“සකී?”
සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත.
“ඒ ළමයා උඹට මුණ ගැහිලා නෑනේ?”
සෑම සිහිනයකම දැවටෙන යුවතිය මෙවැනි තැනක නොව අතිශය ජනාකීර්ණ බිමකදී වුවත් හඳුනා ගැනීමට අපහසු නොවන බව නොකියා අහස් මඳ සිනාවක් පා කළේ ය.
“සෝෂල් මීඩියා තියනකන් මිනිස්සු අඳුනා ගන්න අමාරු නෑ.”
අහස් එසේ කියද්දී සිනාසීමේ වාරය පැමිණියේ සියුම් ට ය.සමාජ ජාලාවල හැසිරීම් වලින් මිනිසුන් හඳුනා ගැනීම ඉතා අසීරු බව ඔහු පැවසී ය.
“එච්චර කරුණාවන්ත වෙන්නවත් හොඳ වෙන්නවත් බෑ බං මිනිස්සුන්ට.ඒ වගේම තමයි ඕවගේ පුදුම තරම් නරක මිනිස්සු කියලා කියල පෙන්නන සමහර අය ඇත්තටම හරි හොඳ මිනිස්සු.කෙල්ලො හැටක් හැත්තෑවක් ඉන්නව කියල පෙන්නන සමහර උන්ට එක කෙල්ලක් වත් ඇත්තටම නෑ.”
සියුම්ගෙන් සමාජ විද්‍යාව ඉගෙන ගන්නට මේ මොහොතේදී අහස් ට අවශ්‍ය වූයේ නැත.සකී දැකීමෙන් කැළැඹුණු සිතුවිලි ඇතිව සිටි ඔහුට නිහඬව හිඳින්නට අවශ්‍ය විය.
“මම ඔච්චර කතාවක් නෙමෙයි බං කිව්වේ.මං ඒ ළමයා වෙන්න ඇති කියලා හිතුවෙ පෙනුමෙන්.කතා කරලා බලනකොට ඒ සකීම තමයි.”
සකීගේ ෆේස්බුක් ගිණුමේ පිටස්තරයන්ට දකින්නට ඡායාරූප නැත.එවගක් සියුම්ට කල්පනා වූයේ නැත.වට්ස් ඇප් ගිණුමෙන් ඡායාරූපයට පවා ඇය එක් කර තිබුණේ අන්තර්ජාලයෙන් ගත් රුවක් බව අහස්ට සිහි වුවද ඔහු එය නොකියා සිටින්නට ප්‍රවේසම් විය.සැබෑවටම අහස් ඇය ගැන අනුමාන කළා පමණි.සිහිනයේ හිඳින්නිය සහ සිතුවම් මවන්නිය එකම තරුණියක බව දැනගැනීම ඔහුව කැළඹීමට පත් කර තිබේ.නමුත් ඒ කැලඹීම පිටතට නොපෙන්වීමට සිදුවී තිබේ.
“ෆේස්බුක් ෆොටෝස්වලිනුත් කෙල්ලෝ අඳුනා ගන්න නම් බෑ.මොකද කියනවනම් ඉතින් ඒවත් උන් දාන්නෙ එඩිට් කරල.සකී ඇත්තටම ලස්සන හින්ද ඒකිව උඹ අඳුනා ගන්න ඇති.”
සියුම් කියයි.සැබෑවටම වෙහෙසක් දැනෙන හෙයින් ඔහුට රියදුරු අසුන පුදන්නට ආ සිතුවිල්ල අහස් අමතක කර දැමුවේ ය.මේ සාරන්‍යා නිසාවත් සකී නිසාවත් සිත කලබල කර ගත යුතු කාලයක් නොවේ.තමන්ගේ ජීවිතය තදින් අල්ලා ගත යුතු කාලයකි.
“ක්‍රෂ් එක නම කියලම අඬගහලා ෆොටෝ එකක් ගත්තම මෙහෙම ෂොක් වෙලා ඉන්න වෙනවා තමයි.”
කල්පනාවක පැටලී ඔහේ බලා සිටි සකීට රන්මිණි පැවසුවේ සරදමක ස්වරයකිනි.සරසවි පිවිසුම් දොර ආසන්නයේ සරසවි සගයන් සමඟ සුහද කතාබහක පැටලී සිටි අහස් සකීට හඬ ගැසූ බවත් ඇගේ ඉල්ලීමකින් තොරව ම ඇය සමග ඡායාරූපයක් ගත් බවත් මේ වෙද්දි තටු සලා ඉගිලෙන ආරංචියක් බවට පත්වී තිබිණ.
“මේකෙ ඉන්න එවුන්ටත් කිසිම මනුස්සකමක් නං නෑ.ඔතන ෂුවර් එකටම අපේ බැච් එකේ මොකෙක් හරි ඉන්න ඇති.”
නිම්නාගේ කටහඬ පිරී තිබුණේ අමනාපයකින් ය.ඒ කෝපයට හේතුව විමසන්නට සකීට උවමනා නොවුණත් රන්මිණි ට එය දැනගන්නට ඕනෑ විය.
“මෙයා අහස් ට පිස්සුවෙන් වගේ ක්‍රෂ් කියලා කවුරුහරි එවලෙ අහස්ට කියන්න ඇති බං.තවම හරි බයිට් කරන්න තියෙනවා නම් මේකෙ උන්ට ඊට වඩා ජොලියක් නෑ නේ.”
නිම්නා කියන්නේ සත්‍ය බව සකී ද දැන සිටියා ය.එහෙත් එවැනි කිසිවක් නොවූ බව ඇය හොඳින් දනී.සගයන් ගැන විශ්වාසයක් නොතිබුණ ද ඇය අහස්ව විශ්වාස කළා ය.ඔහු ගැන කිසිවක් ම නො දන්නා බව කියන්නේ මිතුරියන් ය.නමුත් ඔහු ගැන බොහෝ දේ දන්නා බව ඇයට සිතේ.
“මං එතන බයිට් වුණේ නෑ අනේ”
සකී එපමණක් පවසා නිහඬ වූවා ය.ඇය එතැන සරදමට ලක් වූ බවක් ආරංචි නොවුණ ද සෑම දෙයක් කෙරෙහිම සැකයෙන් බලන්නට පුරුදු වූ නිම්නා එහි සැඟව ඇති රහස සොයන්නට තීරණය කළා ය.
“අර චිත්‍ර තමයි සේරටම මුල මම හිතන්නේ.මෙයාගේ පින්සල් පාරකට අවුරුදු ගාණක ක්‍රෂ් එක ව අල්ලගන්න පුළුවන් වුණා.”
රන්මිණි සෑම දෙයකම සැහැල්ලුව දකින්නට කැමත්තියකි.පින්සල් පහරකින් අහස්ව අල්ලා ගැනීමට හැකි නම් ලෝකයේ අනෙක් පැත්තට කැරකීමට පටන් ගැනීමට ඇති ඉඩ වැඩි බව නිම්නා සමච්චලයකින් පැවසුවා ය
“කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා බහ කරාම ඒ මිනිස්සු දෙන්නව කසාද බන්දලා කතාව ඉවර කරන්න එපා අනේ.අහස්ට ඕනෙ වුණේ මට ස්තුතියි කියන්න. එතනින් එහාට දෙයක් නෑ.”
සැබෑවටම එතැනිනින් එහාට දෙයක් නැති බව අවබෝධ කරගැනීමට ඕනෑ වූයේ සකීගේ හදවතට ය.ඇය නිම්නාට එසේ හඬ ගා කියන්නට සිතුවේ එනිසා ය.
“එතනින් එහාට නම් දෙයක් නෑ තමයි.තියෙනවා කියලා නිකංවත් ඔයා හිතන්න එපා.එහෙම හිතලා ඕවගෙ පැටලෙන්න ගියොත් ඔයා අමාරුවේ වැටෙන ඉඩ වැඩියි.මොකද අහස් කියන්නේ මේක ඇතුලේ ඉන්න කොල්ලෙක් නෙමෙයිනෙ.”
නිම්නාගේ කතාව දිග සිතන්නට සකීට සිතිණ.සැබෑවටම මේ සිහිනය කෙළවර තමන් විල්ලුවක ගිලී යාම සත්‍යයක් දැයි ඇය සිතන්නට වූවා ය.