අසීරු දුෂ්කර කාල ජීවිත කරා උදා විය හැකි බව අයානා දැන සිටියා ය. දරුණු කුණාටු ජීවිත මැද්දෙන් හමා යා හැක. වියළි කටුක ගිම්හාන වුව එළඹෙන්නට නියමිත වනු ඇත. නමුත් ඒ සියල්ලට පස්සේ හෝ වසන්තය පැමිණෙන්නේ ය.
අයානා ජයසුන්දර කාලයක් තිස්සේ ජීවිතය ගැන සිතුවේ එසේ ය. ඇගේ ජීවිතය හරහා හමා ගිය සුළි කුණාටුවෙන් පසු යළි යථා තත්වයට පත් වනු වස් ඇය ලොකු සටනක් ජීවිතයත් එක්ක කළා ය. ඒ මල් සුවඳ හමනා වසන්තයක් වෙනුවෙනි. හොඳ ම දේවල් පමා වී හමු විය හැකි යයි කතාවක් ඇති නිසා ඇය පමා වූ වසන්තයක් වෙනුවෙන් ඉවසීමෙන් බලා සිටියා ය. නමුත් මල් පිපෙන්නට ගත් ගමන් දැන් ගිනිගහන සූර්ය තාපයක් ළඟා වී තිබේ.
“ඒකත් එහෙමද…ඒ කියන්නෙ විදුර ඔයාව මැරි කරන්න අහල තියෙන්නෙ ඇත්තටම ලව් එකක් ඇති වෙලා”
දුරාශා අයානා ගේ තඩිස්සි වූ දෑස් දෙස බලමින් කීවා ය. ඊයේ රාත්‍රිය පුරා අයානා ට නින්ද ගියේ නැත. කෙතරම් නිදන්නට උත්සාහ කළත් නින්ද ඇස් අසලකට පැමිණෙන්නේ නැති වීම කෙතරම් පාපයක් දැයි දන්නේ ඒ අත්දැකීමට මුහුණ දුන් මිනිසුන් ය.
“එයා කරපු පව් එයාට ගෙවන්න වෙයි. අනිත් එක මං එයාව බඳින්න ගියෙත් ආදරයක් වගේ හැඟීමක් නිසා නෙවෙයි කියල ඔයා දන්නවනෙ..”
“හොඳ වැඩේ කොට්ටෝරුවට…කොට කොට ගිහිං අන්තිමට හොට පටලෝ ගත්තෙ මරු තැනක”
“මං කියන්නෑ හොඳ වැඩේ කියල…එයාටත් හොඳක් වෙන්නයි ඕනෙ. ඒ වගේම මංජරීටත්. මොන හේතුවක් නිසා හරි ඒ දෙන්න එක පාරක් තෝර ගත්තනෙ…තේරුං අරං ඒ පාරෙ යනවනං මොන තරං හොඳද…මට දුක දුල්නෙත් ගැන. මේ දේවල් දරා ගන්න බැරි වුණ වෙලාවක එයා මාව අත්ඇරල යයි. එහෙම ගියත් මං එයා එක්ක තරහ වෙන්නෙ නෑ දුශ්”
“දුල්නෙත් නරක ළමයෙක් නෙවේ. අපි බලමු”
“ඒ වුණාට හැම තිස්සෙම මගෙ හිත කියනව…දුල්නෙත්ලගෙ ගෙදරට මං ගැන නරක ආරංචියක් යයි කියල”
“ඔයා වරදක් කරල නෑනෙ අයා ඉතිං…”
දුරාශා මිතුරිය ගේ අතක් අල්ලා ගත්තා ය. අවංක ශෝකයක් ඇගේ සිත් හි ඇති වූයේ ය. දරුණු සුළි සුළං සමයේ දීත් අයානා ගේ අත අත් නො හැර අල්ලා ගෙන සිටියේ දුරාශා හා පවුලේ තුන් දෙනා ය. මේ වෙලාවේත් ඇය අත් හැර යන්නට කිසි සේත් ඔවුන් සූදානම් නැත.
