නිබ්බුත ගීත – 12

අප වැටී සිටි සමාජ ආර්ථික අගාධයේ පත්ල ගැන යම් චිත්‍රයක් දැන් ඔබ තුළ ඇඳී ඇතැයි සිතමි. ඉගෙන ගැනීම අපට ඉන් ගොඩ එත හැකි මාර්ගය බවට හැඟීමක් මා තුළ ඇති කරවූයේ මන්තරයක් සේ එය මැතිරීමෙන් මධාරා අක්කා විසින් බව මම අදටත් ඕනෑ ම තැනක පවසමි. අපේ අම්මා සිය දරුවන් ට එහෙම මාර්ගයක් පෙන්වන්නට තරම් උගත් කමක් තිබූ ගැහැනියක නොවේ. සීයා යමක් කමක් හරි හම්බ කළ මිනිසෙකු වී ද දෙවන විවාහයක් කර ගන්නට සිදු වීම මත ඔහු ගේ පළමු විවාහයේ දියණියට උගන්වා ගැනීම ඔහු ගෙන් අතපසු වී ගියේ ය. ආච්චි මමී එන විට අම්මා ට අවුරුදු අට ලු. එදා පටන් ගෙදරක සියලු වැඩ කරන්නට සිදු වූ බව අම්මා අප හා කියා තිබේ. ඒවා ගේ මිදුල් අතු ගෑම කඩේ යාම වැනි සුළු කාර්ය වල සිට තේ හැදීම, කෑම පිසීම, දර පැලීම, දර පොල් කොළ එකතු කිරීම, කිරි දෙවීම, හරකුන් දිගේලි කිරීම හා තණකොළ ද පුන්නක්කු ද සැපයීම වැනි අවුරුදු අටක දැරියකට කිරීමට අසීරු කටයුතු දක්වා පුළුල් වී තියේ. ආච්චි මමී දරුවන් බිහි කරන්නට සිටිත්දී ද දරුවන් බිහි කළ පසුව ද අම්මා ගේ වැඩ අතිශයින් සංකීර්ණ වී ඇත. බිළිඳු ඇඳුම් සේදීම, ඔවුන් සමග නිදි වැරීම, ඔවුන් බලා කියා ගැනීම වැනි කටයුතු ද පැවරී ඇත්තේ අම්මාට ය. දවස පුරා ම වැඩ කොට නැහීමෙන් පසු පුටුවක හිඳ ගන්නා අම්මා වෙත දරුවෙකු ගෙනැවිත් ඇඟේ ගැසීම ඉන්පසු ආච්චි මමී ගේ කාර්යයයි.

“දවසෙම ළමය ඔක්කෙ ගහං ඉඳල මට ඇති වෙලා”

කියා එතකොට කියන්නී ලු. දවස පුරා මහ ගැහැනියක සේ ගෙදරක වැඩ කළ අම්මා ට ඉන් පසු ළමයි වඩා ගෙන ඉන්නට දී ආච්චි මමී සැනසිල්ලේ හිඳී. අම්මා උදේ පාසල් යා යුතු වූයේත් ඔයාකාරයෙන් ගෙදර වැඩ කොට කිරි දොවා තබා ය. පාසලට යන විට හැම විට ම පළමු කාල පරිච්ඡේදය අවසන් ව තිබේ. අම්මා ට ඉගෙනීම එපා වී තිබෙන්නේ ද ඉගෙනීමේ කටයුතු අතපසු වී තිබෙන්නේ ද ඔය වැනි පසුබිමක් තුළ ය. සීයා වූ කලී ගැහැනු ළමයින් ලොකුවට ඉගෙන ගත යුතු යයි නො සිතූ මිනිසෙකි. ඇය දැන සිටිය යුත්තේ ගෙදර වැඩත් දරුවන් සදන්නටත් ය. ඒ අනුව ආච්චි මමී ට අම්මා ගෙන් වැඩ ගන්නටත් ඇගේ පාසල් ගමන හතේ පන්තියෙන් නතර කොට දමන්නටත් හැකියාව ලැබී තිබේ. පාසල් ගමන නතර කරන්නට වීම ඇයට මහත් අස්වැසිල්ලක් වූ බව අප හා කියත්දී අම්මා ගේ ඇස් වල වූ සංවේගී හැඟීම් ගොන්න මට කිසි දාක අමතක කළ නො හැකි ය. සිය ළමා වියේ පටන් වැඩ කරමින් අසීමිත දුකක් විඳි අම්මා අප පාසල් ගොස් අවසාන වන තුරු ද එදුකින් මිදී සිටියේ නැත. 

