තාත්තා අම්මාට පහර දෙන සෑම දිනකම තාත්තාගෙන් දික්කසාද වන්නැයි සුදු නංගී ඉල්ලා සිටියි. දික්කසාදය යන වදනෙහි අරුත පවා හරියට නොවැටහෙන සුදු නංගී එසේ පැවසුවද, මට අම්මාගෙන් එසේ ඉල්ලා සිටින්නට නොසිතෙන්නේ මන්දැයි මට නොවැටහෙයි. ඇතැම් විට දික්කසාද වීම නිසා ගැහැනියක සමාජය තුළ අවලංගු කාසියක් බවට පත් වනු ඇතැයි යන සිතිවිල්ල මගේ සිත තුළ රැඳී තිබෙන්නට ඇතැයි මට සිතෙන්නේ දැන් ය.
“ඩිවෝස් වෙන්න අම්මා. මේ ගේ ඔයාගෙ නම් ඔයාට කියලා බිස්නස් එකක් තියෙනවනම් ඇයි මේ විදියට කාගෙන්වත් ගුටි කකා ඉන්නෙ?”
“නෑ. ඇයි මං ඩිවෝස් වෙන්නෙ?”
අම්මා ඇසුවාය.
“එයාට ඕන දේත් ඒක වෙන්න ඇති. කරන්න ඕන දේ මං දන්නවා. ඔය දෙන්නා මගේ ප්‍රශ්න ඔයාලගෙ ප්‍රශ්න කරගන්න එපා. මං විසඳුමක් හොයා ගන්නම්.”
අම්මා සිය විවාහ ජීවිතයම පෙලන ගැටලුවට පිළිතුරු සොයා ගත්තේ කෙසේදැයි අප දැන සිටියේ නැත. දින ගණනාවක් නිවසට නොපැමිණි තාත්තා දිනක් රාත්‍රියේ නිවසට පැමිණ සිය ඇඳුම් පැළඳුම් සියල්ලම රැගෙන යන්නට ගියේ අප සිත් වලට මහත් සැනසුමක් ගෙන එමිනි. දෑත් බැඳගෙන මහත් අභිමානවත් ලෙසින් ඔහු යන දෙස බලා සිටියා මිසක අම්මා නොහැඬුවාය. තාත්තා නික්ම යාමෙන් පසු සුදු නංගීටත්, මටත් ඇති වූ සතුට හා සැනසීම අසීමිතය.
“දැන් ඉතින් අපි තුන්දෙනාට සැනසීමෙන් ඉන්න පුලුවන්.”
අප දෙදෙනා තුරුලු කරගත් අම්මා පැවසුවාය.
“හිතක් පපුවක් නැති මිනිහෙක් නිසා අපි තුන්දෙනා අවුරුදු ගානක් විඳෙව්වා ඇති.”
එවේලෙහි අම්මා හෙලූ සුසුමෙහි වූ සැනසීම මට දැනිණ.
“අම්මට තියෙන්නෙ ආයෙම කවුරුහරි බඳින්න. ඔයා තවමත් කොච්චර ලස්සනද?”
එම සිදුවීමෙන් සති කීපයකට පසු සුදු නංගී අම්මාට පැවසුවාය.
“පිස්සු කතා කියනවා.”
අම්මා පැවසුවේ ලජ්ජාශීලී ලෙසිනි.
“මං දැන් නිදහස් ගෑනියෙක් බව ඇත්ත. ඒ වුනාට ආයෙම ජීවිතේටම පිරිමි ඕන නෑ. පිරිමි කියන්නෙ මහ අවස්ථාවාදී ජාතියක්. කාගෙවත් හයියක් නැතිවට මට පුලුවන් තනියම නැගිටගන්න. ඔය දෙන්නට කවදාවත් දුකක් නොදී බලාගන්න.”
අම්මා එකල නිතර පැවසුවාය. ඒවනවිටත් ඇය විසින් නගරයේ පවත්වාගෙන ගිය කේක් සාප්පුව වඩාත් නවීකරණය කළ ඇය එහි බොහෝ වෙනස්කම් ඇති කලේ ගනුදෙනුකරුවන්ගේ ප්‍රසාදය දිනා ගනිමිනි. ‘ඩිනාලි කේක්ස්’ මිළ තරමක් අධික වුව ද, සෑහෙන ගනුදෙනුකරුවන් පිරිසක් ග්‍රහණය කර ගත්තේ අම්මාගේ උනන්දුව හා කැපවීම නිසාමය.
“මොනවද ඩිනාලි ඔය හැටි කල්පනා කරන්නෙ? මං ගිහින් එන්නම්. පරෙස්සමෙන් ඉන්න.”
අම්මා මේසයෙන් නැගී සිටිද්දී මම කල්පනා ලොවෙන් මිදුනෙමි.