“වරදක් කරන්න ඕනමද මිනිස්සු වැරදි කියන්න…එහෙම දේවල් මේ ලෝකෙ වෙන්නැද්ද දුශ්…දැන් මාත් එක්ක තියන තරහට මංජරීට බැරිද මං බැඳපු ගෑනියෙක් කියල දුල්නෙත්ගෙ ගෙදරට බොරු කියන්න…දුල්නෙත්ව මගෙන් ඈත් කරන්න ඕන කමට විදුරට බැරිද එහෙම කරන්න…”
“පුළුවන්. ඒත් සොබා දහම කියල දෙයක් තියනවනෙ. ඒක තමයි පළවෙනි දහම. සොබා දහමට පිටින් යන්න කාටවත් බෑ”
“සොබා දහම ප්‍රශ්න විසඳන කාලෙ වෙනකොට මට මං වැඩියෙන් ම ආදරේ කරපු..මට වැඩියෙන් ම වටිනව කියල දැනුණ දේවල් නැති වෙලා ගිහින් තියෙයි”
අයානා එහෙම කීවේ සිනහ වී ගෙන ය. නමුත් ඒ සිනහව ඉකි ගසා හැඬීමක් විය. විලාප නගා හැඬීමක් විය. එවන් වේදනාවක් සඟවා ගෙන සිනහ වීම මරණීය ය.
“ආදරේ හරි පුදුම දෙයක් අයා. දැන් මේ ඔයාගෙ ඇස් වල දිළිසෙන්නෙ ආදරේ. ආදරේ නැති වෙලා යයි කියන බය. මාත් ආදරේ කරපු ගෑනියෙක්. ඒත් මේ වෙනකොට ආදරේ ගැන කිසිම විශ්වාසයක් නැතුව ඉන්න ගෑනියෙක්. ඒ විශ්වාසෙ නැති වෙලා ගියේ ආදරේ වරදක් නිසා නෙවෙයි කියලත් මං දන්නව. අපි ආදරේ කරපු මිනිස්සුන්ගෙ වැරදි නිසා අන්තිමට හිතක් ඒ තත්වෙට පත් වෙන්න පුළුවන්. මට ඕනෙ ඔයාට එහෙම නොවෙන්න. මොකද දැං මං අවිශ්වාස කළාට…මං දන්නව ආදරේ කියල දෙයක් තියනව කියල”
අයානා ගේ හිත ඇතුළේ හිර වී තිබි කඳුළක් ගිලිහී ගියේ ය.
“ඒක නිසා අපි ෆයිට් කරමු අයා. ඔයා වෙනුවෙන් මට තියන උපරිම ශක්තියෙන් සටන් කරන්න මං ලෑස්තියි. එක පාරටම දුර්වල වෙලා පැරදුම බාර අරගෙන දුල්නෙත් ට ඔයාගෙ ජීවිතෙන් යන්න කියන්න එපා. පුළුවන් තරං හයියෙන් එයාව අල්ලගෙන ඉන්න. එහෙම අල්ලගෙන ඉන්න ගමන් අපි ෆයිට් කරමු. ම්…”
අයානා පෙර සේ ම සිනහ වූවා ය. නමුත් මුලින් නො තිබි ශක්තියක් ඒ වෙලාවේ ඇගේ ඇස් වල විය.
මංජරී සිටියේ අතිශය ශෝක ප්‍රාප්ත ව ය. ඇයට මේ කිසිත් සිතා ගත නො හැකි ය. ඇය පෙම් කළ මිනිසා අයානා කෙරේ බැඳීමත්, අයානා ට පෙම් කළ මිනිසෙකුට යළිත් ඇය බැඳීමත් කියන කාරණා දෙක ම දෛවයේ අමුතු සරදම් වාගේ ය. තමන් ට වඩා අයානා කෙරේ වන සුවිශේෂතා මොනවා දැයි ඇය සසඳමින් සිතුවා ය. නමුත් ඇයට කිසිවක් නිශ්චිත ලෙස දැකිය හැකි වූයේ නැත. ආත්ම අනුකම්පාවක් ද දුකක් ද භීතියක් ද කෝපයක් ද එකට මුසු වී මංජරී ව්‍යාකූල කරමින් තිබිණ.
ඇය දුල්නෙත් සොයා ගෙන විශ්ව විද්‍යාලය පීරා ගියා ය. අන්තිමට කැන්ටිමක ඔහු සුමීර සමග තේ බොමින් සිටියදී ඇයට හමු විය. අසීරුවෙන් දෙපා අද්දා ගෙන ඇය ඔවුන් වෙත ගියා ය.
“මට දුල්නෙත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ”
මංජරී එසේ කියමින් බැලුවේ සුමීර දෙස ය. ඔහු සමච්චල් සිනහවක් නගා ගත්තා ය.
