ප්රභාත් උන්නේ කැළුමිණී සමග ජීවත් වූ නිවසේ සිට තම බඩු භාණ්ඩ ආදිය අමීශාගේ නිවසට ගෙන යමිනි. වෙනස් ලෝකයක වෙනස්ම සිතුවිලි දැරූ අමීශා කිව්වේ විවාහයට පෙර පොඩි කාලයක් හෝ එකට ජීවත්ව හිඳ බැලීම සියල්ලන්ටම පහසුවක් බවය. අනෙක් අතට තවමත් දික්කසාදය නොලැබුන නිසාවෙන් ඒ වැඩ කටයුතු අවසන් වන්නට අවුරුද්දක පමණ කාලයක් ගෙවෙන බැවින් ඒ කාලය අමීෂා සමග එක්ව වාසය කිරීම හොඳ බව ප්රභාත් ටද සිතුනි.
තමා කොතෙක් වගකීම් අතට ගෙන වැඩ කරන්නට ආශා කරන අයෙකු වුවද සිත තවමත් අතීත සෙවණලිවලින් ඔද්දල් වී තිබෙන මොහොතක නෛතික බැඳීමකට නතු නොවි ආදරයෙන් කාලය ගෙවීම අපුරු බව ප්රභාත් සිතුවේය.
“බඳින්න කලින් ලිවින් ටුගෙදර් ඉන්න එක මේ ඒශියන් කන්ට්රීස්වල මිනිස්සු වරදක් විදියට දැක්කට මම නම් හිතන්නෙ ඒක තමයි හොඳම විදිය”
අමීශා කිව්වේ ප්රභාත් විසින් අරගෙන එන ලද ඔහුගේ ඇඳුම් පැළඳුම් බඩු බාහිරාදිය අසුරුනු පිණිස තම ඇඳුම් අල්මාරියේ ඉඩ වෙන් කරමිනි.
“ඔයාට බය නැද්ද මැරි කරන්න කලින් එහෙම කෙනෙක් එක්ක ඉන්න එක ගැන? මම කරනවට කියනවා නෙවෙයි ඒත් මිනිස්සු මොනව කියාවිද? ඔයාට එයාව එපා උනොත් ඔයා මොකද කරන්නෙ වගේ දේවල් ගැන බයක් නැද්ද?”
අසුරාගෙන ආ බෑගයෙන් එකින් එක ඇඳුම් ගෙන ඇඳ මත තබමින් ප්රභාත් එසේ ඇසුවේය.
අමීශාගේ නිවසේ තිබුනේ පිලිවෙලකි. එහෙත් ඒ පිලිවෙල කැළුමිණීගේ පිලිවෙල තරම් නොවන්නක් බව දැන උන්නද මනසින් පර්ෆෙක්ට් මිනිස්සු එහෙම පිලිවෙලටම ජීවත් නොවන බවට අලුත් සිතුවිල්ලක් ප්රභාත්ගේ සිතට ඇවිදින් තිබුනි. ජීවත්වීමේ කලාව මැනවින් ප්රගුණ කල කැළුමිණී ඇයගේ අතීතය ගැන බොරුවක් කියා තමාව රැවටීම ගැන වේදනාවෙන් උන් ප්රභාත් අමීශාව දුටුවේ සර්ව සම්පූර්න අයෙකු ලෙසය. එවන් මොහොතක ඇය ජීවත් වන කලාවේ වූ අපිලිවෙල නොසලකා හරින්නට තරම් ප්රභාත්ට හැකියාව තිබුණි.
“මිනිස්සු අපි කොහොම ඉදියත් අරව මේව කියන එකේ මම නම් කියන්නෙ ඒව ගැන හිතන්න ඕනම නෑ කියල. අනික මම ජීවත්වෙන්නෙ මම කැමති විදියට. මම කැමති කෙනෙක් එක්ක. අපි ආදරේ කියල සමහරවිට රැවටෙන්නෙ ආකර්ශනයට. එහෙම ආදරේ කියල අපි ආකර්ශනයකට රැවටිල කසාද බැන්දම වෙන්නෙ අන්තිමේ ඒ ආතල් එක නැතිවෙච්ච දවසක දෙන්නට වෙන් වෙන්න. ඉතින් ඊට වඩා හොඳ නැද්ද ලිවින් ටුගෙදර් ඉන්න එක? දෙන්නට දෙන්න අඳුරගත්තම අපිට ඩිසයිඩ් කරන්න පුලුවන්නෙ මේ අෆෙයාර් එක අපි කන්ටිනිව් කරනවද මැරේජ් එකකට යනවද කියල”
ඒ මෙතෙක් කාලයක් තමා ජීවත් වූ හුරුපුරුදු වටපිටාවෙන් එහා ගිය අදහස් සමූහයක් බව දන්නවා වුවද ප්රභාත් හිතුවේ මෙතෙක් කාලයක් ගෙවූ එකම රාමුවක, එකම අදහස් සමුහයකට කොටු වූ ජීවිතයට වඩා මේ හොඳ බවය.
“මට ඔයා ගැන එක පැත්තකින් හිතාගන්න බෑ”
ඒ වදන් මුවින් පිටවුණේ ඒ නිසාම බව ප්රභාත්ට විශ්වාසය.
“ඇයි?”
“ඔයා හොඳටම දන්නව මම ඇයි කැළුමිණීගෙන් ඈත් උනේ කියල. ඒ වගේම මොනව උනත් මම තාම කැළුමිණීගෙන් ඩිවෝස් වෙලත් නෑ. එහෙම එකේ ඔයා කොහොමද බය නැතුව මාත් එක්ක ලිවින් ටුගෙදර් කරන්නෙ කියන එක ඇත්තමට මට පුදුමයි”
“මෙහෙමනෙ, ඔයා හිතන්නෙ සම්බන්ධයක් නම් ඒක එකම වගෙ වෙන්න ඕන කියලනෙ. අපි බැඳෙන්න ඕන හිතෙන් ප්රභාත්. නීතියෙන් නෙවෙයි”
ප්රභාත් විසින් දික්කසාදය ලබා ගත යුතු බව පවසා එවූ ඇමතුමෙන් පසු ඔහු තමාව සතියක් පුරාවටම ඇමතුවේ නැතත් කැළුමිණී උන්නේ තීරණයක් ගෙනය.
“අපි කොච්චර තදට අල්ලගෙන හිටියත් පුතේ සමහර දේවල් අපි අතාරින්නම ඕන. ඒ අතෑරයම අපි හිතනවට වඩා සැනසීමක් අපිට ලැබෙනව. පුතා අතීතෙ වෙච්ච දෙයක් නොකිව්ව එක වරදක් විදියට ප්රභාත් දැක්ක නම් පුතේ ප්රභාත් ඊටත් වඩා ලොකු වරදක් නෙ කලේ පුතාව බැඳල ඉද්දි වෙන ගෑණු කෙනෙක් එක්ක සම්බන්ධ වෙච්ච එක.
ඒක වෙච්ච ගමන් ඒ මනුස්සය ගැන ඇවිල්ල කිව්වය කියල ප්රභාත් හොඳ මනුස්සයෙක් වෙන්නෙ නෑ. හරිනම් ඩිවෝස් එක දාන්න ඕන අපෙ පැත්තෙන්.
ඒ උනාට දැන් ඕව ගැන හිත හිත තව හිත කරදර කරගන්නවට හොඳයි ඔන්න පුතේ යන යකා කොරහත් බිඳගෙන යනවය කියන එකේ ඔය දික්කසාදෙ දීල දාන එක. පුතාට ආයෙ කසාදයක් කරගන්න බැරිකමක් නෑනෙ”
නැන්දාගේ වදන් එකහෙලාම පිලිගන්නට නොහැකි වුවත් ඒ වදන් වල තමන් බලාපොරොත්තු වන සැනසීමට යන පාර සනිටුහන් වී තිබෙන බව කැළුමිණී දැන උන්නාය.
“මම ප්රභාත්ට කතා කරල කියනව නැන්දෙ මම ඩිවෝස් එකාට කැමතියි කියල. මගෙ ෆේස්බුක් යාලුවෙක් ඉන්නව ලෝයර් කෙනෙක්. එයාට එහෙම උනොත් කතා කරල බලනවා මම මොනවද ඉස්සරහට කරන්න ඕන කියල. දන්නෙ නෑනෙ. අනික මගෙ කොළඹ තියෙන ඕන කරන බඩු ජාති එහෙම මම මෙහෙ ගෙනල්ල තියාගත්තට කමක් නැද්ද නැන්දේ?”
අනුකම්පා සහගත බැල්මකිනුත්, හඬකිනුත් ඇය අසද්දී වාවාගත නොහැකි වේදනාවක් හිත පුරා ඇසිල්ලකින් විසිරෙනු තේරුනද ඒ හැඟීම දරාගන්නට පබෝධාගේ වසර පණස් ගණනන අත්දැකීම්වලින් පුලුවන් විය. එහෙත් “අනේ එහෙම කියන්න එපා පුතේ” කියමින් කැළුමිණීගේ හිස සිඹින්නට තිබුනානම් ඒ ආදරය ඇයව සුවපත් කරනු ඇති බව තේරුනද “කෙල්ලව තව වට්ටන්න නරකයි” කියා සිත ඇතුළාන්තයෙන් කොඳුරන හඬ පබෝධාට ඇසුණි.
“එහෙ ගෙදර දූ නමට නේද තියෙන්නෙ?”
“ඔව් ඒ උනාට මට ආයෙ කොළඹ යන්න බෑ නැන්දෙ. මට පිස්සු හැදෙයි ඒ ගෙදර ගිහින් හිටියොත්. කොළඹ යන්න උනොත් මොකක් හරි වැඩකට මම යාලුවෙක්ගෙ ගෙදර හරි ඉන්නවා”
“ඒව අපිට පස්සෙ තීරණය කරන්න පුලුවන් නේ. දැන් පුතා ඔව්ව ගැන හිත හිත හිත කරදර කරගන්න එපා. අපි ඉස්සෙල්ල ප්රශ්න එන එන හැටියට මූණ දෙමු. ඔක්කොම ප්රශ්න වලට අපිට උත්තර දෙන්න බෑනෙ
දැන් යන් කන්න” කියමින් පබෝධා වාඩි වූ හුන් පිල්කඩින් නැගී සිට කුස්සිය දෙසට ගියාය.
කැළුමිණී උන්නේ සඳ දෙස බලාගෙනය. ඒ සඳ කිරණ වැටී මුලු එන්සල්වත්තම සුදු පැහැ ආලෝකයකින් වැසී තිබෙන අයුරු දකිද්දී කැළුමිණීට මතක් වූයේ ප්රභාත්වය. මෙවන් සඳ කිරණ වැටුණු රැයක ඔහු සමග කොළඹ ඇවිදින්නට ගිය මතකයන් ය.
එවන් සඳ කිරුණු රැයක ඔහුට තුරුලු වූ මතකයන් ය. එහෙත් ඒ මතකයන් අයිති අතීතයටය. ඒ දරාගන්නට අපහසු හැඟීමකි.
සූරියබණ්ඩාර වලව්වේ දානය ආවේ ඒ සිතුවිලි ඔස්සේ කැළුමිණී තමාගේත් ප්රභාත්ගේත් ජීවිතය ගැන තීරණයක් ගනිද්දීය. සිත කෙතරම් වේදනාවෙන් උණුසුම්ව තිබුනද දේශගුණයේ වූ සිහිල් බව කැළුමිණිගේ මුහුණට ගෙනවිත් තිබුනේ සුන්දරත්වයකි. අරවින්ද උන්නේ ඒ සුන්දර මුහුණ මත ජීවිතයේ ඉදිරිය ගැන බොහෝ බලාපොරොත්තු තබමිනි.
සූරියබණ්ඩාර වලව්ව හෙක්ටර් සූරීයබණ්ඩාරගේ දානයට සැරසෙද්දී කැළුමිණී දික්කසාදයට සැරසෙමින් උන්නාය.
“මේ කීවෙනි අවුරුද්දෙ දානෙද? ඒ මනුස්සය මැරිල ගොඩක් කල්ද?”
කැළුමිණී එ බව ඇසුවේ නිවසේ සිට සූරියබණ්ඩාර වලව්වට යනු පිණිස පල්ලම් බසිද්දීය. කොළඹදී දකින්නට තබා සිතන්නටවත් නොහැකි අන්දමේ සුන්දර කොල පැහැ වටපිටාවද, තැනින් තැන දකින්නට ලැබෙන කුඩා දිය පොකුණුද, දිය පාරවල්ද, අතොරක් නැතිව හැම තැනකම පාහේ පිපී පිරී තිබෙන දකුණු පලාතට ආවේණික හීන් බෝවිටියා පඳුරුද සිතට ගෙන ආවේ සුවපත් හැඟීමකි. වටපිටාවේ වූ සිසිලස ගත සුවපත් කරද්දී හොඳ හුස්මක් ඉහලට ඇදගත් කැළුමිණී උන්නේ ලෝකය දෙස අලුත් ඇසකින් බලන්නට තනමිනි.
මේ වේදනාවෙන් කොතෙක් කාලයක් දරාගන්නට වේද කියා අදහසක් නොවුන මුත් තමාට ජීවිතය දෙස අලුතෙන් බලන්නට අවැසි ශක්තියක් යම් තාක් හෝ ඇති බව කැළුමිණී විශ්වාස කරාය.
“මම හිතන්නෙ දැන් මේ අට වෙනු අවුරුද්දද මන්දා”
“මොනව වෙලාද මැරුනෙ?”
“අසනීප වෙලාම තමයි. ඉන්පස්සෙ සූරියබණ්ඩාර නෝනත් එක්තැන් වුණා. ඒ මනුස්සය නම් දැන් ඉන්නෙ කොළඹ. දානෙට හැබැයි එනවා. හැම අවුරුද්දෙම ගිහින් එක්කගෙන එනවා”
“අර අපෙ අහ ආව කෙනා විතරද දරුවෙකුට ඉන්නේ?”
“ඔව්, අරවින්ද සූරියබණ්ඩාර. ඒ මහත්තය මෙහෙට වෙලා ඉන්නෙ වත්තෙ වැඩ බලන්න කෙනෙක් නැති හන්දා. මෙහෙන් තේ අරගෙන රට යවන තැන් ගොඩක් තියෙන නිසා අරවින්ද මහත්තය ඉතින් තේ දල්ලෙන් දල්ල බල බල තමයි ඔක්කොම ලෑස්ති කරන්නෙ.
සූරියබණ්ඩාර නෝන කොළඹ ඉන්නෙ. එයාව බලාගන්න කට්ටියත් දාලලු ඉන්නෙ. මෙහෙ ඉන්න අමාරුනෙ සීතල හන්ද කියල”
“නැන්දල හරියට දන්නව නේද ඒ මිනිස්සුන්ව?”
“මං විතරක් නෙවෙයි පුතේ ගමේ හැමෝම එකතුයි. මොකෝ මෙහෙට දැන් ලයිට් වතුර දෙකම තියෙන්නෙ ලොකු සූරියබණ්ඩාරමහත්තය ඉද්දි. ඒ මනුස්සය මැරුණම අරවින්ද මහත්තය වත්ත භාරගනිද්දි මිනිස්සු බයෙන් හිටිය උදව් පදව් හෙම නැති වෙයි කියල. අර ඉතින් අම්මල තාත්තල වගේම නෙවෙයිනෙ දරුවො හිතන්නෙ.
ඒ උනාට අරවින්ද මහත්තය නිසා තමයි ගමේ ඉස්කෝලෙ හෙම මෙච්චර දියුණු උනේ. හැම අවුරුද්දකම තමන්ගෙ උපන්දිනේට ගමේ මොකක් හරි හදන්න කරන්න තියෙන දෙයක් බලල අරවින්ද මහත්තය හදල දෙනවා”
සූරියබණ්ඩාර වලව්ව ඈතින් පෙනෙන්ද්දී කැළුමිණී උන්නේ අරවින්ද ගැන නැන්දාගෙන් අසන්නට ලැබුණ යහපත් දේවලින් සිත පුරවාගනිමිනි. තමා ඔහු විෂයේ හැසිරුණු ආකාරය මදක් නොමනා බව තේරුණද, ඔහු එවන් හැසිරීමක් ඉවසිය නොයුතු කෙනෙකු බව සිහිවෙද්දීද කැළුමිණීගෙ සිත තුල යම් පසුතැවිල්ලක් ඇති නූනා නොවේ.
ඒත් “පිරිමින්ව කාලා බලලවත් විශ්වාස කරන්න පුලුවන්ද?”
සූරියබණ්ඩාර වලව්ව දෙස බලාගෙනම කැළුමිණී එසේ සිතුවාය