“ඔයා සරසිටයි දරුවටයි කරන්නේ මොකක්ද?”
ළසඳාගේ ප්‍රතිචාරය කමකට නැති වූ විට හිරුදි චේතනගෙන් විමසුවා ය.ඇගේ කටහඬ නොබිඳුණු එකකි.ඒ තද ස්වරයක් වග දැනුණු චේතනට ඇති වූයේ තිගැස්මකි.ගැහැනුන්ට තද ස්වරයන් හිමි විය යුතු වග ඔහු නොඇදහුවේ ය.ගැහැනුන් හිඳින්නේ ප්‍රශ්න කරන්නට නොවේ.
“ඒක මගේ වැඩක්.”
චේතන පැවසුවේ කමකට නැති හඬකිනි.මේ තත්ත්වය ඔහුට ඉසිලුම් නොදෙන දෙයකි.සරසිගේ දරුවාට ඉපදෙන්නට ඉඩ දෙන අදහසක් ඔහුට නොවිණ.ඔහු සිටියේ ඒ දරුවා නූපන් කළලයක්ව මිය යා යුතු වග අදහමිනි.
“අවුරුදු විසි ගාණක් ජීවත් වෙච්ච කොල්ලෙක් මරලා දැම්මෙ ඔයාලා විත්තිය මම දන්නවා චේතන.එහෙව් ඔයාලට ඔය සති ගාණක කළලයක් කෙස් ගහක් තරම් වටින් නැහැ කියලත් මම දන්නවා.ඒ වුණාට මගේ දරුවා ඔයාට වාසනාව ගේන්නයි ඒ දරුවා ඉපදෙන එක ඔයාට හානියක් වෙන්නයි විදියක් නෑ.දෙන්නම දරුවෝ.දෙන්නටම ජීවත් වෙන්න අයිතිය තියනවා.”
පාර්ලිමේන්තුව තුළ කාන්තාවන් හඬ නඟද්දී ඔවුන්ට දෙපිට කැපෙන අනවශ්‍ය කතා කියා නිහඬ කරවීමේ පුරුද්ද චේතනට ලැබුණේ තාත්තාගෙනි.මාධ්‍යවේදිනියන් තමන් ප්‍රශ්න කරන ඕනෑම අවස්ථාවක ඔවුන්ගෙන් පලි ගන්නට මඩ ප්‍රචාර ප්‍රචලිත කිරීම චේතනගේ සිරිත විය.ගැහැනුන් හිඳින්නේ ප්‍රශ්න කරන්නට නොවේ.
ඔහු ජීවිතය තුළ තරයේම විශ්වාස කරන කමකට නැති වාක්‍යය අතර ඒ වාක්‍යය ද තිබුණේ ඉහළ තැනක ය.
“එක එක මෝඩ ගෑනු කියන කතා විශ්වාස කරලා උන්ට සාදාරණේ කරන්න යනවට වඩා තමුසෙට වැඩ නැද්ද භාග්‍යා?අනිත් කාරණාව තමයි තමුසෙගෙ ආදරවන්තයා තමුසෙ කසාද බඳින දුකට බීගෙන ගිහින් වාහනේ ඇක්සිඩන්ට් කරගත්තට පලි මමද? අපි ඌව මැරුවා කියලා තමුන් කියන්නෙ කොහොමද?”
චේතන කාමරය දෙදරවන තරමේ වේගයකින් කෑගැසී ය.හිරුදි නොසෙල්වී අසා හුන්නා ය.මේ මිනිසා වැරදි කරන්නට බිඳුවකුදු බියක් ඇත්තෙකු නොවේ.නොනවත්වාම වැරදි කරන ඔහු ඉනික්බිතිව ඒ වැරදි සාධාරණය කරන අන්දම මොනතරමට අප්‍රසන්නදැයි ඇය සිතී ය.චේතන කියන්නේ කතාබහ කර දිනන්නට හැකි මිනිසෙකු නොවේ.හිරුදි ඒ වග සිතුවේ අප්‍රසාදයෙනි.
“ඔයාලගෙ ඇත්ත එළි වෙන දවසට ඔයාලට මොනවා වෙයිද චේතන?”
මේ මිනිසුන්ට නොනවත්වාම වැරදි කරන්නට රටේ තරුණ පරපුර ඉඩ නොතබන බවට ප්‍රබල විශ්වාසයක් හිරුදිට වේ.එනිසාම ඇය ඉවසන්නට තීරණය කළා ය.
“මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන.”
හිරුදි සරසිට ඇමතුමක් දුන්නේ අතිශය වැදගත් කතාවක් කියන්නට ය.ඇගේ ජීවිතය දැන් ඇත්තේ අවදානමක ය.සරසි චේතන අතින් ගැබ්බර වී ඒ කළලය විනාශ නොකර ගන්නට තීරණය කළ ගැහැනියකි.ඒ රහස හිරුදිට හෙළි කළ ගැහැනියකි.එනිසාම ඇය චේතන අතින් ඝාතනය වන්නට පවා ඉඩ ඇති වග හිරුදි සිතුවා ය.
“ඔයාගේ දරුවා නැති කරගන්න ඔයා අකමැති නම් මම කැමති ඔයාට උදව් කරන්න.මටයි ඔයාටයි දරුවෝ ලැබෙන්නේ එකම කාලෙදි.මට පුලුවන් ඔයාට දරුවෙක් හදන්න ශක්තිය නෑනම් ඒ බබාවත් හදා ගන්න”
තමන් මේ කරමින් හිඳින්නේ කළ යුතු දේදැයි හිරුදි සැබෑවටම නොදැන හුන්නා ය.නමුත් මේ කරන සෑම දෙයක්ම චේතනගේ දැඩි කෝපයට හේතුවන වග පමණක් ඇය දැන සිටියා ය.එහෙත් ඇය ඒ කිසිවක්ම නොකර හිඳින්නට නොකැමති ය.මැරෙන්නේ එක්වතාවකි.ජීවිතය රැක ගන්නට චේතනගේ සියළු අවකල් වැඩ දරා ගත යුතු නොවේ යැයි ඈ තදින්ම සිතුවා ය.
ගාළු මුවදොර අහසට ඉහළින් වැහි වළාකුළු රංචු ගැහෙන්නට වූ දිනයක හිරුදි අරගල භූමියට ගියේ එතැන වැඩි වෙලාවක් රැදෙන්නට නොවේ.ඇයට සිතිජ දැකීමේ පැහැදිලි උවමනාවක් ඇති වෙමින් තිබිණ.ඔහු සමඟ කිසිවක්ම කතා කරන්නට ඉඩක් නොලැබුණ ද ඔහුව දැකීම පවා මේ මොහොතේ හිතට සහනයක් වග සිතන්නට හිරුදිට ඕනෑ විය.දුටුමනත හිස රුදා ඇති කරන මිනිසුන් ද හදවත මත මල් වැස්සක්ව ඇද හැලෙන මිනිසුන් ද වේ. චේතන වැන්නවුන් පළමු කාණ්ඩයට වැටෙද්දී සිතිජ වැනි සුන්දර මිනිසුන් අල්පයක් අයත් වන්නේ දෙවැනි කාණ්ඩයට ය.