“වජිරා… ලොකු බබාගෙ බෙහෙත් ටික ගෙනත් දෙන්න. වෙලාවට බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්න ඕන.”
වජිරා ගෙතුළට ගියේ මගේ බෙහෙත් රැගෙන ඒමට විය යුතුය.
“මට දැන් හොඳයි.”
අවසන් තේ ස්වල්පය ඉක්මනින් පානය කළ, මා මේසයෙන් නැගී සිටියද, සුදු නංගී ඒවනතුරුත් තේ පානය නිමා කර නොතිබිණ.
“හොඳ වුනාට කමක් නෑ. වෙලාවට බෙහෙත් ටික බොන්න. හේෂාන් ආවොත් මට කෝල් එකක් දෙන්න. මම ඉක්මනට එන්නම්.”
අම්මා පුටුවක් මත තිබූ අත් බෑගයත්, මෝටර් රියේ යතුරත් අතට ගත්තාය.
“පරෙස්සමෙන්…”
මගේ කොපුලකට හාදුවක් දුන් ඇය පැවසුවාය.
“අපි නෙමෙයි. ඔයයි පරෙස්සම් වෙන්න ඕන. දැන් ඔයාව ආරක්ෂා කරන්න මේජර් වංශනාථ නෑ කියලා හොඳට මතක තියාගන්න.”
සුදු නංගී විහිලු කළාය. අම්මාට ‘ඔයා’ යනුවෙන් ආමන්ත්‍රණය නොකරන්නැයි මා කෙතරම් අවවාද කළ ද, සුදු නංගී තවමත් එම පුරුද්ද අත් නොහැරියාය.
“මට කාගෙවත් ආරක්ෂාව ඕන නෑ. මං දන්නවා ආරක්ෂා වෙන්නෙ කොහොමද කියලා. ”
“ඒ වුනාට දැන් එන්න එන්නම ලස්සන වෙනවා. පරෙස්සමෙන් ඉන්න ඕන ඔයා..”
සිනාසුන අම්මා සුදු නංගීගේ කොපුලකට හාදුවක් දුන්නා පමණක් නොව ඇගේ හිසට ටොක්කක් ද ඇන්නාය. අම්මා පිටත්ව ගිය පසු මගේ බෙහෙත් වේල ගැනීමෙන් අනතුරුව මම මගේ කාමරයට ගියෙමි. ඒ වනවිටත් යන්තමින් උදරයේ වේදනාව දැනෙමින් තිබුණෙන් මම යහන මත දිගා වූයෙමි. යන්තමින් නින්ද දෙනෙත් කරා ළං වෙමින් පවතිද්දී යහන මත තිබූ මගේ ජංගම දුරකතනය නාද වන්නට විය. හේෂාන්ගේ මුහුණ ජංගම දුරකතන තිරය මත දිස් වෙද්දී මම නැගිට යහන මත හිඳ ගතිමි.
“ඇයි පරක්කු වුනේ ෆෝන් එක ගන්න?”
හේෂාන් ඇසුවේය.
“පරක්කු වුනේද? මං ඔයාගෙ මූණ දිහා බලාගෙන හිටියා හේෂාන්.”
“තව ටික දවසකින් දවසෙම වුනත් මගේ මූණ බලාගෙන ඉන්න පුලුවන්නෙ. ඒකනෙමෙයි. තව පැයක් ඇතුළත මං එනවා ඔයාව බලන්න. එන්නෙ ඔයාව සතුටු කරන දේකුත් අරගෙනයි ඩිනාලි.”
“සතුටු කරන දෙයක්? හා පැටියෙක්ද?”
මට ඉබේටම ඇසිණ. හේෂාන් හඬ නගා සිනාසුණේය. මා තුළ හාවුන්ට ඇති ආදරය හේෂාන් පමණක් නොව අප පවුලට සම්බන්ධ සියලු දෙනාම දැන සිටියහ. කලකට පෙර මගේ උපන් දිනයකට අම්මා තෑගි කළ හා ජෝඩුව මා පාසල් ගොස් සිටියදී තාත්තා ඔහුගේ මිතුරකුට දී තිබිණ. එදින පාසලේ සිට පැමිණ ආහාර පාන පවා වර්ජනය කරමින් මා හැඬූ ආකාරය තවමත් වරින් වර මට සිහියට නැගෙයි.
“ඩිනාලි…”
හේෂාන්ගේ කටහඬින් මම අතීත මතකයෙන් මිදුනෙමි.
“තව ටික දවසනේ ඩිනාලි. අපි, අපි දෙන්නගෙ ගෙදර හාවො ගොඩක් ඇති කරමු. ඒකනෙමෙයි. වෙඩින් කාඩ්ස් ප්‍රින්ට් කරලා ඉවරයි. මං ඒ ටිකත් අරගෙනම එන්නම් ඔයාව බලන්න.”
