බිම්මල් –  17 කොටස 

හේෂාන් අම්මා සමග කුමක් පවසන්නේදැයි නෑසුණ නමුත් අම්මාගේ මුහුණේ ඉරියව් වෙනස් වන ආකාරය දෙස මා බලා සිටියේ කුතුහලය රැඳුන දෑසින් යුතුවය. දුරකතන සංවාදය ආරම්භයේ ඇගේ මුහුණෙහි ශෝකී ස්වභාවයක් වූ නමුත් කෙමෙන් කෙමෙන් ඇගේ මුහුණෙන් පළ වන ප්‍රීතිමත් ස්වභාවය අනෙක් පසින් පවසන කිසියම් සතුට දනවන පුවතක් නිසා ඇති වූ එකක් විය යුතුය. මා පමණක් නොව සුදු නංගී ද, වජිරා ද කුතුහලයෙන් යුතුව අම්මා දෙස බලා සිටින අයුරු මම දුටුවෙමි.

“අනේ… එහෙම නම් කොච්චර දෙයක්ද පුතා?”

බොහෝ වේලාවක් හූමිටි තබමින් අසා සිටි අම්මා පැවසුවේ ප්‍රීතියෙන් විකසිත වූ මුහුණින් යුතුවය.

“ෂුවර් ඩිනාලි කැමති වේවි ඒකට නම්. තාම හරියට වචනයක් දෙන්නෙ නැතිවනෙ ඉන්නෙ.”

අනතුරුව ඇය පැවසුවාය. සුදු නංගී සෙමෙන් මා කෙනිත්තුවේ අම්මා දෙස බලා ඇසකින් ඉඟි කරමිනි.

“මම ඩිනාලිත් එක්ක කතා කරලා පුතාට කියන්නම්. මම හිතන්නෙ වැඩි දවසක් යන්නෙ නැතිවම ගියානම් හොඳයි කියලා. ඩිනාලි කැමති නම් හෙට වුනත් කමක් නෑ. මොනවටද කල් දාන්නෙ? නේද?”

මේසය මත වැටී තිබූ වතුර බිඳක් වෙත සිය දබරැඟිල්ල ගෙන ගිය අම්මා ඉන් කුරුටු රූපයක් අඳින අයුරු මම බලා සිටියෙමි. සුදු නංගී ද එදෙස බලා සිටියාය.

“හරි පුතා. මං දැන්මම කතා කරන්නම්. පුතා පස්සෙ ඩිනාලි එක්ක කතා කරන්නකො.”

අම්මා දුරකතනය විසන්ධි කළේ මුවග රැඳ සිනාවෙන් යුතුවය.

“හේෂාන් ආරංචියක් කිව්වා පුතේ…”

අම්මා පැවසුවේ සිනා පිරි මුවින් යුතුවය. සුදු නංගී අම්මාට බාධා කළාය.

“ඊට කලින් මට සකුන්තලා ඉද්දමල්ගොඩ මහත්මියට ශාස්ත්‍රයක් කියන්න තියෙනවා.”

“අම්මට කතා කරන්න දෙන්නකො සුදු.”

මා ඉල්ලා සිටියේ හේෂාන් අම්මා සමග පැවසු විස්තරය දැන ගැනීමේ උවමනාවෙනි.

“පොඩ්ඩක් ඉන්න. ඔයා හේෂාන් එක්ක කතා කරන ගමන් ඇන්ද ඩූඩල් එක දිහා මං බලාගෙන හිටියෙ. ඒකට අනුව ඔයාගෙ හිත දැන් සතුටින් පිරිලා තියෙන්නෙ. සුබ ආරංචියක් අහන්න ලැබිලා බලාපොරොත්තු සහගතව ඉන්නෙ. තව….”

“හරි. හරි. සුබ ආරංචියක් තමයි මං මේ කියන්න යන්නෙ. දැන් අපි කතා කරලා තීරණයක් ගන්න ඕන වෙලාව.”

“කියන්නකො අම්මා. හේෂාන් මොකක්ද කිව්වෙ?”

“ඔයාට මතකද හේෂාන් අපි එන ගමන කිව්වා කැන්සර් හොස්පිටල් එකක් ගැන? එයා ඒ ගැන හොයලා බැලුවා කියලා කිව්වා. ඒක කරගෙන යන්නෙ ඉන්දියන් ඩොක්ට කෙනෙක්ලු. සීමිත පිරිසක්  විතරලු එතනට ගන්නෙ. හේෂාන් එතනට කතා කරලා බැලුවා කිව්වා. එක පේෂන්ට් කෙනෙකුට ඉඩ තියෙනවා කියලා කිව්වලු. ඩිනාලිගෙ වාසනාව…”

අම්මා පැවසුවේ සතුටු මුහුණින් යුතුවය.

“මං වාසනාවන්ත නම් අම්මා මට මේ වගේ දෙයක් වෙයිද?” යි මට ඉබේටම ඇසිණ.

“එහෙම කියන්න එපා. අපි අවාසනාව කියලා හිතන සමහර දේවල් ඇතුළෙ තියෙන්නෙ වාසනාව වෙන්න පුලුවන්.”

“ඔය කියන්නෙ අත්දැකීම් වලින්.”

සුදු නංගී සරදම් කළාය.

“මට බයයි අම්මා. කමක් නෑ. මම මහරගම කැන්සර් හොස්පිටල් යන්නම්.”

“ඔයා හේෂාන්ව විශ්වාස කරන්න ඩිනාලි. අපි හෙටම ගිහින් එතන බලලා ඉඳිමු. ඊටපස්සෙ ඔයාට කැමති දෙයක් කරන්න නිදහස තියෙනවා.”

“බලමු එහෙනම්.”

මා පැවසුවේ දෙගිඩියාවෙනි.

“එහෙමනම් අපි යන්න ඕන දේවල් ලෑස්ති කර ගනිමු. සුදූ… අක්කට ඕන දේවල් ලෑස්ති කරලා දෙන්න. ඩිනාලිට වෙනම රූම් එකක් ලැබෙන නිසා නිදහස්ව සතුටින් ඉන්න පුලුවන්.”

“හේෂාන් එහෙම කිව්වද?”

“ඔව්. හරිම ලස්සන නිදහස් පරිසරේක තියෙන හොස්පිටල් එකක්ලු. ඩිනාලිට ගැලපෙනම තැන එතන කියලා හේෂාන් කිව්වා. එයාව විශ්වාස කරන්න.”

අම්මා මේසයෙන් නැගී සිටියාය.

“මම එළියට යනවා. ඉක්මනට ගිහින් එන්නම්. වජිරා… මට ඇඳුමක් ලෑස්ති කරන්න.”

“අම්මා කොහෙද යන්නෙ?”

“ඩිනාලිට ඇඳුම් ටිකකුත් අරන් කේක් ෂොප් එක පැත්තෙත් ගිහින් ඉක්මනට එන්නම්.”

අම්මා ගෙතුළට ගියේ බැහැර යාම සඳහා සූදානම් වීමට විය යුතු යයි මට සිතිණ.

“මැඩම් කිව්වා වගේ බබා හරි ලකි.”

ඒවනවිට කිසිදු අපහසුවක් නොවුවද, වජිරා මට නැගිටින්නට සහය වූවාය.

“දැන් කාමරේට ගිහින් ටිකක් රෙස්ට් කරන්න බබා. මහන්සි ඇතිනෙ.”

“ඔව්. ඔව්. මහන්සි ඇති තමයි. හේෂාන්ගෙ කා එක තල්ලු කරගෙනනෙ මෙයා ආවෙ.”

වජිරාට සරදම් කළ සුදු නංගී පැන දිවුවේ වජිරා සිනා ගන්වමිනි.

“අනේ ඇත්තට බබා… සුදු බබාගෙ කට නිසා හැමදේම අමතක වෙනවා. හිත සැහැල්ලුවෙන් ඉන්න හැටි හරි පුදුමයි.”

