(අ)හිමි සිහින -159

කොහොමටත් ඒ කාලය වෙද්දී මා සහ සුධාරකගේ පවුලේ අය අතර සබඳතාවය ලෙහෙමින් පැවති එකක්.ඒ නිසා මෙවැනි ඥාතියෙකු එන බව මට දන්වන්නට ඔවුන් කොහොමටත් කල්පනා නොකරන්නට ඇති.

සුධාරකගේ අම්මා ඔහු සමඟ කතා කරමින් සිටියේ මාව නොදන්නා ලෙසින්.මාව සත පහකටවත් ගණන් ගත්තේ නැති බව හොඳින්ම පෙනෙන්නට තිබුණා.එතැනට එන්නේ එක් එක් අයගේ අවධානයට ලක් වන්නට නොව සුධාරක වෙනුවෙන් නිසා මට ඒ ක්‍රියාව නම් හිත රිදවන සුළු වූයේම නැහැ.

“මේකි තමා සේරම කරේ.මේකි නිසා තමයි සේරම වුණේ.”

එවැනි කතා ඇවිත් මගේ සවනේ හැපෙන්නට වූයේ මගේ හිතට කෝපයක් ද දුකක් ද පුදුමයක් ද ඇති කරමින්.දිල්හානි නිසා මහත් පීඩාකාරී ජීවිතයක් ගෙවමින් සිටි සුධාරක මා වෙතට පැමිණි පසු ඉතා හොඳ ජීවිතයක් ගෙවන බවද බව ද පැවසුවේ මේ ගැහැණියම බව සිහි වෙද්දි මට අදහා ගන්නට නොහැකි වුණු තරම්.ඔහුගේ මහත් ණයබරින් ඔහුව නිදහස් කර ඔහු ගෙවූ පීඩාකාරී ජීවිතයෙන් ඔහු මුදා ගෙන ඔහු සෑම මොහොතකම සතුටින් තබා ඔහු ජීවිතයත් මරණයත් අතර සටන් කරන මේ මොහොතේ ද මට කළ හැකි සියල්ලම කරද්දි සුධාරකගේ අම්මා මට මේ වගේ චෝදනා නැගීම සැබෑවටම මගේ දරා ගැනීමේ සීමාව ඉක්මවමින් තිබුණා.

නමුත් නිහඬවම සිටීම මගේ තෝරාගැනීම වුණා.එතැන කලබල කරන්නට යාමෙන් පවා ලැජ්ජා වන්නෙ සුදාරක බව මම හොඳින්ම දන්නවා.

“අර ඉස්සර ම පොඩි කාලෙත් පුතා බිව්වෙ ඕකි හින්දා”

නව යෞවනියක කාලයේ මා සුදාරක සමඟ සම්බන්ධයක් ඇති කර ගනිද්දී ඔහු තදින් මත්පැනට ඇබ්බැහි වූවෙකු බව මා ඔබට පැවසු හැටි මතක ඇති.ළාබාල තරුණියක කාලයේ පවා ඔහු ඉන් මුදා ගැනීමට මම කළ හැකි සියල්ලම කරා.නමුත් ඔහු සහ මම වෙන් වූ මුල්ම කාලයේ සුධාරක හිත හදාගන්නට නම් මත්පැනට ඇබ්බැහි වී සිටි අන්දම ඔබට මතක ඇති.ඒ සිදුවීම මගේ තනි වරදක් මත සිදු වූවක් නොවන බව මේ කතාව කියවන ඔබ වගේම ඒ කතාව සැබෑ ජීවිතයේ දන්නා සියල්ලම හොඳින් දන්නා කාරණාවක් 

ඔහු මට පවසා තිබූ අන්දමට ඔහු මත්පැනට සහ දුම්වැටිවලට ඇබ්බැහි වී තිබුණේ ඥාති නිවසේ ජීවත් වන කාලයේදී.නිවසේ සිටි මාමා දැඩිව මත්පැනට ඇබ්බැහි වී සිටි නිසා ඔහු ද ඒවාට පුරුදු වී තිබුණා.ඒ වරද පවා මා පිට පටවන්නට මේ වියපත් ගැහැනිය ක්‍රියාකරන අන්දම මට උහුලා ගන්නට පවා නොහැකි වුණා.ඒ නිසා මම ඇයට කතා කරන්නට තීරණය කළා.

“මං හින්දා මොකුත් වුණේ නෑනෙ අම්මේ? මං හින්දා මොනා වුණා කියලද ඔයා මේ කියන්නේ.”

මම හැකිතාක් ආචාරශීලීව විමසුවේ ගැටුම් ඇති කර ගැනීමට මෙය තැනක් නොවන නිසා.

“තරහ වෙන්න එපා මාමා හෙණ ගහනවා නම් ගහන්න ඕන මට නෙවෙයි දිල්හානිට”

මම දිල්හානිගේ මාමට පවසද්දී හෙණ උරුම විය යුත්තේ මට බව පවසමින් සුධාරකගේ අම්මා පරල වන්නට පටන් ගත්තා.

“අයියා අතන සිහියක් පතක් නැතුව වැටිලා ඉන්නවා.අම්මා අර කරන්නේ මොකක්ද? පොඩ්ඩක් බලන්න අක්කේ ඒ මොකක්ද එයා කරන්නේ කියලා.”

මම සුදාරකගේ අක්කට එසේ පැවසුවේ කරන්නට කිසිවක් ම නැති නිසා.ඇය මේ තත්ත්වය සමනය කරන්නට ක්‍රියා කරන්නට ඇති.රෝගීන් බැලීම අවසන් වූ පසු අපි නැවත යන්නට පිටත් වුණා.මම ඔවුන් සමග එකට ගමන් නොකර ඉදිරියෙන් තනිව ගමන් කළා.මට පිටුපසින් දිල්හානිගේ මාමා සහ සුදාරකගේ අම්මා ඇවිද එන බව මම දුටුවා.එක්තරා මොහොතකදී මගේ කන අසලින් අමුතු හුළඟක් හැමු බවක් මට දැනුණේ ඒ මොහොතේ දී.ඒ කුමක්දැයි මට දැන ගන්නට ලැබුණේ එය දුටු කණිෂ්ඨ නිලධාරියෙක් මට එය පැවසූ නිසා.

සුධාරකගේ අම්මා මට පාරක් ගසන්නට තැත් දරා තිබුණා.එය මට නොවැදුණත් ඇය එවැනි උත්සාහයක් දරා තිබුණා.

මේ මහා වෛරය දවසින් දවස වැඩි වූවා මිස අඩු වූයේ නැහැ.

ඉන්පසු අසීරු කාලයක් ලබමින් තිබූ අතර එක්ව දරා ගැනීම වෙනුවට ඇය තෝරා ගත්තේ මා සැතිරියක ලෙස සැලකීමයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles