යශෝදර රාමනායක ගේ තුරුණු හදවතෙහි, කුණාටු සයුරක් මත්තෙහි වාගේ හැඟීම් ප්‍රවාහයක් සංසරණය වන්නට විය. රියෙහි ඉදිරි කැඩපතින් ඔහු නැවත ද සයුරංගනා දෙස බැලුවේ ය. ඇය කිසිත් සිදු නොවුණා වන් නිශ්චලත්වයක ඇස් බිමට හරවා ගෙන ම සිටී. යශෝදර හෙමි හෙමිහිට සුසුම් ධාරාවකින් පෙනහලු පිරෙන්නට හැරියේ ය. ඔහු ට දැනෙන්නා වූ සියල්ල හද ගැබෙහි නිදන්ගත ය. ඒවා වෙන වෙන ම හැඳින ගැනීමේ කිසිදු උත්සාහයකින් තොරව ඔහු ඔහේ සිටී. රසයක් ද මිහිරක් ද අවිනිශ්චිත බවක් ද සංවේගයක්ද වගකීමක් ද වැනි සියලු හැඩ තල ඔහුට දැනෙනා හැඟීම් වලට වේ.
“යශෝදර මාත් එක්ක තරහෙන් ද ඉන්නෙ…”
මීට මඳ වෙලාවකට පෙර සයුරංගනා විසින් අසනා ලද පැනය, යශෝදර ගේ හද බිත්ති අතරේ තවමත් නින්නාද වේ.
“මං මොකටද සයුරංගනා ඔයත් එක්ක තරහ වෙන්නෙ…”
ඒ හැඟීම් රළ පෙළ අතරින් මතු වී, සිනහ සරකින් ඔහු කීවේ ය. එය ඇත්ත ය. ඔහු මොහොතකටවත් ඈ හා තරහෙන් හිටියා නොවේ. ඇයට වෙන්නට ඕනා කොයි විදිහට ද, එ විදිහට දේවල් සිදු කරනා සිතිවිල්ලක පමණක් ඔහු එල්ලී ගෙන සිටියේ ය. තරහක් නැත ද එහි නෝක්කාඩුවක් නැත කිව නො හැකි ය. නමුත් ඒ නෝක්කාඩුව ද කුමක් අරබයා දැයි විශ්ලේෂණය කරන්නට යශෝදර ඉක්මන් නැත. මේ සෑම සියලු හැඟුම් රළ පහරකට ම ඔහු මුහුණ දෙන්නේ කැමැත්තෙනි. හේතු විමසීමකින් තොරව ය.
ඔහු ගේ හඬ යශෝදර ට දැනුණේ වෙනත් කෙනෙකු ගේ හඬක් සේ ය. ඔහු තුළ තවත් පුද්ගලයෙකු හිඳ තිබේ. මේ කතා කළේ ඒ වෙනත් පුද්ගලයා මිස ඔහු නොවේ. ඔහු නොවේමත් නොවේ. ඔහු නොවෙනා යශෝදර කෙනෙකි. දැන් දැන් සයුරංගනා ඉදිරියෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඔහු නොවෙනා ඔහු තුළ සිටින යශෝදර ය.
සයුරංගනා නෙතු ඔසවා බැලුවා ය.
“ඔයා මගෙ දරුවට මොන තරං ආදරේද කියල මං දන්නව. ඒත්…ගිම්හාන්ගෙ අම්මගෙන් ඔයාට හිත රිදෙන කතාවක් කියවෙයි කියල මං කොච්චර බයද කියල ඔයා දන්නෑ. යශෝදර…හස්බන් නැති වෙච්ච ගෑනු කෙනෙක් කියන්නෙ කොහොම කෙනෙක්ද කියල තේරුං ගන්න පුළුවන් වෙන්නෙ ඒ තත්වෙට පත් වෙච්ච කෙනෙක්ට විතරයි. හැම පැත්තකින් ම පරිස්සං වෙන්න ඕනෙ. ගිරේට අහු වෙච්ච පුවක් ගෙඩියක් වගේ…කොයි වෙලේ මොකක් වෙයිද කියල දෙගිඩියාවෙන් ඉන්න ඕනෙ”
සයුරංගනා කතා කළේ ඔහු දෙස ම බලා ගෙන ය. යශෝදර ඇස් කොනෙන් හෝ ඇදෙස නො බලා ඉදිරිය බලා ගෙන රිය පදවයි.
“ඔයා දැං ගෙට ගොඩවෙන්නෑ. එසඳි කරදර කළත් ඇතුළට එන්නෑ. තේ එකක් හදන්නද ඇහුවට හා කියන්නෑ. හදල ගෙනාවත් බොන්නෑ. මං දෙයක් කළානං ඒ අහිතකින් නෙවෙයි යශෝදර…”
ඔහු ඒත් කතා නොකරයි. සයුරංගනා නොකීවත් ඔය දේවල් යශෝදර දනී. සයුරංගනා ඔහු ව මගහරිමින් සිටිනවා කියා දැනෙත්දී හදවත අත්විඳි හේතුවක් නැති වේදනා රසය මේ මොහොතේත් ඔහු ට දැනේ. ඒ වේදනා රසයට හේතුවක් නැති තරමට ඔහු කැමති ය. හේතු ඵල වාදයක් ගැන පාසලේ දී ඉගෙන ගෙන තිබිණි ද හැම දේම සිදු වන්නේ හේතුවක් නැතිව යයි සිතන්නට ඔහු ට ඕනෑ ය. හේතුවක් නැති තැන වෙනත් කිසිවක් ම නැත. ඇත්තේ හේතු රහිත වේදනාවක් පමණකි.
සයුරංගනා ඉදිරියේ මාවතක් විවර වී තිබේ. ඒ මාවත දිගේ ඇය පිය නගා යනු ඇත. ඇය එහි යන්නදැයි ඇසූ වෙලාවේ ඔහු එපා කීවා නම් කුමක් සිදු වේ දැයි මේ මොහොතේත් යශෝදර සිතයි. නමුත් සිය බලපෑමෙන් කිසිවක් වෙනස් කරන්නට නො වෙහෙසී බලා සිටින්නට දැන් ඔහු කැමති ය. සිදු වන්නේ කුමක් දැයි බලා සිටිනා එක සිදු කර ගන්නට උත්සාහ කරනවාට වඩා වෙනස් සංවේදනයක් දනවයි. ඈතකට වී බලා සිටිත්දී ඇතැම් විට ළඟට පේනා දේවලට වඩා වෙනස් දේවල් ද පෙනිය හැකි ය. ඉදිරියේ දී ඇගේ මාවත තව තවත් පුළුල් වන්නට පිළිවන. සයුරංගනා කවදාවත් බලාපොරොත්තු නොවූ තැනෙක ඇය නතර වී සිටිනු ඇත. ඇය ඒ මාවතේ පිය නගා යා යුතු ය. ගිම්හාන් කළේ ඇය නිවාස අඩස්සියක තබා ගන්නා එකයි. නො සිතා හෝ ඔහු අතින් සිදු වූයේ එයයි. දැන් ඇය ඇගේ සීමාවන් අතික්‍රමණය කරමින් නැගී සිටින්නට හදයි. ඇගේ හතර මායිම් අලුතෙන් හොයා ගෙන සලකුණු කර ගන්නට යයි. ඇගේ පියාපත් වල හයිය ගැන ස්වයං අධ්‍යයනයක යෙදෙන්නට හදයි.
ඒ වෙලාවේ මාර්ග තදබදයක් නොවූයෙන් හිතුවාට වඩා ඉක්මනින් ගමනාන්තයට පැමිණිය හැකි විය.
“එහෙනං මං යන්නද යශෝදර…”
රථ ගාලෙහි රිය නැවතුණාට පස්සේ සයුරංගනා ඇසුවා ය. මේ ඇය මෙහෙව් තැනකට පැමිණෙන පළමු වතාවයි. මේ සියල්ල ආගන්තුක ය. රැකියා සම්මුඛ පරීක්ෂණයකටවත් මුහුණ දී නැති ඇය දැන් දිවයිනේ ප්‍රකට රූපවාහිනී නාලිකාවකට තනිව ඇතුලු වීමට යයි. අදාල පුද්ගලයන් හමු වී තිර පරීක්ෂණයකට ද මුහුණ දීමට යයි. සයුරංගනා ගේ හදවත ලී මෝලක් සේ ඝෝෂා නගමින් ක්‍රියා කරන්නට වූයේ ය. නමුත් ඇය කිසිදු හද ගැස්මක් පිටතට නො පෙන්වූවා ය. මෙයින් මතුවට ඇය ලෝකයට පා තබා යා යුත්තේ තනිව ය. ගිම්හාන් ගේ හෙවනැල්ලට මුවහ වී ගෙන නොවේ.
“සයූ…”
ඇය රිය දොර අගුලට අත තබත්දී ම ඒ ඇමතුම නැඟිණ. සයුරංගනා ට දැනුණේ දුර ඈත චක්‍රාවාටයකට අයිති සුවිශේෂ තාරකාවක සිට ඒ හඬ නැගුණා සේ ය. ඇය අලුතෙන් ම හදවතින් සසල වූවා ය. මුළුමනින් ම ගැස්සී ගියා ය. සයූ…ඇයට කිසිවෙකු එසේ අමතා නැත. සයුරංගනා කියන නම ඇයට දී තිබෙන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ය. පොඩි කාලේ සිට ගෙදර අය කතා කළේ රංගනා කියා ය. පාසලේ දී සයුරංගනා කියන නම ප්‍රධාන වශයෙන් භාවිත විය. මිතුරියෝ රංගි කීහ. ගිම්හාන් ද ගෙදර අය වාගේ රංගනා කීවේ ය. රංගි කියා ද කීවේ ය. එයින් පසු ඔහු ගේ වන සියල්ලන් ද ඇය ඇමතූයේ ඒ නමිනි. යශෝදර සයුරංගනා යන මුළු නමින් කවදත් ඇය ඇමතූයේ ය. යූ ටියුබ් නාලිකාවට ඔහු සයූ’ස් කිචන් යන නම යෝජනා කරත්දී ඇයට අමුත්තක් දැනිණි. දැන් ඔහු සයූ කියනා කෙටි නමින් ජීවිතයේ ප්‍රථම වතාවට දැන් ඇය ආමන්ත්‍රණය කොට තිබේ. හැරී යශෝදර දෙස බලනා අතරේ සයුරංගනා ගේ හිතේ ඔය සියල්ල ඇඳී මැකී ගියේ ය.
“ඕල් ද බෙස්ට්. ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් ඔයා සිලෙක්ට් වෙනවමයි”
අඩි කිහිපයක පරතරයේ සිදු වූ අකුණු පුපුරා යාමකින් පසු ඔහු පිරිමිකාර සිනහවකින් යුතුව කීවේ ය.
“අනේ තෑන්ක් යූ යශෝදර”
ඇස් වලට කඳුළු පුරා එන්නට හදන්නේ ඇයි දැයි සයුරංගනා නො දැන සිටියා ය. සැබවින් ඉකි බිඳ බිඳ හැඬීමේ උවමනාවක් ඇයට දැනී නො දැනී ගියේ ය. ඇය ආපසු දොර දෙසට හැරෙන්නට හැදුවා පමණකි.
“අම්…අනිත් එක…”
සයුරංගනා ගේ ඇස් පිනි බින්දු දෙකක් වාගේ දිස්න දුන්නේ ය.
“ඔයා අද හරි ලස්සනයි”
එතැන බෝම්බයක් පුපුරා ගියා සේ ය. ඒ සිතිවිල්ල මුලින් ම යශෝදර ගේ සිත් හි නැගුණේ ඇය රියට නැගෙන්නට එත්දී ය. දැන් මේ මොහොතේ හෝ නො කීවොත් එය යළි කියා පලක් නැතැයි ඔහු තීරණය කළේ හදිසියේ ය. සයුරංගනා වහා හැරී දොර විවර කළා ය. ඇගේ මුහුණ මත මලක් බඳු සිනහවක් පිපුණි. ඕ සිනහ වූයේ යශෝදර ට නො පෙනෙන්නටයි. හදිසි ප්රභාවකින් ඇගේ ආත්මය ආලෝකවත් විය. සයුරංගනා රියෙන් බැස්සේ පුදුමාකාර ආත්ම විශ්වාසයකින් හදවත පුරවා ගෙන ය. ඇය රිය පිටුපසට යන විට යශෝදර එතැන වූයේ ය. දෙවන වතාවට ද සයුරංගනා ගේ සිනහව විකසිත විය.
“ඔයත් එනවද ඇතුළට…”
තමන් තනි වී නැත යන්න තරමට ගැහැනු හදක් මෘදු මොළොක් කරවන්නා වූ තවත් හැඟීමක් නැති තරමි. මේ සිදුවීමෙන් ඇය කොයි තරම් සැනසිලිදායක වූවා ද යන්න සයුරංගනා ගේ සිනහවේ ඕනවටත් වඩා ලියැවී තිබිණි.
“යං…”
පිළිගැනීමේ නිලධාරිනියට නිරංග ගැන කීවේ යශෝදර ය. ඇය දුරකතනයෙන් නිරංග දැනුවත් කළා ය. සයුරංගනා ව ස්ටූඩියෝව වෙත කැටිව යාමට ඔහු ආවේ ය. සයුරංගනා දුටු නිරංග ඇගේ කේශාන්තයේ සිට පාදාන්තය තෙක් ම විපරම් බැල්මක් හෙලමින් සිහින් ව සිනාසුණේ ය.
“මං ගිහිං එන්නං යශෝදර…”
සයුරංගනා ගේ ස්වරයේ පුදුම නිවීමක් විය. සැනසීමක් විය. යශෝදර හෙමිහිට හිස සැළුවේ ය.
“බය වෙන්නැතුව හොඳට කරන්න”
ඒ වචන ටික ඉදිරියේ ලබන්නට බැරි දිනුමක් තිබිය හැකි ද?
සයුරංගනා ඉතා හොඳින් තිර පරීක්ෂණයට මුහුණ දුන්නා ය. ඒ හැකියාව ඇගේ පුංචි සිරුරේ කොතැනක සැඟවී තිබුණා ද කියා ඇයට පවා සිතා ගත නො හැකි විය. පාසලේ උදෑසන රැස්වීමේ දී පන්සිල් සමාදන් කරවූ, නිවේදන නිකුත් කළ, ප්‍රධාන රැස්වීම් වලදී පෝඩියම් එකට උස නැති කමට ලෑලි තට්ටුව මතට නැග එය මෙහෙයවූ, දහම් පාසල අවසානයේ මිහිරිවට ඡත්තමානවක ගාථා ගැයූ දැරිය ඇය තුළින් අවදි වී සිටියා ය.
“බෑ බෑ කිව්වට ඔය කළේ නියමෙට…ප්‍රොෆෙශනල් ප්‍රසන්ටර් කෙනෙක් වගේ”
නිරංග ඇතුළු කණ්ඩායම සයුරංගනා ට ප්‍රශංසා කළහ.
“අපි ඉන්ෆෝම් කරන්නං. හැබැයි ඉතිං ඔයාව වැඩේට ගත්ත කියල නිල නොවෙන විදිහට කියන්නත් පුළුවන්”
“සයුරංගනා ෆ්රීනං අපි කැන්ටීන් එකට ගිහින් තේ එකක් බීල එහෙම යං”
“තෑන්ක් යූ. මං ඉක්මනට යන්න ඕන. බබා නර්සරි යවල ආවෙ. එයා එන වෙලාවට ගෙදර යාගන්න පුළුවන් වුණොත් හොඳයි”
සයුරංගනා ඒ ඇරයුම ඉතා සංයමයෙන් ප්‍රතික්ෂේප කළා ය.
“ඔයා මැරි කරල බබෙකුත් ඉන්නවද…මං හිතුවෙ ඒ බෝයි ෆ්‍රෙන්ඩ් කියල”
නිරංග තරමක් විශ්මිත වූයේ ය. මඳහසක් පෑවා මිස සයුරංගනා කිසිත් නිවැරදි කරන්නට නො ගියා ය. ඇය එසේ වූයේ ඇයිද කියා ඇය ම නො දත් මුත් සමහර කාරණා වලට හේතු හොයන්නේ නැතිව ඉන්නා තරමට හොඳ ය.
අමුත්තන් ගේ කොටසේ අසුන් ගෙන ඉවසීමෙන් සිය වටිනා කාලය ගෙවා දමමින් සිටි යශෝදර වෙතට ඇය ආවේ ජයග්‍රහණයක නිහඬ කතාව සිනහවේ තවරා ගෙන ය.
“ඉන්ෆෝම් කරන්නං කිව්ව”
“අමුතුවෙන් ඉන්ෆෝම් කරන්න දෙයක් නෑ”
“අනේ එහෙම ශුවර් කරන්නෙපා යශෝදර”
ජීවිතය කියන්නේ කොහොම තැනක් ද? සතුට එන්නේ කොයි කොයි වෙස් වලාගෙන ද? පුංචි පුංචි සතුටු මන්තර කැබලි එකතු කර ගන්නා කලාව ඉගෙන ගන්නේ කොතැනකින් ද? දිගට ම සයුරංගනා ගේ මුහුණේ තද කර ගත් සිනහවක් තිබෙන්නට ඇත.
ප්‍රකට බොජුන් හලක් ඉදිරියේ රිය නතර විණි. සයුරංගනා ප්‍රශ්නාර්ථයෙන් යශෝදර දෙස බැලුවේ ඒ වෙලාවේ ය. මෙතෙක් ඇය ඔහු අස හිඳගෙන ඇවිත් තිබෙන්නේ ඇගේ ම ලෝකයක හුදෙකලා වී යයි ඇයට දැනුණේත් ඒ වෙලාවේ ය.
“බහිමු”
“මෙතන…”
“මෙතනිං ලන්ච් ගෙනියමු. අද ලන්ච් මගෙ ගානෙ. ඔයාගෙ සතුට සෙලිබ්රේට් කරන්න”
සයුරංගනා යටි තොල සපා ගෙන බිම බලා ගත්තා ය. ඇයට හැඬීමේ උවමනාවක් දැනුණ තරමි. නැත්නම් හද සනහා ලන වැළඳගැනීමක උවමනාවක් තදින් දැනුණා විය යුතු ය.
💜️වෙනදා මෙන් ම ඔබේ ආදරය ලියා තියා යන්න.