මා අල්ලාගෙන පියගැට පෙළ නගින වජිරා පැවසුවාය.

“ඒ වුනාට මට බයක් හිතෙනවා සුදු බබා ගැන. මං අහලා තියෙනවා. වැඩියෙන් හිනාවෙන අය හදවතින් අඬනවා කියලා. කවුද දන්නෙ අපිව හිනැස්සුවට සුදු බබා හිතින් අඬනවද කියලා.”

“සුදුට අඬන්න හේතුවක් නෑ වජිරා.”

“ඔව්. හේතුවක් නම් නෑ තමයි.”

වජිරා මා මගේ කාමරය කරා කැඳවාගෙන ගොස් යහන මත හාන්සි කළාය. අසීමිත වෙහෙසක් දැනෙමින් තිබුනේ මගේ ගතට නොව සිතටය. ඇතැම් විට මගේ කාමරය තුළ ගත කරන අවසන් දිනය අද විය හැකි යයි මගේ යටි සිත කොඳුරා පවසන්නාක් මෙන් විය. හේෂාන් පැවසූ පුද්ගලික රෝහල කුමන ආකාරයේ රෝහලක් විය හැකිද? එය අසරණ රෝගීන්ගේ මුදල් ගසා ගැනීමේ ව්‍යාපාරයක්ද? නොඑසේනම් සැබෑ අරමුණක් ඇතිව පවත්වාගෙන යන්නක්ද? කෙසේ වුවද මා බලාපොරොත්තු සහගතව ජීවත් විය යුතු යයි මම දැඩි ලෙසින් අදිටන් කර ගතිමි. පිළිකාව ශරීරය ආක්‍රමණය කළ ද, එයට සිත ආක්‍රමණය කිරීමට ඉඩ දිය යුතු නැතැයි මම කල්පනා කළෙමි. මා ජීවත් විය යුත්තේ මා වෙනුවෙන් නොවේ. අම්මා වෙනුවෙනි. හේෂාන් වෙනුවෙනි. සුදු නංගී වෙනුවෙනි. මේවනතුරුත් මා අත නොහැර සිටින හේෂාන් තුළ මා කෙරහි ඇත්තේ සැබෑ ආදරයක් බව මම දැන සිටියෙමි. සිය මවටද රහසින් ඔහු මා වෛද්‍යවරයා වෙත කැඳවාගෙන ගියේද, මට ප්‍රතිකාර ලබා දීම සඳහා පහසුකම් සහිත රෝහලක් පිළිබඳව සොයා බලන්නේද මා කෙරෙහි ඇති අසීමිත ආදරය නිසා බව මම දැන සිටියෙමි. මගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබෙන සංඥාව ඇසුණෙන් මම එය අතට ගෙන බැලුවෙමි.

“ඩිනාලි. දැන් ඉතින් සතුටින් ඉන්න පුලුවන්. දැන් මම ටිකක් බිසි. හවස අනිවාර්යයෙන්ම එනවා ඔයාව බලන්න.”

මම එම කෙටි පණිවුඩය එක් වරක් නොව කිහිප වතාවක්ම කියවා බැලුවෙමි. එය මගේ විඩාපත් හදවත හරහා හමා යන සිහිලැල් පවන් රැල්ලක් නොවේද?

මා යහන මතින් නැගී සිටියේ ප්‍රබෝධමත් සිතින් යුතුවය. හෙට දින රෝහලට රැගෙන යාම සඳහා ඇඳුම් සුදානම් කළ යුතු බව සිතුණද, මා රැගෙන යායුත්තේ කවර ආකාරයේ ඇඳුම් ද යන්න අම්මාගෙන් විමසා දැන ගත යුතුය. දිනපතා වැදගත් සිදුවීම් දිනපොතේ ලිවීම මා පුරුද්දක් කර ගත්තේ පාසල් වියේදී වූ අතර, එය අප සිංහල ගුරුතුමියගේ ගුරුහරුකම් මත සිදු වූවකි. සිංහල ගුරුතුමියගේ පියකරු මුහුණ කිසිදිනෙක මගේ මතකයට අමතක නොවේ. ලප කැළලින් තොර පියකරු මුහුණේ දකුණැසට ඉහළින් පිහිටා තිබූ උපන් ලපය ඇගේ මුහුණට ආබරණයක් මෙන් විය.

“දින පොතක් පාවිච්චි කිරීම හොඳ දෙයක්. එදිනෙදා සිද්ද වෙන දේවල් දින පොතේ ලියන්න පුරුදු වෙන්න. ඊළඟ අවුරුද්දෙ ඒ දිනපොත කියවද්දි අපි කරපු මෝඩකම්, වැරදි හදාගෙන අපට ජීවිතේ ගෙනියන්න පුළුවන්.”

ඇයගේ ඔවදන් අනුව දිනපොත් ලිවීම ආරම්භ කළත්, කලක් ගත වෙද්දී ඇතැම් සිසුවියක අතින් එම පුරුද්ද ගිලිහී ගියද, මම එය අකුරටම පිළිපැද්දෙමි. වසර ගණනාවක් තුළ මා විසින් ලියන ලද දිනපොත් සියල්ලම සුරක්ෂිතව මගේ ලියන මේසයේ ලාච්චුවක තැන්පත් කර තිබිණ. රෝහලට යද්දී ඒවා ද රැගෙන යායුතුයයි මට සිතිණ. මම මේසය අසළ හිඳගෙන ලාච්චුව විවර කළෙමි. ලාච්චුව තුළ අපිළිවෙල ලෙසින් දමා තිබූ මගේත්, හේෂාන්ගේත් මංගල කාඩ්පත් හා කවර සියල්ල මා නෙත ගැටුනේ එවේලෙහිය. මංගල කාඩ්පත් ලියා ඒවා තැපෑලට දැමූ බව අම්මා පවසන්නට ඇත්තේ මා සැනසීමට නොවේද? මම මංගල කාඩ්පතක් දිග හැරියෙමි. කිසිවෙක් විසින් තදින් කොනිත්තා ගෙන සිටින විට දැනෙන වේදනාව මගේ හදවතට දැනිණ.

දින ගණනාවක් දිනපොත ලිවීමට නොහැකි වූ බවත් මට දැනෙන මේ සංවේදනාව දිනපොතෙහි ලිවිය යුතු බවත් මට සිතිණ. මා නියමිත පිටුව හරවාගත්තේ වේදනාත්මක සිතිනි.

“ජීවිතය පුදුමයි.”

මම රවුම් අකුරින් ලියන්නට උත්සාහ කළෙමි. එහෙත් ඇඟිලි තුඩු වෙව්ලන්නාක් මෙන් දැනුනෙන් වෙනදා මෙන් මුතු ඇට අකුරු ලියන්නට මට අපහසු විය.

“මගේත් හේෂාන්ගේත් වෙඩින් කාඩ්ස් ලාච්චුව ඇතුළෙ තනි වෙලා බලාගෙන ඉන්නවා. අපි දෙන්නා කොච්චර ආසාවෙන් මේ කාඩ් එක ඩිසයින් කරන්න ඇද්ද? හැමදේම වෙනස් වෙන්න ගත්තෙ කොච්චර පුංචි කාලයක් තුළද? මම පව්. මම විතරක් නෙමෙයි හේෂානුත් පව්.”

මම ලිව්වෙමි.

“අපේ වෙඩින් එක වෙනුවෙන් ගත කරන්න ඕන කාලය හෙට දවසෙ ඉඳලා හොස්පිටල් එකේ ගෙවන්න සිද්ද වෙලා තියෙනවා. හෙට දවස සැලොන් යන්න සූදානම් වෙලා හිටිය දවස… මට නොකිව්වට අම්මා ඇපොයින්මන්ට් එක කැන්සල් කරාවි. මගේ හිතට නැගෙන වේදනාවත් ඒ විදියට කැන්සල් කරන්න පුලුවන්නම්…”

සිතට නැගෙන සිතිවිලි ලියාගෙන යද්දී මගේ දෙනෙත් වලට කඳුලු නැගුනේ ආත්මානුකම්පාව නිසාය. 

“හෙට මම හොස්පිටල් එකට යන්නෙ ජීවිතය ඉල්ලාගෙන. ඒත් ඒ යන ගමනේ අවසානය කුමක් විය හැකිද? ඇතැම් විට ජීවිතය… නැත්නම් මරණය… මේ අන්ත දෙකෙන් එකක මට නතර වීමට සිදුවනු ඇත. මා මියගියහොත් මේ දිනපොත අම්මා හෝ සුදු නංගී හෝ හේෂාන් හෝ කියවන බව මට සහතිකයි. ඔබ තිදෙනාගෙන් කවරෙක් මෙය කියෙව්වත් මට කියන්න තියෙන්නේ… මං ඔබට ආදරෙයි කියායි. ඒ ආදරය කිසිලෙසකින් වත් මරණයෙන් නිමා වන්නේ නැති ආදරයක්. මගේ සොහොන මත කහ රෝස පැලයක් හිටවන්න හේෂාන්… ඒ රෝස පැලේ මල් පිපෙද්දි මගේ ආදරය ඔබට දැනේවි. රෝස මල් සුවඳත් එක්ක මගේ ආදරයේ සුවඳ ඔබට දැනේවි.”

දෑසින් කඳුළු කැට කඩා වැටෙද්දී මම දිනපොතේ එසේ සටහන් කළෙමි. කාමරයට පිවිසි වජිරා මගේ දෑසෙහි කඳුලු දකින්නට ඇත. ඇය මා අසළින් සිටගෙන මගේ හිස පිරිමැද්දේ දිනපොත දෙසට හෙලා ගත් දෙනෙතින් යුතුවය. මම දිනපොත වසා තැබුවෙමි.

“ඇයි අඬන්නෙ බබා?”

වජිරා ඇසුවාය.

“නෑ. මුකුත් නෑ.”

විවෘත කර තිබූ ලාච්චුවේ වූ මංගල කාඩ්පත් වජිරා දකින්නට ඇත. ඇය සෙමෙන් ලාච්චුව වසා දැමුවාය.

“සනිප වෙලා ආවම අපි මීට වඩා ලස්සන කාඩ් ගහමු බබා. මීට වඩා ලොකු වෙඩින් එකක් අපි ගන්න ඕන.”

“ඔව්. එහෙම කරමු.”

වජිරා සැනසීමේ සිතින් යුතුව මම පැවසුවෙමි. සිනාසෙන්නට තැත් කළ ද වජිරාගේ දෙනෙත් වල ද කඳුළු පිරී දිලිසිණ.

“අම්මා ගියාද වජිරා?”

පුටුව පසෙකට කර නැගී සිටි මම ඇසුවෙමි.

“ගියා. මැඩම් විතරක් නෙමෙයි. සුදු බබත් ගියා. ඇඳුම් අරන් එන්නත් එක්ක. මට කියලා ගියේ බබාගෙ බෑග් එක ලෑස්ති කරන්න කියලා. මං අල්මාරියෙන් ඇඳුම් ගන්නම්.”

වජිරා මගේ අල්මාරිය හැරියාය. ඇය අල්මාරියේ එක් තට්ටුවක වූ ඇඳුම් සියල්ල ඇඳ මත තැබුවේ තෝරා ගැනීමේ පහසුව සඳහාය. එහි ඉහළින්ම වූ සුදු පැහැති රාත්‍රී ඇඳුම් කට්ටලය මංගල දිනයේ රාත්‍රියට හැඳීම සඳහා අම්මා විසින් විශේෂයෙන් මස්සවන ලද්දක් විය. මගේ මුවින් දිගු සුසුමක් පිට වූයේ මට ද රහසිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles