ඇමතුමක රැඳී සිටියදී පවා යම් රාජකාරියක් යෙදුණු විට සුදාරක ක්ෂණයකින් ඒවාගේ නිරතවෙන කෙනෙක්.එනිසා ඇමතුම අතරමඟක එවැන්නකට ගියාදැයි මම විමසිලිමත් වුණා.නමුත් දුරකථනය විසන්ධි වීමක් වත් නැහැ.ඒ නිසා මට අනියත බියක් ඇති වූ බව නොකියාම බෑ.
“මහත්තයා..මහත්තයා පොඩ්ඩක් ඉන්නවද”
ඔහුට දුරකථන ජාලයේ යම් බිඳ වැටීමක් ඇති වෙන්නට ඇති.එසේත් නොමැති නම් ඔහු දුරකථනය අත තබාගෙන ම යම් කාර්යයක නිරත වනවා වෙන්නට ඇති.එහෙම හිතා නැවතත් මම දූ බය කළ හූනා පන්නා දමන්නට ගියා.
“කෝ අම්මට දෙන්නකෝ ෆෝන් එක?”
ජීවිතයේ ඕනෑම මොහොතක මා සොයන්නට පුරුදුව සිටි ඔහු ඒ මොහොතේ ද මා ඉල්ලා සිටි නිසා මඳ වෙලාවකට දුරකථනය වෙත ආ මම නැවතත් දුරකථනය පසෙක තබා බුදු කුටිය වෙත ගොස් හූනා එහි නැති බව තහවුරු කරගත්තා.
“අපි බුදුන් වැඳලා ඇවිල්ලම කෝල් බැක් කරන්නද මහත්තයා?”
මම නැවත පැමිණ ඔහුගෙන් එසේ ඇසුවා.අපේ දුරකථන අංක දෙක අතර ඇමතුම් නොමිලේ පැවතීම නිසා එවැනි ඉල්ලීම් මතු වූ වෙලාවට සුධාරක කරන්නේ දුරකථනය පසෙක තබා ඔහුගේ කටයුත්තක් කරගැනීමයි.මම බුදුන් වඳින්නට අවසරපතන විට ඔහුගෙන් ලෙස හ්ම් ලෙස ප්රතිචාරයක් වත් ලැබුණේ නෑ.මම කිහිපවතාවක්ම ඔහුට ඇමතුවා.නමුත් කිසිම ප්රතිචාරයක් ලැබුණේ නැහැ.නිසාම මම දුරකථන ඇමතුම විසන්ධි කර දමා බුදුන් වඳින්නට පටන් ගත්තා.
මම බුදුන් වඳිමින් මගේ සුධාරකට තෙරුවන් සරණ පතමින් සිටියදී මට කිලෝ මීටර් සිය ගණනක් දුරකින් සිදුවෙමින් පැවතුණේ ඉමහත් ඛේදවාචකයක්.සුදාරක දුරකථනය සවනේ තබාගෙනම ඇද වැටුණු අන්දම දැක තිබෙන්නේ ඔහුගේ සමීපතම කණිෂ්ඨ නිලධාරියෙක්.ඊට සුළු මොහොතකට පෙර එය නිලධාරි මහත්මයා සුදාරක සමඟ රැඳී සිට තිබෙනවා.රාජකාරි කටයුත්තක් සම්බන්ධයෙන් කතා කරමින් සිටියදී ඔහුට ඒ නගරයේ පල්ලියේ පූජකතුමා යම් කාර්යයක් සම්බන්ධයෙන් ඒ නිලධාරියා ඇමතූ නිසා ඔහු එතනින් මදක් ඉවත්ව ගොස් තිබුණා.ඔහු නැවත පැමිණෙන තුරු දෛවයේ ලියැවී තිබුණු පරිදි අපව අමතන්නට සුදාරකට සිතෙන්නට ඇති.ඒ ඇමතුම එතරමටම නොමියෙන මතකයක්.කණිෂ්ඨ නිලධාරියා ඔහු සමග රැඳී සිටියා නම් ඒ මොහොතේ සුධාරක කතා කරන්නට අපට ලැබෙන්නේ නැහැ.අතිශය දරුණු ලෙස සලකන මොහොතකදී පවා යම්තාක් දුරට හෝ මටත් දියණියටත් කාරුණිකව සලකන්නට සොබාදහම අමතක කර තිබුණේ නැහැ.එදා රාජකාරියක් අතරම හෝ ඔහු අපට ඇමතීමත් ඔහුගේ ආදරය සහ මන බන්දන සිනහව තිළිණ කිරීමත් නිසා මට මේ සටහන ඔබට කියන මොහොතේ පවා සැනසීමක් දැනෙනවා.රාජකාරියෙන් ඉසිඹුවක් ගන්නා සෑම මොහොතකම අප සමග රැඳෙන්නට ඔහුගේ තිබූ පුරුද්ද ඒ මොහොතේ පවා අපේ සැනසීමට හේතු වුණේ ඒ අයුරින්.ඒ දුරකථන ඇමතුමේ හඬපටිය අසද්දී ඒ මොහොතේ නෑසුණු යමක් මට මේ මොහොතේ පවා ඇසෙනවා.ඒ ඔහු තදින් හුස්ම ගන්නා හඬයි.ඒ ගිලිහෙමින් පවතින අවසන් හුස්ම එකතු කරන අන්දමේ සටනක හඬක්.
කිසිවක් ම නොදන්නා මම ඉන් පැයකට පමණ පසු නැවත ඔහුට ඇමතුමක් ලබා ගත්තා.මම ඇමතුම් පහළොවකට වඩා ලබා ගත්තත් කිසිම ප්රතිචාරයක් තිබුණේ නැහැ.එය මගේ හදවතේ රිද්මය ඉතා ඉහළ දමන්නට හේතුවක් වුණා.අවසානයේ මම ඔහු සමඟ රාජකාරි කරන කණිෂ්ඨ හමුදා සෙබළෙකු අමතන්නට තීරණය කළා.මගේ කලබල ඇමතුමට වචන පටලවමින් ඔහු ලබාදුන් ඒ පිළිතුර තවමත් මගේ හිස හිරිවට්ටන තරම්.
මේ අසා සිටීමට ඉතා අසීරු දුක්බර කතාන්දරයක්. වයස දහතුනක යෞවනියක මල් හී සරයකින් ඔත්පල වූ අන්දම පවසා සංසාරික ආදර කතාවක් ඔබට කියන්නට එක්තරා දවසක මම තීරණය කළා.ඒ සංසාරික ආදර කතාව සුඛාන්තයක් වුවත් ඛේදාන්තයක් වුවත් මගේ කතාව ඔබට කියන අවසාන දවස දක්වාම ඔබ මාව අසා හිඳින බව මට විශ්වාසයි.
මේ කතාවේ ඊළඟට සිදුවන්නට ඇත්තේ කුමක්දැයි ඔබට සිතෙනවානම් ඒ අදහස කමෙන්ට් තීරුවේ ලියා යන්නටත් අමතක කරන්නට එපා.අපි හෙට මුණ ගැසෙමු.