයෙන් බොහොම හොඳ තීරණයක් ලබා දුන්නා.
අනතුරට පත් වූ මිනිසාගේ සහෝදරියගේ නිවස ඉදිරියේම තමයි ඔහු අනතුරට ලක්ව තිබුණේ.මේ මිනිසාට රියදුරු බලපත්‍රයක් නැති බව දැනගත් ඔහුගේ මස්සිනා වහාම දුවගෙන ඇවිත් වාහනයට ගොඩ වෙලා අනතුරේ වරද බාරගත්තා.එය සොබාදහම කළ අතිශය අමුතු දෙයක්.සාමාන්‍ය පාරක වගේ නෙවෙයි,අධිවේගී මාර්ගයක දෙපස ගෙවල් තියෙන්නේ එහෙමත් තැනක.කැලෑබද තැනක අනතුර නොවී හරියටම මෙතැනම ඒ අනතුර වීම මගේ දෛවය මට කුරිරු නොවූ තැනක් කියලා අන්තිමට මට හිතුණා.රියදුරු බලපත්‍රය නැති මස්සිනා වෙනුවෙන් ඔහුගේ අක්කාගේ සැමියා ඉදිරිපත් වුණා.ඔහු පොලිසියට බාර වුණා.වාහනය වෙනුවෙන් ලක්ෂ නවයහමාරක වන්දියක් ලබා ගන්න යාන්තම් මට ඉඩ ලැබුණා.
මගේ උත්සාහයෙන් උපයා ගත් දේ වතුරේ නොයාම ගැන මට යාන්තම් සැනසිල්ලක් දැනුණේ ඊටපස්සෙ..