ඉන් පසුව ඇරඹුනේ ජීවිතයේ වඩාත්ම සුන්දර කාලයක් යැයී කීම බොරුවක් නොවේ. සම්මත වුවත් අසම්මත වුවත් ඒ ආදරය තාරාගේත් මහිල්ගේත් ජීවිතයට මල් වැස්සක් බඳුව වැටෙන්නට විය. මහිලුත් තාරාත් උන්නේ එකිනෙකා වෙනුවෙන් උපන් ආදරයෙන් හදවතත් ජීවිතයත් උතුරා යන මට්ටමේ හැඟීමකින් පුරවාගෙනය.
උදෑසන ඇරඹුනේත් රාත්‍රිය අවසන් වූයේත් ඒ ආදරය හිත්වල පුරවා ගෙනය.
“ගුඩ් මෝනින්” කියා මහිල් එවන කෙටිපණිවුඩ ද රාත්‍රියේ නින්දට යන්නට පෙර ගන්නා කුඩා දුරකතන ඇමතුම් වලද තාරා ජීවිත කාලය පුරාවටම බලාපොරොත්තු වූද චිරායුගෙන් ඉල්ලමින් අයැදූද ආදරය විය.
තාරා කාර්‍යාලයේ හිඳින වෙලාවල් වන මහිල් විසින් කුඩා ගීත රෙකෝඩ් අර වට්සැප් ඔස්සේ එවන්නට විය. ඒ වනාහී මහිල්ගේ තුරුණු වියට ගැලපෙන්නක් ලෙස තාරා විටෙක සිතුවද එව්න් දෙයකින්පවා ඔහු නැති මොහොතක ඔහු ජීවිතයට ගෙන එන මිහිර නැති කර ගන්නට තාරාට උවමනා වූයේ නැත. සිත තුල වූ සන්තෝසය නිසාවෙන්මදෝ තාරා උන්නේ දිදුලමිනි. ඒ දිලිසීම ඇතුලාන්තයට පමණක්සීමා නොවී පිටතින්ද විද්‍යාමාන වන බව තාරා තේරුම් ගත්තේ අමන්දාගේ ප්‍රශ්න හමුවේය.
“මට කියන්නෙ නැතිදෙයක් උඹ ලඟ තියෙනවද?”
තවත් එක් මීටිමක් අවසන් වී ගෙදර යන්නට නොඉවසිල්ලෙන් හුන් තාරා ලඟට ගිය අමන්දා ඇසුවේසැබවින්ම තාරාගේ වෙනස් වීම අබියස පුදුමයටපත් වූ සිතුවිලි නිසාවෙනි.
“ඇයි එහෙම ඇහුවෙ?” හනි හනික ලැප්ටොප් පරිගණකයත් නෝට් පෑඩයත් අත් බෑගයට දමා ගන්නා අතරම තාරා අමන්දාගෙන් ඇසුවාය.
“උඹ සෑහෙන වෙනස් වෙලා”
“ඒ කිව්වෙ”
“මෙච්චර දවසක් මොන දේ උනත්, මොන තරම් හයියට හිටියත් උඹේ කටින් චිරායුබ්ගැන මොනව හරිම දෙයක් කියවුණා. ඒ උනාට මේ ලඟක ඉඳල උඹේ කටින් චිරායු ගෙ නමවත් කියවුනේ නෑ වැරදිලාත්. අනික උඹ පුදුම සතුටකින් ඉන්නෙ. ඒ කිව්වෙ මාරම ඇත්ත සතුටකින්. ඒක මවාගත්ත එකක් නෙවෙයි.”
අමන්දා ගේ වදන් හරිනම් තාරාව බියපත් කරන්නට හේතුවක් වියභැකි නමුත් තාර ඒ වදන් භාරගත්තේ සැහැල්ලුවෙනි. කුමක් වූවද කම් නැතැයි කියා සිතමිනි. මොන දේ නැති උනත් ආදරය නැතිවෙන්නේ නැති වගට ඇති විශ්වාසය සමගිනි.
“ඉතින් උඹටඒකට අවුල් ද?” කියා තාරා සීනුභඬින් සිනා උනාය.
“උඹ සන්තෝසෙන් ඉන්න එකට මට අවුල් යන්න හේතුවක් නෑනෙ බං. මං ඇහුවෙ උඹ ඒ තරම්සන්තෝසෙන් ඉන්නෙ මට නොකියන යම් හේතුවක් නිසාද කියල”
“ඒ තරම් සන්තෝසෙන් ඉන්නෙ මම හිතට වේදනා දෙන දේවල් ඈත් කරල සතුට අරගෙන එන දේවල් ලං කරගත්ත හන්දා”
තාරාගේ කෙලිලොල් විලසයෙන් කියූ ඒ වදන් අවසානයේ කියන්නට තවත් දෙයක් අමන්දාට ඉතුරු වී තිබුනි.
“උඹ සතුටෙන් ඉන්න එක මටත් සන්තෝසයි. ඒ උනාට දුක ඈත්කරල ලං කරගත්ත සතුට උඹට තවත් දුක් වෙන්න හේතුවක් නොවෙන්න කියල මම විශ්කරනවා”
අමන්දා කියූ දෙය බොහෝ දුර සිතන්නට කාරණා සකසන්නක් වුවද තාරා උන්නේ ඒ බව සිතන්නට වෙලාව වැය නොකරමිනි. මහිල් තමා එනතුරු වයිබ්ස් කැෆේහි බලා හිඳින බව තාරා දනී. ඔහුව එහි රස්තියාදු කරන්නට උවමනාවක් තාරාට නැත.
හාදුවක්වත්, වැලඳ ගැනීමක්වත් නැතුව ආදරයක් පැතිය හැකිද කියා තාරා මහිල්ට ආදරය කරන්නට ගත් පසුව සිතුවාය. එදා ගාලු මුව දොර පිටියේදී නින්දත් නොනින්දත් අතර සුවබර මොහොතක හිඳිද්දී තමාගේ මුවින් පිට වූ වදන් මහිල්ට ඔහුගේ සිතේ තමා ගැන වූ හැඟීම් වදන් කරන්නට අඩිතාලම සැකසුවද තාරාගේ හිතේ ගැන කිසිත් අසතුටක් තිබුනේ නැත. වූයේ විය යුත්තක් බව සිතා තාරා සතුටු වූවාය එහෙත් මේ බැඳීමට නමක් පදනමක් තිබිය යුතු නොවේද කියා තාරා සිතූ වාර අනන්තය.
චිරායු ගැන කිසිත් හැඟීමක් හදවතේ නොමැතිව ඔහුට එහා පසින් එකම සයනයක නිදියන්නට තාරාට තවදුරටත් අවශ්‍ය නැත. මේ ආදර කතාව ඇරඹුණායින් පසුව ගෙවීන්ගියඑවන් රාත්‍රින්හැම එකකදීම පාහේ තාරා රැය පහන් කලේ මහිල් ගැන සොඳුරු සිහින වල ගිලීය. ඒ සිහින වල උන්නේ මහිල් සහ තාරා පමණකි.අත් අල්ලාගෙන, තුරුලු වී ගී ගයන ඒ සිහිනවල තිබුනේ උතුරා යන ආදරයත් සතුටත් පමනකි. ඇහැරුණද විඳින්නට හැකි සිහිනයක තාරා ජීවත් වෙමින් උන්නාය.
“මීටින් එක හොඳට ගියාද?”
තාරා එනතුරු මග බලා උන් මහිල් ඇසුවේ සිනාමල් වැස්සක් තාරා වෙත සලමිනි. වයිබ්ස් කැෆේ හිදී තාරාට පමණටවඩා ලංවෙන්නට මහිල් නොසිතුවේ එය වෙනත් දෙනෙතක් මත තාරා ගැන වැරදි චිත්‍රයක්මවන්නටභේතු වනු ඇතැයි සිතාය. එහෙත් දෙනෙතින් උතුරා යන ආදරයක් වස්සවන්නට මහිල්ට හැක.
“ඔව්, එද්දි මේ අමන්දා කතාවට අල්ල ගත්තනෙ. ඒකයි ලේට් උනේ. සොරි.”
“ඉට්ස් ඕකේ”
“ඉතින් අද මොකද්ද කියන්න යන සිංදුව?”
“ඔයා ආස එකක්”
“මොකද්ද?”
“ඔයා ආසම සිංදුවක්, ගෙස් කරන්නකො බලන්න”
“මම ආසම නම් ඔයාට, ඒ උනාට ඉතින් මම ඔයා කියන නිසාම ගෙස් කරල බලන්නම්කො තව මම ආස දෙයක් තියෙනවද කියල” කියමින් තාරා වඩා සිහිලැල් සීනු හඬැති සිනාවක් නැගුවාය.
මහිල් බලා උන්නේ වඩා ප්‍රේමණීය බැල්මක් දෙනෙතේ අලවාගෙනය. ඒ බැල්ම වනාහී තාරාව නැවත වාරයක් මලක් මෙන් පුබුදුවන්නකි. උදෑසන් හිරු කිරණක් මෙන් ජීවිතය ඒකාලෝක කරන්නකි.
“ආදරෙයි”
කිසිවෙකුටඇහෙතැයි මෙන් බියෙන් මහිල් වඩා ලංව මුදු ස්වරයකින් තාරාට පැවසුවේය.
“මේ නෙක්ස්ට් වීකෙන්ඩ් එකේ මම ගෝල් යනවා. ඒ නිසා වීකෙන්ඩ් එකේ ඔයාට තනියෙන් තමයි මෙහෙ ඉන්න වෙන්නෙ”
“හදිසියෙ ඇයි?”
“හදිසියක් නෙවෙයි. යාලුවෙක්ගෙ එන්ගේජ්මන්ට් එකකට, ඌ මගෙන් ඇහුව සින්ග් කරන්න එන්න පුලුවන්ද කියල
“හ්ම්ම්, මොනව කරන්නද එහෙනං, කමක් නෑ. මම කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්නම්කො”
“කම්මැලිකමේ ඉන්න ඕන නෑ ඉතින්, මම කතා කරනවනෙ”
“හ්ම්ම්ම්”
“මම අහන්න හිටියෙ දෙයක්, ඇයි ලගඳිආයුර් එකට ආවෙ නැත්තෙ?” මහිල් එය ඇසුවේ තාරා දෙසම බලාගෙනය.
“ම්ම්ම්”
“මම ඉන්න නිසාද ඔයා දැන් එන්නෙ නැත්තෙ?”
“එහෙම දෙයක් නෙවෙයි ඒ උනාට මට දුකයි ඔයාට කියල ට්‍රීට්මන්ට් ගන්න. අනිත් අතට ඔයා ඉද්දි ඉද්දී එන කෙනෙක්ට කියල ට්‍රීට්මන්ට් ගන්නත් මට අවුල්”
“ඕකනෙ ඉතින්. ප්ලීස් එහෙම හිතන්න එප. ඔයා එන්න. මගේ ලීව් තියෙන දවස් ඔයා දන්නවනෙ. එහෙම නැති දවසක මාව බුක් කරල එන්න ඉතින්. මම කැමතියි ඔයාගෙ ට්‍රීට්මන්ට් එක කරන්න”
“හරි හරි මම එන්නම්කො. දැන් සින්දු කියන්න යන්නෙ නැද්ද ඔයා? මිනිස්සු එන්නෙ ඔයා සින්ග් කරනව අහන්න. අන්තිමේ මට බ්ලේම් එක ඒවි ඔයා දැන් මං හින්දා සින්ග් කරන්නෙ නෑ කියල” කියමින් තාරා මහිල් වෙත සිනහවකුත් කෝල බැල්මකුත් තිලිණ කලාය.
තාරා ආසා කල “සාගර තරංගා” ගීයත් තවත් ගීත දෙකකුත් ගයා අවසානයේ මහිල් යලි ආවේ තාරා නිවසට යන්නට සූදානම් වන අතරවාරයේය.
“අමන්දා අද මගෙන් ඇහුවනෙ” තාරා වාහනය වෙත ඇවිද යන අතරවාරයේ මහිල් දෙසයටැසින් බලමින් සිනාසුනාය. තමාට එහා පසින් සිටගෙන හිඳින මහිල් උසය. කඩවසම් ය..ප්‍රේමණීයය. තාරා මහිල් දෙස් බැලුවේ ඒ කඩවසම් පෙනුමට ගැලපෙන අඩවන් බැල්මකි. ඒ බැල්ම කුතුහලය රැඳුණකි.
“මොකද්ද?”
“මම සතුටෙන් ඉන්නෙ එයාට නොකියපු හේතුවක් හන්දද කියල”
සිනාවක් සමග අහස දෙස බලමින් මහිල් ඇසුවේය.
“ඉතින්, ඔයා මොකද කිව්වෙ?”
“මම මුකුත් කිව්වෙ නෑ. ඒ උනාට මට එයා එහෙම කිව්වම වෙන දෙයක් ඔයාගෙන් අහන්න ඕන කියල හිතුනා”
“මොකද්ද?”
මහිල් එසේ ඇසුවද ඒ ප්‍රශ්නයට පිලිතුර තවත් ප්‍රශ්නයක් බව තාරා දනී. ඒ ප්‍රශ්නය කුමක්ද කියා සිත දන්නවා වුවත් එය පහසුවෙන් වදන් කල හැක්කක් නොවේ. අපහසුවෙන් ශක්තිය සොයාගත් තාරා ඒ ප්‍රශ්නය මහිල්ගෙන් ඇසුවේ මේබැඳීමට දිය යුතු නම කුමක්ද කියා තේරුම් ගන්න උත්සහ කරමිනි.
“මහිල්”
“ම්ම්ම්”
“මම ඩිවෝස් වෙලා ආවොත් අපිට එකතුවෙන්න පුලුවන්ද?”