අධ්‍යාපනය ගැන අපට දැනමුතුකම් දෙන්නට තරම් දැනුමක් අම්මා ට නොතිබුණේ ඇයි කියා තේරුම් ගන්නට ඔබට මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් යයි සිතමි. එහෙව් අම්මා කෙනෙකුගේ කුසයෙන් උපන් මගේ ජාන වල ඉගෙනීමේ හැකියාව සහිත ජාන සංයුතියක් මගේ ජීව විද්‍යාත්මක පියාගෙන් ලැබුණා ද නැත්නම් දෛවයෙන් හිමි වූවා ද කියන්නට මම නොදනිමි.

කුඩා දැරියක සන්දියේ දී මා කැපී පෙනෙන දීප්තිමත් සිසුවියක වූයේ නැති බව මතක ය. එසේ වීත් ඉහළ ලකුණු මට්ටමක් සහිතව පහේ ශිෂ්‍යත්වය සමත් වීම දෛවයේ යම් තීරණයක් වන්නට පුළුවන. කෙසේ වෙතත් මා මධාරා අක්කා ගේ ඇසට හසු වන්නේ එසේ ශිෂ්‍යත්වය සමත් ව බාලිකාවට ඇතුළු වන්නට දැක්වූ සමත්කම හේතුවෙනි.

ඉගෙනීමේ හැකියාවක් වූවාට සහ ගැහැනු ළමයෙකු ලෙස වසරින් වසර ඉහළ පන්ති වලට යමින් කායික වර්ධනයක් කෙසේ වී ද මානසික වර්ධනයක් හා හෝමෝන සක්‍රිය වීමක් සිදු වූවාට, ප්‍රේමය කියනා ඒ වයසට එබිකම් කරනා හැඟීමෙන් දුරස් වී ඉන්නට මට හැකි විය. ඊට ප්‍රධාන ම හේතුව සම වයස් බාලිකාවන්ට සාපේක්ෂ ව මගේ අඟ පසඟ නොවැඩී තිබීම හා මා ලස්සන කෙල්ලක නොවේය යන සිතිවිල්ලෙන් මා සිත වහ ගෙන හිඳීම ය. මට සමීප ව ඇසුරු කරන්නට ලැබුණ යුවතියන් දෙදෙනා ම -මධාරා අක්කා හා සඳනි- ඉතා පිරිපුන් හා සුන්දර ස්ත්‍රී රූප දැරූ අය වූහ.  ඔවුන් ගේ රූ සපුව සමග මගේ කෙසඟ සිරුර සැසඳීමෙන් මා එවන් නිගමනයකට බැස ගත්තා වන්නට පුළුවන. 

නමුත් ප්‍රේමය පිළිබඳව මා තුළ සිතුවම් වෙමින් පැවතියා වූ චිත්‍රය අතිශය සංකීර්ණ ය. විශේෂයෙන් ම පාසල් පුස්තකාලය පරිහරණය කිරීම තුළ, මගේ පන්තියේ බාලිකාවන්ට වඩා වෙනස් වූ පරාසයක් තුළ මම ප්‍රේමය දුටුවෙමි. එසේ ම ප්‍රේමය කියනා හැඟීම දුප්පත්කම කියනා ආර්ථික කාරණය මත සැමකල් සඟවා, වසා හෝ යටපත් කර තබන්නට නො හැකි බව මට තේරුම් යන්නට වූයේ ලෝචන මදුරාපුර ගේ ඇස් බැල්ම මා හඹා එන්නට ගත් මුල් කාලයේ ය. ඔහු මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දැන ගන්නට විත්, කොණ්ඩා කරලේ රැඳී තිබූ තාරුකා මල ගලවා සාක්කුවේ දමා ගත් වෙලාවේ, මවිසින් එතෙක් යටපත් කර ගෙන උන් ප්‍රේමයට සමීප සියලු ම සංවේදනා හා හැඟීම් මා යට කර ගෙන නැගී සිටියේ ය. 

