මා හිස පිරිමැද 11

“ඇය ගියාට පස්සේ මා අවට දරුණු පාළුවකින් වෙව්ළුම්කෑවේ ය. හරියට කාලාන්තරයක් තිස්සේ ඇය මා ළඟ ම දැවටී හිඳ යන්නට ගියා මෙනි. මගේ පුංචි යහනට වැටී කොට්ටයක් බදා ගෙන හෝරා ගණනක් මම නිසල ව සිටියෙමි. නමුත් මට නින්ද ගියේ නැත.

“මං යුනි එකට ආව. බත් ටිකක් කාල පැරසිටමෝල් බොන්න හොඳේ”

කියා ඇය වට්සැප් පණිවිඩයක් එවා තිබිණ. මට ඉකි ගසා හඬන්නට තරම් තනිකමක් දැනුණේ ය. ඒ තනිකම වූ කලී හුරු පුරුදු එකක් නොවේ. මීට පෙර කවදාවත් දැනී ඇති එකක් නොවේ. විදුර වරදත්ත සපුතන්ත්‍රි නම් වන මා වූ කලී තනිකම රසවිඳි මිනිසෙකි. තනිකමට ප්‍රේම කළ මිනිසෙකි. එහෙම එකේ ඇය ගියාට පස්සේ මුළු ලෝකයෙන් ම කොන් වී ගියා බඳු හුදෙකලාවක් දැනෙන්නට ගත්තේ කොහොමද කියා මා දන්නේ නැත.

මට එක එක විකාර ශබ්ධ ඇසුණේ ය. මම කන් දෙක තද කොට වසා ගතිමි. මට විකාරරූපී දසුන් මැවී පෙනෙන්නට ගත්තේ ය. මම දෑස් තදින් පියා ගතිමි. ඇය නැතිව මට මා කියා කෙනෙකු නැතිය කියා දැනෙන්නට ගති. ඇය නැතිව මේ මිහි මත මට පැවැත්මක් නැතිය කියා හැඟෙන්නට ගති. හරියට මීට ටිකකට කලින් ඇගෙන් මා ජනිත වූවා මෙනි.  ඇය මට උපත දුන්නා මෙනි. සත්තකට ඇය නිසා දෙවන වතාවට මම උපන්නෙමි. එය වැඩිහිටියෙකු වශයෙන් මට දැනුණා වූ උත්පත්තියකි. අම්මා ගේ කුසයේ සිට ඉපදුණ බව මා දැන සිටියාට එය මට දැනුණේ නැත. මේ දෙවන උපත මට දැනෙන්නට මගේ ඇස් පනාපිට සිදු වූවකි.

හදිසියේ ම මා අබ්බගාත වී තිබේ. ඇය මෙහි එන්නට පෙර මා සිටියේ සෙම්ප්‍රතිශ්‍යා උණක් වැළඳී ගෙන ය. නමුත් ඇය ගියාට පස්සේ මා අබ්බගාත වී තිබේ. මට ඇය නැතිව අතක් පයක් සොලවා ගත නො හැකි ය. පැරසිටමෝල් දෙක බොන්නට වතුර වීදුරුවක් ගත නො හැකි ය. හිතුවක්කාර ලෙස මම පැරසිටමෝල් නොගෙන උන්නෙමි. ආයේ ඇය එනතුරු ම මට ඒවා කර ගත නො හැකි ය. ඇයට මා මේ තනියේ හෙළා නොයා ඉන්නට තිබිණි. ඇයට මා ළඟට ම වී ඉන්නට තිබිණි. දැන් මට කාත් කවුරුත් නැත. හිටියේ ඇය පමණකි. දැන් ඇය ද නැත.

එවන් වූ විකාර සිතිවිලි ලෝකයක් මැද මම කරක් ගසමින් සිටියෙමි. මහ ඝණ වනාන්තරයක් මැද්දේ මංමුලා වූ බවක් මට දැනෙමින් තිබිණ. මම කෙඳිරි ගෑවෙමි. හැඬුවෙමි. කෑ ගැසුවෙමි. කවුරුන්වත් මවෙත ළඟා වූයේ නැත. තව තවත් මම වල්මත් වීමි. 

වෙලාව ගැන අදහසක් මට නැත්තේ ය. කවුරුන් හෝ මා වත්තන් කර ගෙන ගෙන යනවා දැනිණ. වරින් වර බෙහෙත් ගිල දැමීමක් ගැන මතකයක් තිබේ. නිවැරදි සිහියට එලඹෙත්දී මා සිටියේ ගෙදර මගේ කාමරයේ යහන මත ය. මම කලබල වී නැගී සිටියෙමි.

“නැගිට්ටද…දෙයියන්ට පින්සිද්ද වෙන්න ඕනෙ. ඊයෙ රෑ එළි වෙනකල්ම උණ විකාරෙන් දෙඩෙව්ව. ඉස්පිරිතාලෙ නතර කරන්නවත් වෙයිද කියල මං හිත හිත හිටියෙ. බෙහෙත් වලට උණ බැස්ස”

අම්මා මගේ හිස පිරිමදිමින් කීවා ය. ඇගේ බොර පැහැති ඇස් මත සැනසිල්ලක සෙවනැලි එහෙ මෙහෙ වූයේ ය.

මා දුරකතනයට පිළිතුරු නොදීම නිසා කලබල වූ අම්මා නංගී ව හා මස්සිනාව මගේ බෝඩිමට එවා තිබේ. මා ගෙදර ගෙන ගොස් ඇත්තේ ඔවුන් ය. යන ගමන් පවුලේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගෙන තිබේ. ඔහු පවුලේ වෛද්‍යවරයා වන්නේ මගේ නොවේ. ගෙදර අනිත් අයගේ ය. මට එහෙම කෙනෙකු සිටියේ නැත. 

නිවැරදි සිහිය එළඹි ගමන් මා සෙව්වේ ජංගම දුරකතනය ය. තිසුරි ගෙන් ලැබුණ වට්සැප් පණිවිඩ පෝලිමක් විය. මගහැරුණ ඇමතුම් ඊට වඩා විය. ඇය මගේ නිහඬ බව ගැන කලබල වී තිබේ!

“දෙයියනේ දෙයියනේ…ඇති යන්තං කතා කළා. මං මේ බෝඩිමටත් ආව. ඔයාට මොකද වුණේ…”

ඇය හඬන්නට ඔන්න මෙන්න වී සිටියා ය. මා දුරකතනයට පිළිතුරු නොදෙත්දී අම්මා කලබල වෙන්නට ඇත්තේත් ඒ වගේම ය. තවත් ගැහැනියක ඒ දුක් සාගරය වෙත ඇද ගැනීම ගැන පසුතැවීමකින් මගේ කේශාන්තයේ සිට පාදාන්තය තෙක් ම ගිනි ගත්තේ ය.

“අම්මල මාව ගෙදර ගෙනත් තිසූ. දැන් තමයි මං ඇහැරුණෙ. එයාල මාව අරං එනවවත් මං දන්නෑ…එච්චරට උණ වැඩි වෙලා”

“හම්මෝ ලොකු දෙයක් ගෙදර ගිය එක”

ඇය සැනසුම් සුසුමක් හෙළුවා ය.

තිසුරි බණ්ඩාරනායක! යහනේ වැතිරී මම ඇය ගැන සිතුවෙමි. මේ සටහන ලියන්නට ගන්නේ අම්මා බලයෙන් වාගේ බත් ටිකක් කවා මගේ බෙහෙත් වේල ද දීමෙන් අනතුරුව ය. බෙහෙත් වලට හිස ඔසවා ගෙන ඉන්නට බැරි මත් ගතියක් දැනේ. නමුත් ඇය වෙනුවෙන් මෙය ලියා තැබිය යුතුමයි කියා මම සිතමි. 

ඇය මුල් ම වරට ජනරාව පුවත්පතේ දුරකතන අංකය ට කතා කොට මා ඉල්ලා සිටියා වූ මොහොතේ මා සිටියේ මේසය මත පත්තරය දිග හැර ගෙන සූරි ගේ කවියක් කියවමිනි. රොෂානා සූරි ගෙන් ඇමතුමක් යයි දැනුම් දෙත්දී හද තුළ අකුණක් පුපුරා ගියේ ය. ඉඳහිට ජනරාවයේ පළ වෙන ඇගේ කවියක් මම හෙමිහිට කියවමි. ඒ අකුරු අතරේ, කලබල වුණොත් මගහැරී යා හැකි එහෙව් සිනිඳු බවක් විය. ඇය දරා හිඳියා වූ මානව හිතවාදී දර්ශනයට මම රිසි වීමි. සූරි කියනා නමට මුවහ වූ චරිතය කොයි වාගේ කෙනෙකු විය හැකි දැයි කිසි විටෙක මට සිතන්නට ඕනා නොවී ය. නිර්මාණකරුවා කවුද කියා නො දැන නිර්මාණයක් විඳිනා එක වඩාත් සුවපහසු වේ. නමුත් ඇගෙන් ඇමතුමක් එත්දී පොඩි එකෙකු වාගේ මම කලබල වීමි. උනන්දු වීමි. සූරි යනු තරුණ ගෑනු ළමයෙකු බව හඬෙන් දැනෙත්දී මා තවත් උනන්දු වන්නට ඇත. ඒ, තරුණ ගෑනු ළමයෙකුට ඒ වගේ පරිනත දැක්මක් තිබීම ගැන ය. තමන් වෙනුවෙන් දැනටමත් දේශපාලකයන් විසින් කපා ඇති වළවල් වල වැටෙනා තුරුත් ඒ ගැන නොදන්නා බොල් පිළිම වන් තරුණ ප්‍රජාව සමග සසඳත්දී සූරි ව විශේෂයෙන් මතක හිටීම ගැන පුදුම විය යුතු නැත. ඒ විශේෂත්වය පෞද්ගලික වෙන්නට පටන් ගත්තේ ඉතා ඉක්මනින් ඇය මට සමීප වනු වස් දැරූ උත්සාහයේ දී ය. පත්තරකාරයන්ට හෝ ලේඛකයන් ට ගෑනු ළමයින් වසඟ වීම සාමාන්‍ය දෙයකි. නමුත් දේශපාලන ලියුම්කරුවෙකුට ගෑනු ළමයෙකු වසඟ වීම ඊට වඩා වෙනස් දෙයකි.

 තිසුරි ගේ ඇස් වල වූ ප්‍රේමය ඉදිරියේ, පලා යන ලෙස මගේ ඇඩ්රිනලින් හෝමෝන විසින් මට අනතුරු අඟවා සිටින ලදී. නමුත් ඒ සියල්ලට විරුද්ධව මම ඇය වෙත බැඳෙමින් සිටියෙමි. 

“ගෑනු ළමයගෙං අදත් ලියුමක් තියෙනව”

කියා කාර්යාලයේ ලිපිකරු ලියුම් මිටිය මා අතට දෙත්දීත් මා නො ඉවසිල්ලෙන් බලා ගෙන සිටියේ ඇගේ මුතු අකුරෙන් මගේ නම ලියූ, හද රැඳි ආදරය සිතුවම් කළ මෝස්තර වලින් යුත් වර්ණවත් ලියුම් කවරය අතට ගන්නා තුරු ය. මේස ලාච්චුව තුළ මා ඒ ලියුම් කවර එකතු කළේ ඇයි? වැඩුණු පිරිමියෙකු වූ මා තුළ නිද්‍රාගත ව උන් කුඩා ළමයා අවදි කරවන්නට ඇය සමත් වූයේ කෙසේ ද? නමුත් හැකි තාක් ඇගෙන් දුරස් වී සිටිත යුතු බව මම දැන සිටියෙමි. ඒ මා වූ කලී පෞද්ගලික ජීවිතයක් හිමි තැනැත්තෙකු නොවන නිසා ය. මගේ ජීවිතයට ගැහැනියක සමීප නොකර ගන්නට මුල සිට ම මා තීරණය කර ගෙන සිටි නිසා ය. නමුත් තිසුරි හිතුවක්කාරී වූවා ය. ඇගේ කෙටි පණිවිඩ හෝ නිතර පැමිණෙන ඉමෝජි මුහුණු හෝ ස්ටිකර වෙනුවෙන් මා තුළ ජීවත් වූ කොලු ගැටයා මග බලා සිටියේ ය. නමුත් ඒවාට ප්‍රතිචාර දක්වන්නට ඉඩ නොදුන්නේ වැඩුණු මිනිසා ය. ඇය අරබයා මේ චරිත දෙක අතරේ නිරන්තර මත ගැටුමක් විය. 

තිසුරි බණ්ඩාරනායක යනු වජිරපාණී වික්‍රමබාහු ගේ දියණියක බව මා දැන ගත්තේ තිසුරි ගැන තොරතුරු සොයා බලන්නට මට වූ පෙළඹීම නිසා ම ය. පත්තරකාරයෙකුට එය සරල ක්‍රියාවකි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතරේ වන ඥාති බන්ධුතාවය ගැන මා කලබල නොවූයේ, තිසුරි ගේ ඇස් වල මා දුටු ස්නේහය වංචාවක් නොවන බව ඉඳුරා දැන සිටි නිසා ය. ආදර්ශමත් රාජ්‍ය නිලධාරියෙකු වූ වජිරපාණි ගේ සැමියා ගැන මුල සිට ම මම පැහැදීමෙන් සිටියෙමි. තිසුරි ට තිබෙන්නේ ඔහු ගේ ගති ගුණ වීම ගැන පුදුම විය යුතු නැත.

උණ ගැනුණු වෙලාවේ ඇය බෝඩිමට එන්න ද කියා විමසූ විට ඕනේ නම් මට එපා කියන්නට තිබිණි. නමුත් ඒ මොහොතේ හැඟීම් වලට ඉඩ දෙන්නට මට ඕනේ විය. එය ජීවිත අවදානම වැඩි කරනා ක්‍රියාවකි. නමුත් එක ම එක මොහොතක් මගේ අවංක හැඟීම් වලට ඉඩ දී ඊළඟ මොහොතේ මිය යාමට ඇති අවස්ථාව මම තෝරා ගතිමි. ඇය පැමිණියේ සිය මෝටර් රථය විශ්ව විද්‍යාල භූමියේ දමා කැබ් එකක යයි කී වේලේ මම ඇගේ මාතෘ ප්‍රේමයට මුළුමනින් යට වී සිටියෙමි. ඒ බව ඇගෙන් වසංගා තබා ගනු වස් තව මොහොතක් හෝ ඇය බෝඩිමේ තබා නො ගෙන පිටත් කොට හරින්නට මට ඕනේ විය. නමුත් ඒ තරම් දිරියක් මගේ පිරිමි පපුවේ වූයේ නැත. ඒ සියුමැලි කෙල්ල මගේ කිළිටි ඇඳුම් සෝදත්දී, මා වෙනුවෙන් බතක් පිසිත්දී, කොත්තමල්ලි තම්බා මට බොන්නට දෙත්දී, මගේ කාමරය අතු ගා පිරිසිඳු කරත්දී, තවත් ආත්ම ගණනකට මා ඇය වෙත බැඳෙමින් හිඳිනා බවක් දැනිණ. යන්නට සූදානම් වී ඇය මගේ හිස පිරිමැද මා සිප ගන්නට පහත් වෙනු මට නො දැනුණා නොවේ. ඒ මොහොතේ තිසුරි ඇය පාලනය කර ගත්ත ද මට එහෙම කරන්නට බැරි විය. ඇය මගේ ළය මත නිසසලව උන් ඒ නිමේශය දිව්‍යමය වූවක් බව මිය යන්නට නියමිත මොහොතක  ද මට දැනෙනු ඇත. එවැන්නක් සිදු වීම ගැන තැවීමක් ද මට නැත. මම ගැහැනියකට ප්‍රේම කරන්නට පටන් ගතිමි. පාදඩ වූ දේශපාලන හස්තයක් විසින් යම් දිනෙක මා ඝාතනය කරනු ලැබූව ද එය දරා ගන්නට තරම් තිසුරි යනු ශක්තිමත් ගැහැනියකි. ඇගේ ප්‍රේමය යනු මගේ මරණය ද සමගින් අවසන් නොවන්නක් ලෙස මට දැනේ”

මගේ ඇස් වලින් ගිලිහුණු කඳුළු ගුලි දෙකක් සටහන් පොත මතට වැටිණි. මම වහාම හැඳ උන් ගවුම් සායෙන් ඒ තෙත මාත්තු කොට නෝට් බුක් එකේ සුදු පිටුවට හානියක් නොවූ බව සැක හැර දැන ගතිමි. දම් පාට ඝණ පිටවැස්මකින් යුත් ඒ අලංකාර සටහන් පොත මා අතට පත් වන්නේ ගංගා ෂයිනි ගමගේ වෙතිනි. විදුර ගේ අත් අකුරෙන් ලියැවී ඇති එය, යම් දිනෙක මා අත පත් කළ යුතු වූවොත් එසේ කරන්න ය කියා ඔහු ඇයට දී තිබේ. ඔවුන් සමීප මිතුරන් බව මා දැන ගන්නේ ද විදුර ලියූ සටහන් පොත මට ලැබෙත්දී ය. එය වූ කලී දින සටහන් පොතක් නොවේ. ඔහු එය මුලින් ම ලියා තිබෙන්නේ මා ඔහු ගේ බෝඩිමට ගිය දා ට පසු දා කියා සිතමි. එතැන, මා බෝඩිමෙන් එන්නට සූදානම් වී ස්ටිකි නෝට් බුක් එකේ කහ පාට කොළයක ලියූ කුඩා සටහන ද අලවා තිබේ. කෙසේ නමුත් දිනපතා එක දිගට එය ලියැවී නැත. විශේෂ සිදුවීමක් වූ අවස්ථාවක, සිදුවීම් කිහිපයක් පාදක කර ගෙන එක් සටහනක් තබා ඇතැයි සිතිය හැක. නැවතත් එය ලියවෙන්නේ ටික කලක් ගත වූ පසු ය. එහි අවසානයක් ද නැත්තේ ය. නමුත් පිරිමි පපුවක් පලා දැක ගත යුතු විදිහේ ආදරයක් එහි කදිමට සනිටුහන් වී තිබේ. විටින් විට ඉන් පිටු කිහිපයක් ඔබට කියවන්නට මම බලාපොරොත්තුවෙන් හිඳිමි.

විදුර වරදත්ත යනු මගේ දීර්ඝ කාලීන පැතුමකි. ඔහු අයිති කර ගැනීමේ චේතනාවක් කෙසේ වී ද නව යෞවනියක කාලයේ පටන් ම මා ඔහු සමග ප්‍රේමයෙන් බැඳෙමින් ඉන්නට ඇත. එය වූ කලී ජනප්‍රිය මාධ්‍යවේදියෙකුට බැඳි ප්‍රේමයක් නොවන බව කිව යුතුව තිබේ. ඒ මාධ්‍යවේදියා තුළ උන් ප්‍රේමණීය මිනිසාට මම වසඟ වී සිටියෙමි.

විදුර ව ගෙදර කැටිව ගොස් ඇති බව දැනගැනීම එදා මට අස්වැසිල්ලක් විය. නිතර මා ඔහු ගේ බෝඩිමට යාමේ අවදානමක් තිබිණි. මගේ ප්‍රේමය එවන් අවදානම් නොදකින සේ ඇස් අඳ කරනා එකක් වූයේ නැත. ඒ නිසා ඔහු පවුලේ අයගේ ඇල්ම බැල්ම මැද සුව වෙන එක මට සැනසිල්ලක් විය. මිනිසුන් ගිලන් වූ විට ආදරයෙන් උවටැන් කළ හැකි තමුන්ගේ අය ළඟ රැඳීම තරම් සුරක්ෂිත හැඟීමක් වෙන තැනකදී දනවන්නේ නැත.

ඔහු සුව අතට හැරෙන්නට ගත් ප්‍රථම රාත්‍රියේ මැදියමක් වන තුරු අප දෙදෙනා අතරේ දුරකතන සංවාදය දිග්ගැසුණේ ය.

“ඔයාට තිබුණෙ මට ආදරේ නොවී ඉන්න”

එදා ඔහු එහෙම කීවා මට මේ දැන් මෙන් මතක ය. 

“ඇයි…”

“දැං මට ඕන වෙලාවක මැරෙන්න ලෑස්ති පිට ඉන්න බෑ. එහෙම හිතද්දිත් ජීවිතේ ගැන මහ පුදුම ලෝබකමක් දැනෙනව. ඔයාව අත්ඇරල යන්න බෑ වගේ”

“එහෙම වෙන්නෑ”

මා කොඳුරා ගත්තේ පපුව රිදි රිදී ය.

“මං එහෙම වෙන්න දෙන්නෑ. මට තනියම ඉන්න බෑ”

“අපි ඉපදුණෙ මහ අවාසනාවන්ත රටක තිසූ”

“වෙන රටකට පැනගන්න එක ඔයාගෙ විදිහ නෙවේ කියල මං දන්නව. ඔයා ඉන්න තැනක…ඔයා යන තැනක…ඔයාගෙ පැත්තකින් මං ඉන්නව කියල විතරයි මං දන්නෙ”

විදුර දිගු සුසුමක් හෙළුවේ ය. 

“නොකියම දවසක මට යන්න වෙලා තිබුණොත්…ඔයා එතන ඉඳන් මේ ගමන යන්න ඕන තිසූ…ඔයාගෙ කවියක වචන අතරෙ හරි මට දකින්න ඕන වුණ ලෝකය තියෙන්න ඕනෙ”

“අනේහ්”

ඉසිහින් කෙඳිරියක් ම’ මුවින් බැහැර විය. නො හඬා ඉන්නට මම ඉතා බලවත් උත්සාහයක් ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles