කුඩා එල් හැඩැති බරාඳයෙහි දුල්නෙත් ඔබ මොබ සක්මන් කරමින් සිටියේ ය. ඒ තරම් විශාල නොවූ කුඩා නිවසක් වී ද එය සැනසුමෙන් පිරි ගෙදරකි. ඔවුන් ළමා වියෙහි පටන් ම ඒ සැනසීම හා ශාන්තිදායක බව එහි වූයේ ය. ගෙදරක ගෘහණිය අනලස් හා උද්‍යෝගීමත් වූ විට ගෙදරක් සැනසිලි සුව දෙන තැනක් කර ගැනීම අපහසු නැත. අම්මා ගේ ඉතා තරුණ විය වූ දුල්නෙත් ගේ ළමා වියෙහි පටන් ම එක්සත් මාවතේ පර්චස් පහළොවක ඉදි වූ ඒ නිවහන දිව්‍ය ලෝකයෙහි කුඩා කොටසක් සරි වූයේ ය. බරාඳයෙහි මිදුලට ආසන්න කෙළවරේ සිවිලිමෙහි සවි කරන ලද කොකු වල එල්ලූ මල් වැල් සහිත මල් බඳුන් ය. කාලෙන් කාලෙට විවිධ වර්ණ වල ඩුබායි රෝස හා ජපන් රෝස මල් වලින් ඒවා පිරී යයි. ප්‍රියන්ති මහරගම පොලට ගිය දා ක ෆිටෝනියා කුලයේ ඇදහිය නො හැකි වර්ණ වලින් සමන්විත මල් පැළයක් ගෙනවිත් ඒ බඳුනක සිටුවා එල්ලා තබයි. සමහර මල් වර්ග කෙටි කාලීන ඒවා වී ද මල් වැවීමේ ආශාව කිසි දාක ඇගේ සිතේ සිඳී යන්නේ නැත.
ප්‍රියන්ති ගේ ලෝකය ඉතා පටු ය. බොහෝ දුරට එය සිය පවුලට සීමා වේ. දුල්නෙත් හා ඔහු ගේ වැඩිමහල් සොයුරිය දුලනිකා ඇගේ දෑස සරි ය. එක දෑසක් හදිසියේ අහිමි වූවා සේ, දියණිය දීග දුන් දිනයේ ඇය වේදනා වින්දා ය. දෑහේ මූණේ තියා ගෙන හැදුවත් දරුවන් දිනෙක උන්ගේ ම කැදලි තනනු වස් ඉගිල යන බව ඇය ඉගෙන ගත්තේ හදවත් පටක පුපුරා යන වේදනාවක් උහුලා ගනිමිනි.
“අයානා උඹට වඩා ටිකක් හරි වැඩිමල් කියල දැන ගත්තොත් උඹලගෙ අම්ම ඕකට කැමති වෙයිද…අනිත් එක අර විදුරයගෙ සීන් එක දැන ගත්තහම…”
අයානා දුන් බත් මුල වට කර ගෙන මිතුරන් තුන් හතර දෙනා එයට වග කියන අතරේ සුමීර විමසුවේ දුල්නෙත් ඔහු ගෙන් ම සඟවමින් හිත යට ඔබමින් උන් පැනයයි. සුමීර මේ වෙලාවේ එසේ විමසුවේ මේ බත් මුලෙහි සැබෑ ආදරයක් වූ බව දැනුණ නිසා ය. කෙසෙල් දල්ලක් තවා එයට යහමින් කහ බත් ද මාළු පිණි ද බෙදා තිබුණේ දාන ගෙදරක බත් මුලක් වාගේ ය. පෙම්වතා ගේ මිතුරන් ගැනත් ඒ වගේ දයා කරුණාවකින් සිතත හැකි ගැහැනු ළමයෙකු යනු අවංක ආදරයක ප්‍රතිමූර්තියක් බව අමුතුවෙන් සිතත යුතු නැත. ඒ වාගේ කෙල්ලකට දෙවන වතාවටත් වියෝගයක ප්‍රහාරයට මුහුණ දෙන්නට සිදු වුව හොත් එය දරා ගත නො හැකි වනු ඇති බව සුමීර ඇතුළු කොලු නඩය දැන සිටියේ ය.
“මට තේරෙන්නෑ බං. මං දන්නෙ මට අයානා අමතක කරන්න බෑ කියල විතරයි”
“මචං කෙල්ලව හිතෙන් හුඟාක් දුර අරං ගිහිං අතර මගක අත් අරින්නනං හදන්නෙපා. ඒක නිසා මුලින් ම මේව ගැන ගෙදරත් එක්ක කතා කරල විසඳුමකට එන්න බලපං. නැත්තං ඒකි පව්”
දුල්නෙත් සුසුමක් හෙළුවේ මේ වෙලාවේත් ඒ ප්‍රකාශය සිහි වී ය. ඔහු ගේ පපුවේ බරක් පැටවී තිබිණ.
“ඇයි පුතා…”
ප්‍රියන්ති පිටුපස වූවා ය. දුල්නෙත් මඳහසක් නගා ගත්තේ ය.
“මුකුත් නෑ අම්මෙ”
ඔහු බරාඳය ඉස්මත්තේ පඩිය මතින් වාඩි වී ගත්තේ ය. ප්‍රියන්ති ද එහි හිඳ ගත්තා ය.
“මං අම්මට කිව්වෙ ගෑනු ළමයෙක් ගැන…එයාගෙ අම්ම කෑම ටිකක් කන්න මට එන්න කියල තිබුණ. මං දවල් එහෙං කෑම කෑව”
උදේ පාන්දර අවදි වී උයා බැඳ දුන් බත් පත පුත්‍රයා විසින් නොකා ඇතැයි සිතෙත්දී ප්‍රියන්ති ට අමුතු රිදුමක් නො දැනුණා නොවේ. නමුත් ඇය එය අමතක කළා ය.
“එයාට රහට උයන්න පුළුවන්ද…”
“අම්ම උයල තිබුණෙ…රහයි”
“හැමදාම නැන්දම්මට කියල උයෝගෙන කන්නයැ…ගෑනියෙක්ට පුළුවන් වෙන්න ඕනෙ කසාදයක් බඳිද්දි හොඳට උයන්න කරන්න” කියා කියන්නට ප්‍රියන්ති ගේ කට නලියෑවේ ය. නමුත් ඇය එසේ නො කියා සිටියා ය.
“එයා බිස්කට් පුඩින් එකක් හදල තිබුණ. ඒකනං මාර රහයි. එයා කිව්ව දවසක එකක් හදල දෙන්නං කියල. අම්මට ගෙනත් දෙන්න”
“ම්…ඒක හොඳයි. බලමුකො ලේලිගෙ කෑම වල රස”
“අම්ම”
“ම්…”
“එයාගෙ අම්ම ඇහුව ඕගොල්ලොංව හම්බ වෙන්නෙ කොහොමද කවදද කියල”
පපුවේ ඊර්ෂ්‍යා සහගත දැවීමක් හට ගන්නවා ප්‍රියන්ති ට දැනුණේ ය. නමුත් එය වැරදි බව ඇය නො දන්නවා නොවේ.
“හදිස්සියක් නෑනෙ ඉතිං”
“අම්මගෙ අකමැත්තක් නැත්තං…නිකමට දවසක් එහෙ ගිහිං එයාලව හම්බ වෙලා එමුද…නැත්තං එයාලට මෙහෙ එන්න කියල මං කියන්නද…”
“බලමු. මං තාත්තගෙනුත් අහල බලන්නං”
ප්‍රියන්ති ඒ පිළිතුර දුන්නේ තත්පර කිහිපයක් කල්පනා කිරීමෙන් පස්සේ ය.