මදුරාපුර මැදුරට අපේ දර මඩුවේ සිට ඇත්තේ කිසි දා යා කළ නො හැකි දුර පරතරයක් බව මම ඉඳුරා දැන සිටියෙමි. ඒ වගේ හීනයක් දැකීම වුව අප වාගේ මිනිසුන්ට විහිළුවක් බවත් මම දැන සිටියෙමි. නමුත් වරින් වර මගේ හැඟීම් මගේ පාලනයෙන් මිදී තටු ගසා ඉගිලෙන තත්වයකට පත් නොවූවා නොවේ. ඊට වැරදිකරු ලෙස ලෝචන ගේ ඇස් වල තිබූ ආමන්ත්‍රණය හඳුනා ගන්නට ද මා අපොහොසත් වූයේ නැත. අනිත් අතට සඳනි මගේ හිස තුළ නිරන්තර හොල්මන් කරමින් මා ලෝචන වෙතින් දුරස් කොට තැබූ හේතුව විය. මධාරා අක්කා ගේ පෙම්වතා මදුරාපුර මැදුර ට මුලින් ම ආ දා සිය කාමරයේ දී මා වැළඳ ගෙන ඍජුව ම ආදරය ප්‍රකාශ කිරීමෙන් පසුව ද තවත් වසරක් ගෙවි යන තෙක්, එනම් නීලිකා නැන්දා මාව අවන්තට විවාහ කර දීම ගැන යෝජනාව අම්මා ට ගෙන එන තුරු ම ලෝචන ගේ ප්‍රේමය ඉදිරියේ මා ගොළු කොට තබන්නට හේතු වූ කාරණා ඒවා ය. නමුත් අපේ ලෑලි බංකුව මත දී ඔහු මගේ අතකින් අල්ලා ගත් වෙලාවේ තව දුරටත් මගේ හැඟීම් සිර කඳවුරක ලා තබන්නට මම අපොහොසත් වීමි.

ප්‍රේමය කියන්නේ දුප්පත් මිනිසුන් ට අකැප හැඟීමකැයි අදහසක් මා තුළ ප්‍රරෝහනය වන්නට වූයේ කවදා සිට දැයි නො දනිමි. නමුත් එවන් සිතිවිල්ලක් මා තුළ වූ බව නම් දනිමි. ලෝචන මදුරාපුර කෙරේ මගේ ළමා හදේ වූ බැඳීම ප්‍රේමයේ ම මුල් අවස්ථාව බව, සැත් කටු කතුරු හා පිහි වලින් හදවත කපා කොටා විශ්ලේෂණය නො කළා වී ද අද මම හඳුනා ගෙන සිටිමි. එල්ලා හැලෙන  බාචු ගවුමක් හැඳගෙන එහි උරහිස නිතරම ඉහළට ඔසවමින් මා ඔවුන් ගේ ටෙරාසෝ බිම අතුගාන හා ඔහු මා දෙස බලනා හෝ උනන්දුවක් නොදැක්වූ ගැටවරයෙකු සන්දියේදීත්, මම ලෝචන ගැන විශේෂ අවධානයකින් උන් ගෑනු ළමයෙකු වීමි. ගෑනු ළමයින් ‘ස්පෙක්ස් දාන කොල්ලො ස්මාට්…බ්‍රයිට් ලුකිං’ කියා කියූ පසු ඔහු ට හොරෙන් ඔහු දෙස බැලූ අනන්ත වාර වලදීත් මා රසවත් කළ හැඟීම ප්‍රේමය නොවේ කියා කියන්නේ කෙසේ ද? 

“කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී…නැවතී බලනවා මොහොතක් කොහොම හරී…කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී…දාහක් දේ තිබේ කීමට බැරිව වැසී…

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා…සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා…කවදාවත් ම නුඹ මට නොලැබෙන හින්දා…මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා”

යන නන්දා මාලිනිලිය ගේ ගී ඛණ්ඩය කාලයක් තිස්සේ මගේ මුව මත මිමිණෙමින් ද හදවතේ ප්‍රතිරාව නංවමින් තිබෙන්නට හේතුවක් නැත කියා කිව නො හැකි ය.

“අවන්තල සීයක් එක්ක හරි ෆයිට් කරන්න දැං මට පුළුවන්”

බංකුව මත දී මගේ අත අල්ලා ගෙන ලෝචන එසේ කීවේ මා ඔහු ගේ අත් ගොබයේ මගේ මූණ තද කර ගැනීමෙන් පසු ය. මම ඒ අතෙහි කම්මුල තිබියදී ම ඇස් නගා ඔහු ගේ මූණ බැලුවෙමි. ලෝචන ගේ හිතුවක්කාර තොල් මත්තේ ජයග්‍රාහී මඳ සිනහවක් විය. ඒ මොහොතේ ම පහත් වී ඔහු දඩබ්බර ලෙස මගේ නළල සිප ගත්තේ ය. නළල මත තැවරුණ ඔහු ගේ දෙතොල් වල සීතල මේ දැනුත් එහි තිබෙනවා මට දැනේ. එසේ සිතත්දී මගේ දෙතොල් දැනුත් මඳහසකින් විකසිත වේ.

“ඔයාට තේරෙන්නැති ගොඩක් දේවල් තියනව අයියෙ”

එසේ පවසමින් මා මගේ අත සියුම් ලෙස මුදවා ගත්තේ එසේ කරන්නට වීම ගැන ලෝබ කමිනි. නමුත් අප හිඳ සිටින බංකුව ඉදිරියෙන් වන්නේ ගුරු පාර ය. නිතර සෙනග නොගිය ද එහි මිනිසුන් යති. එති. අනිත් අතට මහ ගෙදර අය වත්තේ කරක් ගසනා කලාවක් වෙලාවක් නැත්තේ ය. මගේ උසස් පෙළ ප්‍රතිඵල වලින් පසු ඔවුන්ට අපේ කුසගිනි දැනෙන්නට ද පටන් ගෙන තිබේ. 

“මං මේ මෙඩිසින් සිලෙක්ට් වෙන තරමට එග්සෑම් පාස් වුණයි කියල ලෝකෙ එතන ඉඳල අලුතෙන් පටන් ගන්නෙ නෑනෙ. අපේ කට්ටිය වගේ අයට මං දවසක ඩොක්ටර් කෙනෙක් වෙන එක මාව පවුලට සම්බන්ද කර ගන්න හේතුවක් වුණාට…”

“ඒක මං බලා ගන්නංකො”

ලෝචන මට මා කියන්නට ගිය කතාව සම්පූර්ණ කරන්නට දුන්නේ නැත. 

“අනිත් එක සඳනි…එයා මැරෙයි මෙහෙම දෙයක් දැන ගත්තහම. ඉසුරුව අතෑරල හරි පුළුවන්නං ඔයා ළඟට එයි එයා. ඒක පිස්සුවක් වගේ ආදරයක්”

“ඒ ළමයට මං සිංහලෙන් තේරුං කරල දීලයි තියෙන්නෙ”

“එයා කොහොමද වෙන කෙනෙක්ගෙං කොහොම වුණත් මගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ…”

“එයා හොඳ යාළුවෙක්නං ඔයාව තේරුං ගනී”

“අනිත් එක මධාරා අක්ක වුණත් මං ගැන කොහොම හිතයිද…”

ඒ වෙලාවේ ලෝචන ගේ කළු මුහුණට ආ සුදු සිනහව මා මංමුලා වෙන තරම් ලස්සන එකකි.

“ඔයා හිතන්නෙ අපේ අක්ක බබෙක් කියලද…පොඩි කාලෙ ඉඳන්ම මං හැරෙනකොට මොකටද කියන්න එයා දන්නව”

“මධාරා අක්ක දන්නවද…”

මා එසේ ඇසුවේ ඇස් දෙක ද ලොකු කර ගෙන බියපත් හඬකිනි. හෘත් පේෂි වල පැහැදිලි පෙරළීමක් ඒ වෙලාවේ මට දැනිණ.

“මුකුත් එහෙම දන්නෑ. ඒත් ඉතිං මං ඔයාට කැමතියි කියල දන්නව ඇති”

එය වූ කලී මිහිරි රසයකි. අප කොයි තරම් කරුණු කාරණා දැන සිටියා වී ද වරදක් විය හැකි බව දැන දැන ම ඒ වරද කරන්නට පෙළඹෙන අවස්ථා උදා වේ. මගේ ප්‍රේමය ලෝචන ට දැනෙන්නට හැරීම ද එවන් වූ අවස්ථාවකි. මදුරාපුර මැදුර පැත්තෙන් ද සඳනි ගේ පැත්තෙන් ද එල්ල විය හැකි විරෝධය නිසා හෝ ඔවුන් ට සිදු විය හැකි සිත් වේදනා වලකනු වස් ඒ වන තුරු ම ලෝචන ගෙන් වහන් වෙවී සිටියාට තව දුරටත් එසේ කළ නො හැකි තැනකට මම ඇවිත් සිටියෙමි. ඇතැම් විට ඒ කවරක් සිදු වී ද ඊට මුහුණ දෙමින් හා මතු යම් දිනයෙක බරපතල විරහ වේදනාවකට ගොදුරු වීමේ සූදානමකින් කළ තෝරා ගැනීමක් වන්නට ඇත. ජීවිතේ යම් අවස්ථා වල අපට එබඳු බරපතල තීරණ ගන්නට සිදු වේ.

“අම්ම නීලිකා නැන්දට කියන්න මං අවන්ත අයියට කැමති නෑ කියල”

එදා රාත්‍රියේ කරවල හොදි සමග බත් කන ගමන් මම අම්මා ට කීවෙමි. මල්ලී රතු ලූනු ගෙඩියක් ‘ජරස්’ ගා හැපුවේ ය. අම්මා තැති ගත් දෑසකින් මදෙස බැලුවා ය.

“ඇයි සුදූ ඒ…”

ඇගේ හඬ වෙව්ලා ගියේ ය.

“ඇයි කියල අහන්නෙ…අම්ම මාර ප්‍රශ්නයක්නෙ අහන්නෙ…කෙනෙක් තව කෙනෙක්ට කැමති වෙන්න හරි අකමැති වෙන්න හරි හේතුවක් ඕන නෑ. අපි කාටවත් හේතු ඉදිරිපත් කරන්න බැඳිලත් නෑ”

මා වෙනුවෙන් මල්ලී වහා ඉදිරිපත් වූයේ ය. අම්මා ඔහු ට රැව්වා ය.

“උඹ හිටපං රාහුල් කට දාන්නෙ නැතුව…මං කතා කළේ සුදූ එක්ක”

“හරි ඉතිං…සුදූට කියන්න තියෙන්නෙත් ඕක තමයි”

“අවන්තට තමයි දවසක මහ ගෙදර ඉඩමෙන් බාගයක්”

“එහෙම කොහොමද ඌට බාගයක් ලැබෙන්නෙ…ඉඩම තුනට බෙදිල අපිට තුනෙන් එකක් අයිති වෙන්න ඕන”

“අනේ මේ රාහුල් උඹ නීති කරන්න එන්නෙ නැතුව හිටාං. පස්ස පැත්ත කහගන්න නියපොත්තක් නැති වුනාට උඹ මහ ඒජන්ත හාමුදුරුවො වගෙයි කතා කරන්නෙ. සුදූ…අපිට මෙහෙම වැටිල ඉන්න එකත් නැති වෙයි ඕවයිං මේවයිං”

මගේ බඩ පපුව දැවී පිච්චී යන හැටි මට දැනිණ. දෙවියනි මගේ දුප්පත් අම්මා මොන තරං නං අසරණ ද? ඇය අප වෙනුවෙන් ඉහිලූ දුක් කඳ මා මේ තරම් සරල ලෙස ලඝු කර සිටින්නේ කෙසේ ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles