“ඔයා කියන්නේ රවිඳු ත් මාව යූස් කරනවා කියලද?”
හිමාෂා එසේ ඇසුවේ වේදනාවෙනි.එසේ අසන්නට සිදුවීම පවා වේදනාවක් බව ඇය හොඳින් දනී.නමුත් ප්‍රේමය යන මාතෘකාව තුළ ගැහැනිය ඕනෑතරම් පාවිච්චි විය හැකි බවද ඇය නොදැන සිටියා නොවේ.
“මම කියන්නේ එහෙම වෙන්නේ නෑ කියලා”
අමායා සැහැල්ලු හඬකින් එසේ පැවසුවා ය.හිමාෂා නැගණිය දෙස බැලුවේ කුතුහලය සහ අර්ධ සතුට මුසු දෑසකින් ය.
“ඒ විදිහට යූස් කරනවා නම් ඒක හොඳටම තේරුම් ගන්න පුලුවං අක්කා.එයා හිටියෙත් ප්රශ්නෙකනෙ.කෙනෙක් අතින් නූලෙන් එකේ වේදනාව හොඳටම තේරුණු මනුස්සයෙක් රවිඳු අයියා.ඒ නිසා එයාට ඔයාගේ වේදනාව තේරෙන්න ගන්න ඇති.”
හඳුනාගෙන බොහෝ කාලයක් ගෙවුණද මේ මිත්‍රත්වය අලුත් එකකි.එසේ වූයේ රවිඳුගේ අනතුරත් සමඟ ය.අනතුර පසුපස තිබූ කතාව දැනගැනීමෙන් පසු ඔහුට සමීප වීම මෙතරම් දුරක් යන කතාවක් වේයැයි හිමාෂා සිහිනයකින්වත් සිතා නොතිබිණ.නමුත් සමහර දේවල් සිදුවන්නේ කාලය විසින් තීරණය කරන අන්දමට ය.
“මට දැන් තියන ප්‍රශ්නෙ රවිඳු නෙවෙයි නංගි.”
හිස රුදාව නැඟෙන්නට තරම් හිතට ආ පීඩාව ගැන හිමාෂා නංගිට පැවසුවා ය.කුසට ආ කාලයේ පටන්ම දියණිය ගැන වගේ වගක් නොවූ සහන්ට හදිසියේ ඇය ගැන පහළ වූ ඇල්ම ගැන හිමාෂා පවසද්දී අමායා ඒවා අසා සිටියේ කම්මුලේ අත ගසා ගෙන ය.ගැබිනියක වූ අක්කා සමඟ බොහෝ තැන්වල තනි මකන්නට වූ අතීත දවස් ඇය සිහි කළා ය.සැමියා සිටිය යුතුම තැන්වල හිමාෂා ගමන් කළේ තම අත අල්ලාගෙන බව අමායාට හොඳින් මතක ය.
“මේවට නම් කටට එන වචන කියන්නත් අමාරුයි අක්කේ.මල්මි ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ එයාට දරු සෙනෙහස මතු වෙලා තියෙන්නෙ?”
අමායා එසේ අසද්දී හිමාෂා සුසුමක් හෙළුවා ය.ඔහු ආදරය දැනෙන තැන තෝරා ගැනීමේ වරදක් නොවේ.ඔහුට එතැන රැඳෙන්නට දී නිහඬවම පිටව ආ තමන්ට ලැබිය යුතු ගෞරවයවත් දෙන්නට සහන් ප්‍රවේසම් විය යුතු වේ.නමුත් ඔහු එහෙම දේ දේ නොදන්නා තරම් ය.
“රවිඳු කිව්වෙත් ඔහොමම තමයි.”
හිමාෂාගේ ඒ වචන අසා අමායා උස් හඬින් හිනැහුණා ය.ගැටලුවක් පවසමින් සිටින මෙවන් මොහොතක හිනා වෙන්නට ඇති කාරණාව කුමක්දැයි හිමාෂා ඇසුවේ නුරුස්නා බවක් මවා ගනිමිනි.නමුත් නැගණියගේ සිනාවට කාරණාව ඇය නොදැන සිටියා ද නොවේ.
“ඕනම දෙයක් කියාගෙන අඬාගෙන මං ළඟට එන කෙනා දැන් එහෙම කතාවට එන්නේ නැත්තෙ මොකද කියලා මං ඒත් හිතුව.ඔය අහු වුණේ හොරේ..”
ඕනෑම දෙයක් පහසුවෙන්ම බෙදාගත හැකි තමන් විනිශ්චය නොකරන සුළු චරිතය නැගණිය බව හිමාෂා මෙතෙක් කල් විශ්වාස කළා ය.දැන් එසේ විශ්වාස කළ හැකි තවත් අයෙකු හමු වී තිබේ.ඇය ඒ බව නංගිට පැවසුවේ ඒ කාරණාව සැඟවීමට නොවන බවද පවසමිනි.
“ඕනම දෙයක් පහසුවෙන් කියන්න පුළුවන් අපිව කරන්නෙ නෑ කියල විශ්වාස කෙනෙක් ළඟ සැනසිල්ලක් තියෙනවා තමයි.ඒ වගේම ඔලුවට එන දරාගන්න බැරි ප්‍රශ්නෙකට වුණත් එයා ළඟ විසඳුම් තියෙනවා කියලා හිතෙනකොට හිතට දැනෙන සැනසිල්ල විස්තර කරන්න වචන නැති වෙන්න පුළුවන්.”
සැබෑවකි!
තමන් දැන් හිඳින්නේ ඒ සැනසීමෙන් බව හිමාෂා අවබෝධ කර ගත්තා ය.
එහෙත් ඒ සැනසීම ඕනෑම මොහොතක විනාශ විය හැකි බවද ඇය නොදැන සිටියා නොවේ.රවිඳුට ප්‍රේම කිරීම ඇගේ තෝරා ගැනීමකි.නමුත් එය ඔහුගේ ද තෝරා ගැනීම නො වන්නට ඇති ඉඩ වැඩි ය.අනෙක් අතට විවාහ වී දරුවෙකු ද සිටින ගැහැණියක තම පුතුගේ ජීවන සහකාරිය කර ගන්නට ඒ දෙමාපියන් ඉඩ දීම සිහිනයක් බව හිමාෂා සිතුවා ය.