රාත්‍රියේ නිදන්නට කාමරයට ගිය පසු, කණ්ණාඩි මේසය ඉදිරියේ සිට හිස පීරා කොණ්ඩය ගොතනා ගමන් ඇය පුතා ගේ පෙම්වතිය ගැන කතාව සේනක ට කීවා ය. මීට පෙර දුල්නෙත් මුලින් ම අයානා ගේ පින්තූරයක් පෙන්වූ දිනයේ ද ඇය ඒ ගැන ඔහු ට කීවා ය. කුඩා කල පටන් ම ළමයින් දෙන්නා, විශේෂයෙන් දුල්නෙත් වැඩිපුර සමීප වූයේ ප්‍රියන්ති ට ය. ඕනෑ ම දෙයක් විමසූයේ ද ඉල්ලා සිටියේ ද ඇය වෙතිනි. සේනක ට දැනුම් දුන්නේ ඈ ය. මේ දුල්නෙත් ගෑනු ළමයෙකු ගැන ගෙදරට කී ප්‍රථම වතාව ය. ඒ ගෑනු ළමයා ගේ දෙමාපියන් හමු වන ලෙස කළ ඉල්ලීම, ඔහු තව දුරටත් පොඩි ළමයෙකු නොවේ ය යන්න නො කියා කියයි.
“එච්චර උයන්න එහෙමනං බෑලු”
ප්‍රියන්ති ඇඟට පතට නො දැනී කියා දමමින් යහනට ගොඩ වූවා ය.
“කසාද බඳිනකොට අපේ දුලනිකාටත් උයන්න බෑනෙ ප්‍රියා”
පපුවේ රෝම පිරිමදිමින් සිවිලිමේ දිව යන මකුළුවෙකු දෙස බලා ගෙන සේනක මිමිණුවේ ය. ඔහු ගේ තොල් කොනක සිනහ රැල්ලක් සිහින් ව ඇඳී තිබිණ.
“මාව කසාද බැඳල එද්දි ඔයාට වුණත් දැං වගේ උයන්න පුළුවන්ද…මතකද…මුල් දවසෙ බත කන්න බැරි ගානට බෙරි වෙලා තිබිල අන්තිමට අපි කිරි දාල කිරිබත් කළේ…තව දවසක් ලුණු වැඩි වෙලා තිබිල කඩෙන් බත් මුල් දෙකක් ගෙනත් කෑවෙ. ඔය උයන ඒව කන ඒව ඉස්සර කොල්ලො තරංවත් දැන් එවුං ගණං ගන්නෙ නෑ. කොල්ලෙක්ට ඕනෙ ලුණු වැඩි වුණත් ඇඹුල් වැඩි වුණත් තිත්ත වැඩි වුණත් ජීවිතේ බෙදා හදා ගෙන පැණි රසයි කියල හිතං ඉස්සරහට යන්න පුළුවන් ගෑනු පරාණයක්. ඒ ළමය ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රි එකක් ගත්ත කෙනෙක්නං…යමක් කමක් තියන පවුලක හුරතලේට හැදුණ ගෑනු ළමයෙක් වෙන්න ම ඕනනෙ. දෙමව්පියො විදිහට අපි කරන්න ඕනෙ ඒගොල්ලන්ගෙ කැමැත්තට තෝර ගත්ත කෙනාගෙ ඇද කුද හොයන එක නෙවෙයි. පුළුවන් උදව්වක් එක්ක ආශිර්වාද කරන එක…”
“දරුවො ලොකු වෙන්නෙ නැතුව ම හිටියනං කියල හිතෙනව”
මඳ වෙලාවක් නිහඬ ව උන් ප්‍රියන්ති බිඳුණු හඬකින් මිමිණුවා ය. අතක් නවා වැලමිට සන්දියට බර වී ගෙන සේනක ප්‍රියන්ති පැත්තට හැරුණේ මඳහසකිනි.
“ප්‍රියා…ජීවිතේ කියන්නෙ එහෙම දෙයක්. අපි කසාද බැන්දෙ අද ඊයෙ වගේ දැනුණට දැන් සෑහෙන කාලයක් තිස්සෙ හුඟක් දේවල් සිද්ද වෙලා. ළමයි තාම පොඩියි වගේ අපිට දැනුණට දැන් උං තරුණයි. ඒ කියන්නෙ අපිත් වයස ගිහින්”
“කොල්ල තාම පොඩියි අනේ”
“කොල්ලගෙ වයසෙදි ඔයාට ළමයි දෙන්නම හම්බ වෙලා ඉවරයි”
“ඒ වුණාට…”
“ප්‍රියා…අපි ආසයි තමයි හැමදාම තරුණ විදිහට ඉන්න. ළමයි පොඩියට ඉන්න. අපේ දෙමව්පියො හයිය හත්තියට ඉන්නව දකින්න. ඒත් කාලෙ එක තැන නතර වෙලා කියෙන්නෙ නෑ. ඒ ඒ කාලෙදි ඒ ඒ වයසට අයිති දේවල් විඳ ගන්න එක විතරයි අපිට කරන්න පුළුවන්. තරුණ කාලෙ අපි ආදරේ කළා. ඔයාට මතක ඇතිනෙ. ඔයාගෙ ගෙදරින් කොච්චර විරුද්ද වුණත් අපි තනි තීරණයක් අරං එක ගෙදරකට වුණා. අපේ සතුට විඳ ගත්ත. ළමයි පොඩි කාලෙ උංව තුරුල් කරං අමුතු ජීවිතයක් ගෙව්ව. උං දවසින් දවස ලොකු වෙන හැටි ආසාවෙන් බලං හිටිය. උං හොඳට ඉගෙන ගන්නකොට ආඩම්බර වුණා. දැං උන් කසාද බැඳල උංගෙම ජීවිත ගත කරන්න හදන වයස. තව ටික දවසකින් අපි ආච්චිල සීයල වෙයි. එතකොට අලුත් ම ජීවිතයක්. අපිට හැමදාම අපේ තරුණ වයස තුරුල් කර ගෙන ඉන්න බෑ ප්‍රියා. එහෙම බෑ කියල දුක් වෙලා හිතෙං කඩං වැටිල තේරුමකුත් නෑ. ඒ ඒ අවස්තාවෙදි ඒ ඒ සතුට විඳ ගන්න බලමු. අපේ දරුවො තුරුල් කර ගත්තටත් වැඩි ආදරේකින් දරුවන්ගෙ දරුවො තුරල් කර ගනිමු. ඒ ජීවිතේ සතුට විඳිමු. එහෙම තමයි ජීවිතේ ප්‍රියා. ඔයා කොල්ලට කියන්න අපි ඒ ළමයගෙ ගෙදර යන්න කැමතියි කියල…දවසක් දා ගන්න කියන්න”
ප්‍රියන්ති සේනක ගේ සුරත් බාහුව මතින් සිය හිස තියා ගෙන ඔහු ගේ පපුවට තුරුලු වූවා ය. ඔහු කියන්නේ ඇය නො දැන සිටි දේවල් නොවේ. නමුත් පපුව ඇතුළේ සීරීම් වේදනා ඇති කරන හැඟීමෙන් නිදහස් වෙන විදිහක් ඇය දැන සිටියේ නැත.
ඉරිදා උදේ එළවළු මාළු ටිකක් ගෙන එන්නට ප්‍රියන්ති පන්නිපිටියට ගිය වෙලාවේ දුල්නෙත් කාමරයෙන් පිටතට ආවේ ය. සේනක බරාඳ පුටුවක හිඳ පත්තරයක් කියවමින් සිටියේ ය. ඉරිදා දවසෙන් වැඩි කොටසක් ඔහු වැය කරන්නේ පත්තරය කියවීමට ය.
බරාඳයෙහි රවුමක් ගැසූ දුල්නෙත් සේනක ට යාබද පුටුවෙහි හිඳ ගත්තේ පියා දෙස බලමිනි. පත්තරයට මූණ ඔබා ගෙන සිටියාට සේනක ඒ නොදුටුවා නොවේ. නමුත් ඔහු කවදත් කිසිවකට ඉස්සර වෙන්නට හෝ කලබල වෙන්නට යන්නේ නැත.
අම්මා හරහා සියලු සන්නිවේදන සබඳතා පැවැත්වී ද තාත්තා යනු දුල්නෙත් ගේ හදවතට දුර කෙනෙකු නොවේ. තාත්තා සමග මිතුරෙකු සමග වාගේ කතා බහ කළ හැකි බව දුල්නෙත් දැන සිටියේ ය. නමුත් මෙතුවක් ඔවුන් දෙදෙනාට කතා කරන්නට ඒ තරම් දෙයක් තිබී නැත.
“තාත්තෙ”
දුල්නෙත් ඉතා හෙමිහිට පියා ඇමතුවේ ය. නමුත් හදිසියක් ඔහු ගේ සිතේ විය. අම්මා යළි ගෙදර එන්නට පෙර තාත්තා සමග විසඳා ගත යුතු යමක් ඔහු ගේ හිතේ කැකෑරෙමින් තිබිණ.
“ම්….”
සේනක ඒත් පත්තරයෙන් ඇස් ඉවතට ගත්තේ නම් නැත.
“මට තාත්ත එක්ක දෙයක් කතා කරන්න තියනව”
“මට අම්ම කිව්ව”
එය ඕනෑවට එපාවට මෙන් කීවකි. තාත්තා අතින් පත්තරය ඇද පසෙකට විසි කරන්නටත් දුල්නෙත් ට නො සිතුණා ම නොවේ.
“තාත්තෙ මේ…”
“දවසක් දාගෙන කියන්න. අපි එන්නං”
“තාත්තෙ තව පොඩි ප්‍රශ්නයක් තියනව”
සේනක පුවත්පත පහත් කොට පුත්‍රයා දෙස බැලුවේ ඉනික්බිති ය. තාත්තා ගේ බැල්ම මගහැර දුල්නෙත් බිම බලා ගත්තේ ය. කොල්ලා පොඩි කාලේ සිට ම ලැජ්ජකාරයා බව සේනක දනී. ඔහු කෙල්ලක යාළු කර ගත්තේ ඔහු විසින් ම විමසා ද කියාත් පෙර දා රාත්‍රියේ සේනක ට සිතිණි. ‘සමහර විට කෙල්ල ම ඇහුවද දන්නෙත් නෑ’ යි ඔහු දෙවනුව සිනහවකින් යුතුව සිතුවේ ය.
“ප්‍රශ්නයක්…මොකද හදිස්සියෙ කෙල්ලව බඳින්න වෙලාද….”
“එහෙම දෙයක් නෙවේ තාත්තෙ”
දුල්නෙත් රතු ව ගියේ ය. නමුත් අසීරු ම කාරණය කියා දමන්නට ඔහු සියල් ශක්තිය රැස් කර ගත්තේ ය.
“එයා..මට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්”
“දෙයියෝ සාක්කි”
සේනක පත්තරය එහා පුටුවට විසි කොට වඩාත් හොඳින් දුල්නෙත් වෙතට හැරිණ.
“අම්මත් එක්ක හතරවෙනි ලෝක යුද්දෙ කරන්න සිද්ද වෙන වැඩක්නෙ යෝදයො උඹ මේ කරගෙන තියෙන්නෙ”
සේනක හිසෙහි අත ගසා ගත්තේ ය.