“තමුසෙ මගෙ දිහා බලන්නෙ මට මෙතනිං යන්න කියන්නද…”
“ඔව්”
“කියන්න තියන දෙයක් ඔන්න ඔතන ඉඳගෙන කියනව හලෝ. තනියම කතා කරන්න තමුසෙල ලව් කරන්නෙ නෑනෙ. මොන මගුලක් තනියම කතා කරන්නද…”
“අනේ ප්ලීස් දුල්නෙත්”
ඒ ස්වරය හැඬුම්බර ය. දුල්නෙත් ඇදෙස ට එක බැල්මක් හෙළුවේ ය. ඔහු ගේ නළල රැලි නැංවී තිබිණ. ඇස් වල බොර පාටක් විය. රැවුල් කොට වැවුණ මුහුණෙහි වූයේ සෝබර පෙනුමකි.
“උඹ පොඩ්ඩක් පලයංකො සුමිය”
ඔහු එසේ කියා සුසුමක් අත්හැරියේ ය. කෝප්පයේ ඉතිරි වී තිබි තේ ටික උගුරට හලා ගත් සුමීර තව වචනයක් හෝ නො කියා එතැනින් නික්ම ගියේ ය.
“අනේ දුල්නෙත්…අපිට මේ මොකද්ද වුණේ…”
මංජරී කතාව ඇරඹූයේ හැඬුම් සරකින් එසේ ය. දුල්නෙත් සමච්චල් සිනහවකින් ඉවත බලා නැවත ද ඇදෙස බැලුවේ ය.
“අපිට කිව්වෙ…ඔයාටයි විදුරටයිද…”
“ඔයාටයි මටයි දෙයියනේ…අපි දෙන්නම රැවටුණා”
“ඔයාට මොකක් හරි වැරදීමක් වෙලා. මන්නං රැවටිලා නෑ. ඔයාට එහෙම වෙලාද කියන්න මං දන්නෑ”
මංජරී ගේ කඳුළ කඩා ගෙන වැටුණේ ඉනික්බිති ය. ඒ කඳුළු වල කිසිදු වටිනාකමක් නොමැති බව ඔහු දනී. ඒ නිසා දුල්නෙත් ගේ පිරිමි හිතේ කිසිදු සසල බවක් ඇති කරන්නට ඒ කඳුළු සමත් වූයේ නැත.
“හරි හරි ඔයාට කියන්න තියන දෙයක් ඉක්මනට කියන්න. මට තව ටිකකින් ලෙක්චර් එකක් තියනව”
කියමින් දුල්නෙත් ජංගම දුරකතනයෙන් වෙලාව බැලුවේ ය.
“අයානා කියන්නෙ මායාකාරියක් දුල්නෙත්. එයා පිරිමි වශී කර ගන්නව කියල ඔයාට වුණත් දැන් තේරෙනව ඇතිනෙ”
“අයානා ගැන වචනයක්වත් කතා කරන්න එපා”
එය තර්ජනයක් ආකාරයේ ය. දුල්නෙත් ගේ ඇස් මංජරී ව පුළුස්සා දමන්නට තරම් ගිනියම් විය. මංජරී මොහොතකට බිම බැලුවා ය. අතේ වූ කුඩා ලේන්සුවෙන් මුහුණ පිස දමා නැවත ද දුල්නෙත් දෙස බැලුවා ය.
“ඒ දෙන්න ආයෙ එකතු වෙයි. අපිට බැරිද දුල්නෙත් සිද්ද වෙච්ච දේවල් අමතක කරල ආයෙත් කලින් වගේ…”
ඇයට එය කියා හමාර කරනා ඉඩක් ලැබුණේ නැත. ශබ්ද නැගෙන සේ පුටුව පස්සට තල්ලු කර ගෙන දුල්නෙත් නැගී සිටියේ ය.
“හීන දකින්න එපා බොරුවට. හැබෑ වෙන්නැති හීන දකින්නෙපා”
මංජරී කැන්ටිමෙහි සිටියදී ම දුල්නෙත් ඉන් නික්ම ගියේ ය.
හැම හුස්මක ම වූයේ වියවුල් සහගත බවකි. නිර්වාණය ශෝක සුසුමක ගිලී ගියා සේ පෙනිණ. අයානා ඒ අඳුරෙන් ගොඩ එන්නට උත්සාහ කළා ය. දින දෙකකින් දිය බඳුනට මල් දමා තිබුණේ නැත. දුරාශා පරණ මල් ඉවත් කොට තිබිණි ද අලුත් මල් දමා සැරසිලි කරන්නට නම් නිරවුල් හා නැවුම් බවක් නොතිබි අයානා ගේ සිත ඇය අසීරුවෙන් වාරු කොට ගත්තා ය. කහ අරලියා අත්තක එල්ලී මල් කිහිපයක් කඩා ගෙන, හිමිදිරිය නොවී ද මල් බඳුනෙහි ලෑවා ය. සීනියාස් මල් පෙති දෙපෙති ඇහැ අරිමින් තිබිණ. ඒවායේ වන්නේ විශ්වයෙහි පවතිනවාය කියා සිතිය නො හැකි තරම් දීප්තිමත් වර්ණ ය. අයානා මඳ වෙලාවක් ඒ මල් කැකුළු වලට පහත් වී එබී ගෙන සිටියා ය.