“ආනේ…”
මම හුස්මක් ඉහළට ඇද ගතිමි.
“ලස්සනට තියෙනවද? බලන්න ආසයි.”
“තව චූටි වෙලාවක් ඉවසන්න. මං පොඩි වැඩක දැන් ඉන්නෙ. ඉවර කරලා ඉක්මනට එන්නම්. බායි කෙල්ල.”
මා කිසිවක් පවසන්නට පෙර හේෂාන්ගේ දුරකතනය විසන්ධි විය. මා මොන තරම් නම් වාසනාවන්තදැයි මට සිතිණ. තාත්තාගේ ගති පැවතුම් නිසාම පිරිමින් කෙරෙහි ඇති කරගෙන තිබූ සැකය හා බිය මා තුළින් තුරන් වී ගියේ හේෂාන් නිසාය. උසස් පෙළ හදාරද්දී අමතර පන්ති වලට යන ගමන් වලදී මට ලැබුනු ප්‍රේමාරාධනාවන් බොහෝ වුව ද කිසිවෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට මම බිය වූයෙමි. හේෂාන් මට හමු වූයේ අහම්බෙනි. ඔහු මුලින්ම හමු වූ සොඳුරු දිනය මට ජීවිතයේ කිසිම දිනයක අමතක නොවන්නකි.
විෂයයක් වශයෙන් චිත්‍ර ශිල්පය හැදෑරුවේ නැතත් මම චිත්‍ර ශිල්පයට බෙහෙවින් ඇලුම් කළෙමි. චිත්‍ර ඇඳීමේ සහජ දක්ෂතාවයක් ද මා සතු වූ අතර, මගේ හොඳම යෙහෙළිය වූ අරුණෝදිගේ බලවත් ඉල්ලීම මත ඇය සමග, කලා භවනෙහි පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්නට ගිය ගමනකදී මට හේෂාන් හමු විය. එහිදී මා සිත ඇදගත් අපූරු සිතුවමක් දෙස ඇසිපිය නොහෙලා බලා සිටියදී එක්වරම ඇති වූ ක්ලාන්ත ස්වභාවය නිසා මා වැටෙන්නට යද්දී මා අල්ලා ගත්තේ හේෂාන්ය.
“මොකක්ද ඔයාට වුනේ?”
මා සිහි ගැන්වූ පසු මගේ මුහුණට නැඹුරු වී බලා සිටි හේෂාන් ඇසුවේය.
“මන්දා…”
මා පැවසුවේ ලජ්ජාශීලී ලෙසිනි. අරුණෝදිත්, හේෂාන්ගේ වයසෙහි පසුවන තවත් තරුණයෙකුත් මා දෙස බලා සිටින අයුරු මම දුටුවෙමි.
“මන්දා කියලා හරියනවද? මං ඔයාව ඩොක්ට ළඟට එක්ක යන්නම්. නැගිටින්න පුලුවන් නේද?”
“දැන් හොඳයි. ඩොක්ට කෙනෙක් ළඟට යන්න ඕන නෑ.”
“ඩිනාලිට ඉඳහිටලා ඔය විදියට ෆේන්ට් වෙනවා.”
අරුණෝදි මා වෙනුවෙන් පැවසුවාය.
“ඩිනාලි?”
හේෂාන් තමාටම පවසා ගත්තේය.
“හරි. එහෙම නම් අපි ගෙදරට කතා කරලා කියමු. තාත්තගෙ හරි අම්මගෙ හරි ෆෝන් නම්බර් එක දෙන්න. මං කතා කරලා කියන්නම්.”
“ඩිනාලි කේක්ස් කරන්නෙ අපේ ඩිනාලිගෙ අම්මා. ඉන්න. මං නම්බර් එක දෙන්නම්.”
අප අසළින් මෑත්ව ගිය හේෂාන්ගේ මිතුරා උණුසුම් කිරි කෝපි කෝප්ප දෙකක් රැගෙන ඉක්මනින් අප වෙත පැමිණියේය. ඒවනවිට අරුණෝදිගෙන් අම්මාගේ දුරකතන අංකය ලබා ගත් හේෂාන් අම්මා අමතා මගේ අසනීප ස්වභාවය ගැන පවසා මා කැඳවාගෙන යන්නට පැමිණෙන ලෙස ද පවසා තිබිණ. අම්මා පැමිණියේ ඇගේ මෝටර් රථයෙන් නොව ත්‍රිරෝද රථයකිනි.
“ඩිනාලී…”
අම්මා කෑගසාගෙන අප අසළට දිව ආවාය.