“අර එහා ලේන් එකට අලුතින් ඇවිල්ලා ඉන්න අංකල්ගෙ වැඩේ ඕපාදූප හොයන එක.මම ක්ලාස් යනකොට යන්නෙ කොහෙද අරක මේක ඔක්කොම ඇහුවා.කොටට අඳින්න එපාලු.ගැළපෙන් නෑලු..”
උපුලි ගැස්සුණේ නංගි එහෙම කියාගෙන ගෙට ගොඩ වෙද්දි.ඕපාදූප හොයන එක මොන තරම් නරක වැඩක්ද කියල හිතනකොට අත්තම්මා මුහුණ නරක් කරගෙන නංගි දිහා බැලුවා.
“ඊලඟ දවසෙ මගෙ චීත්තයක් ගිහිල්ලා දෙන්න.ඕපාදූප හොයන්න කලින් ඒක ඒක ඇඳගන්න කියලා ඒ මනුස්සයට කියන්න.”
අත්තම්මා එහෙම කියනකොට ඕපාදූප හොයන්න වැඩිය කැමැත්තක් නැති අත්තම්මා එයාගේ චීත්ත ඕපාදූප මිනිහෙක්ට දෙන්නෙ ඇයි කියලා උපුලි කල්පනා කළා.ඇත්තටම ඉතින් වැරදි කරන අයට එහෙම කියන හේතුව උපුලිට හිතාගන්න අමාරුයි.
“අත්තම්මේ එහෙම කියන්න එපා,මම නං ඒකට කැමති නෑ..”
වැරදි දෙයක් දුටුවම විරුද්ධවන වයසක හිටපු උපුලි අත්තම්මට එහෙම කියද්දි තම උපුලි දිහා බැලුවේ පුදුමයෙන්.
“ඒකෙ මොකක්ද තියෙන නරක?” අත්තම්මා අහනකොට ඒ කතාවෙ තියෙන නරක අත්තම්මට කියලා දෙන්න උපුලි තීරණය කළා.
“අත්තම්මේ,ඇත්තටම ඕක අත්තම්මා විතරක් නෙමෙයි මේ අපේ වයසේ අයත් කරන වැරැද්දක්.සමහර වෙලාවට පිරිමි ළමයි ටියුෂන් ක්ලාස් වලදි ඕනවට වඩා කෑ ගහනකොට සර්ලා කියනවා ගෑනු වගේ බෙරිහන් දෙන්න එපා කියලා.මොනවා හරි නරක වැඩක් කරන පිරිමි ළමයින්ට ගවුමක් හෝ නිදි කියලා අහන එකත් දැන් පුරුද්දකට ගිහිල්ලා.පිරිමි ළමයි මොනවා හරි වැරැද්දක් කරන්න චීත්ත වැඩ කරන්න එපා කියලා බැනගන්නවා.ඒ සේරම මට නම් පේන්නේ හරිම කැතට.”
වැරදි කරන එක ඕනෙම කෙනෙක් අතින් සිද්ධ වෙන්න පුළුවන්.ඒ උනාට පහත් පෙළේ වැරදි කරන පිරිමි අයට ගෑණු වැඩ කරනවා හෝ චීත්ත වැඩ කරනවා කියලා බනින එකට විරුද්ධ වෙන්න විපුලිට හිතුණේ අද ඊයෙක නෙමෙයි.
“ලොකු දුව දන්නවද? ඕවා ඉස්සර කාලේ ඉඳලම වෙන කතන්දර.ඒකනෙ ගැමුණු කුමාරයා කාවන්තිස්ස රජ්ජුරුවන්ට ගෑනු ආභරණ යැව්වේ..තමන් කරන දේ කියල වැරදියි කියලා තාත්තට තේරුම් ගන්න තමයි ගැමුණු කුමාරයා එහෙම කරේ “
අත්තම්මා ඉතිහාසයෙන් කරුණු දක්වන්න පටන් ගත්තා.අපේ කතාවට උත්තර දුන්නේ එතනට ආපු උපුලිලාගේ අම්මා.ගුරුවරියක් හින්දම වෙන්න ඇති අම්මට ඔය වගේ කාරණා හොඳට පැහැදිලි කරන්න පුළුවන්.
” එතනින් අදහස් කළෙත් ඒක ම තමයි අම්මේ.ගෑනු අය ගන්න තීරණ රටක් පාලනය කරන්න සුදුසු නෑ කියලා තමයි එතනින් ගැමුණු කුමාරයා කියන්න උත්සාහ කළේ.ගෑනු අයට තියෙන්නෙ කියන්නේ.ගැමුණු කුමාරයත් කිව්වේ තාත්තා රටක් පාලනයට සුදුසු නැහැ.කාන්තාවක් වගේ බයගුලු කෙනෙක්ය කියලා..”
අම්මා එහෙම කියනකොට උපුලිට වෙන කතාවක් මතක් වෙලා හිනා ගියා.
“මේ දවස් වල අපේ රටේ තත්වය හොඳ නැති නිසා මම ෆේස්බුක් එකේ දැක්කා කතාවක්.ඒකෙ තිබ්බෙ ජනාධිපතිට ගෑනු ඇඳුම් ඔන්ලයින් order කරන්න එයාගේ පුතාට තියෙන්නේ කියලා..”
උපුලි එහෙම කියනකොට අම්මා නම් හිනා උනේ නැහැ.
“ඒ කියන්නෙත් කාන්තාව රටක් පාලනය කරන්න පුරුදු නැහැ කියලමනෙ.ඒ උනාට ලෝකෙ පලවෙනි අගමැතිනිය හිටියෙත් අපේ රටේ.අපේ රට පාලනය කරපු ජනාධිපතිවරියක් ඉන්නවා.ඔය ආයතන වල උනත් කොච්චර කාන්තාවන් ඉහළ නිලවල පත් වෙනවද? පාලනයකට ගෑනු පිරිමි කම් අදාළ නැහැ.අවශ්‍ය වෙන්නේ දෙයක් හරියට කරන එකයි..”
අම්මා කියන කතාව කොච්චර ඇත්තක්ද කියලා උපුලිට හිතුණා.ආයේ නම් මෝඩ වැඩක් කරන පිරිමි ළමයින්ට ගවුමක් දෙන්න ඇඳගන්න කියලා බනින්න යාලුවන්ට ඉඩ දෙන්නේ නෑ කියලා උපුලි හිතාගත්තා.ස්ත්‍රීත්වය විදිහට බාල්දු වෙන්න ඉඩ දිය යුතු නැහැ.වරදක් කරනවානම් ඒක ගෑනු පිරිමි විදියට වෙන් නොකර පෙන්වා දෙන්න ඕන.උපුලි එහෙම හිතන්න පටන් ගත්තා.
“අපි අපිවම පහත් කරගන්නෙ නැතුව ඉන්නවානම් හොඳයි.ඒවට ඉඩ නොදෙන එක තමයි අපි කරන්න ඕන..”
අම්මා එහෙම කියන්නේ උපුලිල දිහා බලාගෙන.ඕනෑම රැකියාවකට දෙපාරක් නොහිතා යොමු වෙන,ඕනෑම වරදක් දුටු තැන ඒ වෙනුවෙන් සටන් කරන,සාධාරණ පැත්තේ හිට ගන්න දරුවෝ පිරිසක් ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව උපුලිලාගේ පරම්පරාවෙන්වත් බිහි වෙන්න ඕනෑ බව අම්මා හිතුවා.ඇය ඒ හින්දාම තමයි මේ කතාව මේ තරම් දුරකට ඇදගෙන ආවේ.
“විකාර වැඩ කරන මිනිස්සුට චීත්ත දෙන්න ඕන නෑ අත්තම්මා.අත්තම්මගෙ චීත්ත හරිම සනීප ඇඳුමක්.”
උපුලි එහෙම කියනකොට හැමෝම උපුලිගේ හිනාවට එකතු වුණා.