සෝරත මාවත ඔස්සේ පැමිණි දුල්නෙත් නිර්වාණ ද්වාරයට ගොඩ වෙන්නට හදත්දී ම අයානා ව දුටුවේ ය. මලකට එබී මඳහස් වතකින් සිටි ඇය, ඔහු ඇයව දුටු පහුගිය කාලයේ වාගේ ම ය. ඔහු ගේට්ටු කණුවට පිට දී ගෙන අත් දෙක පපුවේ බැඳ ගත්තේ ය. දිවියේ සියල් දෝමනස්සයන් අමතක කරන්නට ඇය මෙහෙම සිටියදී පුළුවන.
“හානේ…මෙයා ඇවිත් හොරා වගේ ඉන්නව”
එක මොහොතක දුල්නෙත් ව දුටු අයානා සිනහ මලකින් විකසිත වී ගෙන ඔහු වෙත හැරුණා ය. දුල්නෙත් ඇස් පිය නො සලා බලා සිටියේ ය.
“මොකද ඔහොම බලන්නෙ..”
ඇය හුරතල් නෝක්කාඩුවකින් විමසුවා ය. දුල්නෙත් ගේ ඇස් නො වෙනස් ව ඇය මත පායා තිබිණ.
“ගිලිනවද නැද්ද කියල හිතුවෙ”
අයානා හඬ නගා සිනහ වූවා ය. මල් යායක් පිබිදෙනා මිහිර ඔහු ට දැනිණ.
“අනේ ගිලින්නකො ඉතිං…මං ආසයි ඔයා ඇතුළට වෙලා ගුලි වෙලා ඉන්න”
“ඔන්න ඔහොම හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්න මොන දේ වුණත්. ඒක තමයි ඔයාගෙ විදිහ. ඔයාට ගැලපෙන විදිහ. ඔයා යුනික් වෙන්නෙ එහෙම ඉන්නකොට”
අයානා ලැජ්ජාශීලී මඳහසකින් බිම බැලුවා ය. යළිදු හිස නගා දුල්නෙත් දෙස බැලුවා ය. ඒ වෙත්දී ත් ඔහු ඇදෙස බලා ගෙන ම සිටියේ ය.
“මං හිතා ගත්ත ප්‍රශ්න ගැන හිතන්නෑ කියල. වෙන දෙයක් වුණාවෙ…මගෙ පැත්තකින් අම්මයි තාත්තයි අයියයි දුරාශායි ඉන්නව. අනිත් පැත්තෙන් ඔයා ඉන්නව. මං වරදක් කරල නෑ. ඒක නිසා මං විශ්වාසෙං ඉන්නව. අපිට වැරැද්දක් වෙන එකක් නෑ දුල්නෙත්”
“ඔයා මට ඔයාගෙ ජීවිතේ එක පැත්තක්ම දීල. ඒක ලොකු වගකීමක්. මං දුර්වල වුණොත් ඔයාගෙ ජීවිතේ පැත්තක් ම කඩං වැටෙනව. ඒක වෙන්න දෙන්නෑ මං…”
අයානා ඇස් වලින් සිනහ වූවා ය. කාලෙකට ඉස්සර ඇය ඔහුව හොඳින් දන්නේ නැති කාලේ වාගේ ම ඒ සිනහ වෙන ටීක් බෝල ඇස් දෙක දුල්නෙත් ගේ හදවත මත ඉපැරණි මතක ඇහැරවන්නට සමත් විය.
“ආව් ආව්…”
වීදුරු දොර හැර ගෙන දුරාශා ඔච්චම් කළා ය. අයානා දුල්නෙත් දෙස බලමින් “ඇතුළට යං” කීවා ය. දුල්නෙත් ගේ අතැඟිල්ලක ස්පර්ශයක් යන්තම් අයානා ගේ ඇඟිල්ලකට දැනිණ. ඇගේ හදවත ඇතුළේ හිම කන්දක සිසිලස මැවිණ.