සයුරංගනා ට්‍රයිඩැක්ස් මිටියාවත දිග දිවගෙන ගියා ය. ඇයට ඉකි ලලා හඬන්නට තරම් දුකක් ද කේන්තියක් ද ආත්ම අසරණකමක් ද දැනේ. මිටියාවත මත්තෙහි රත් පැහැ හිරු කිරණ කදම්බයක් පතිත වී තිබේ. බැස යන හිරු රක්ත වර්ණ ව ඉදුණු පළතුරක් සේ බටහිර අහසේ එල්ලීගෙන හිඳී. නමුත් ඒ කිසිවක සුන්දරත්වයක් දකින්නට තරම් ඉස්පාසුවක් සයුරංගනා ගේ සිතේ වූයේ නැත.
බිම හිඳ දෑත් දෙපසට විහිදුවා පොළොවට වාරු ගත් ඕ ඉහළට මුහුණ හරවා ඇස් පියා ගත්තා ය. හිතක් වුවත් රිදිය හැකි සීමාවක් තියේ. හදවතක් වුණත් බිඳිය හැකි අංශු ගණනක් තිබේ. දැන් ඇය ඒ සියල් සීමා පසු කරමින් හිඳී.
තිලකා ඇවිත් යෝජිත විවාහයට එකඟ වන්නේ නැති එක ගැන දොස් කියා ගියා ය. ඇය එල්ල කරනා සියල් චෝදනා දරා ගන්නට සයුරංගනා ට පිළිවන. වාවා ගත නො හැකි වූයේ යමුනා විසින් සිදු කරනා බලපෑමයි.
“ඔයා ගමේ ඇවිත් යන්න එන්න. දවස් දෙකකටහරි. අර යෝජනාව කරපු මහත්තයට ඔයත් එක්ක කතා කරන්න ඕනලු”
මීට මඳ වෙලාවකට පෙර යමුනා දුරකතන ඇමතුමක් දී කීවා ය.
“අනේ අම්මෙ මට ආයෙ ළඟකදි එන්න වෙන්නෑ. නිවාඩු ඉල්ලන්න බෑනෙ එහෙම. අනික එසඳි නර්සරි යනවනෙ”
සයුරංගනා උත්සාහ කළේ අම්මා ගේ හිත රිදවන්නේ ද නැතිව නිදහසට කාරණා ඉදිරිපත් කරන්නටයි.
“රංගනා…ඒ මහත්තය කියනව ඔයාට එන්න කරදරයිනං එයා එන්නංලු ඔහේ. ඔයත් එක්ක කතා බහ කරල යන්න”
සයුරංගනා උස්සා පොළොවේ ගැසුවා වාගේ වූයේ ඒ වෙලාවේ ය.
“අම්මෙ…ඒ මනුස්සය දැං ඔතන ඉන්නවද..”
වඩාත් හඬ පහත් කොට ය ඇය ඒ ඇසුවේ. යමුනා සිනහ වූවා ය. ඒ සිනහව නො කියා කීවේ එය එසේ බවයි.
“අයියත් එක්ක අපේ ගෙදර ඇවිත්…මේ කාරණේ ගැන කියන්නම”
“අම්මෙ…මේක දුරදිග අරං යන්න එපා. මං එදත් කිව්වනෙ”
“ඉන්නකො මං ෆෝන් එක දෙන්න. ඔයාට කතා කරන්න ඉල්ලනව”
සයුරංගනා දෙවරක් සිතන්නේ නැතිව ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. ඇයට දැනුණේ ඇය වෙව්ලනවා බඳුව ය. අම්මා නැවත ද කතා කරන්නට බැරි නැතැයි අනුමාන කොට ඕ දුරකතනය මුළුමනින් ක්‍රියා විරහිත කළා ය. ට්‍රයිඩැක්ස් මිටියාවත වෙත දිව ගියේ ඒ පීඩනය උසුලා දරා ගත නො හැකිවයි.
“එයා තාම කසාදයක් ගැන කතා කරනවටවත් කැමති නෑ. හැමදාම තනියම ඉන්න තමයි කල්පනාව”
යමුනා සිනහවක් නගා ගෙන වජිර ට වග උත්තර කීවා ය.
“මට තේරෙනව මට තේරෙනව. ඔය තත්වෙට පත් වුණ කෙනෙකුට ලේසි නෑ එතනින් එළියට එන්න. මාත් අවුරුදු තුනක් තිස්සෙ එතන හිරවෙලා හිටියනෙ. ඒත් අපිට ටික ටික තේරෙන්න ගන්නව…එතන හිර වෙලා හිටිය කියල කිසි දෙයක් වෙනස් වෙන්නෑ කියල. අපි සයුරංගනාට ටිකක් කල් දෙමු”
වජිර ඉවසිලිවන්ත ස්වරයකින් කීවේ ය. බස් මුදලාලි කෙනෙකු වූවාට ඔහු යශෝදර විසින් චිත්ත රූප මවනා ලද බඳු බඩ මහත තලත්තෑනි මිනිසෙකු නොවේ. තරුණ පෙනුමෙන් යුත් මැදිවියෙහි තැනැත්තෙකි. ඔහු ව දැකීමෙන් පසු සයුරංගනා ගේ සිතේ පසුබෑමක් ඇතත් එය තුනී වී යනු ඇති බව යමුනා විශ්වාස කරයි.
සයුරංගනා ඇස් පියාගෙන ම සිටියා ය. ඇයට නිශ්චල වීමක අවශ්‍යතාවය දැනේ. මහ කුණාටුවකට පසු පරිසරය වාගේ…හැලහොල්මනක් නැතුව නැවතෙන්නට සිතේ. හිම කන්දක්, ග්ලැසියරයක්, අයිස් පර්වතයක් වාගේ එහෙම ම මිදී යන්නට ඕනේ යි සිතේ. එසේ නැතහොත් පාවීමේ අවශ්‍යතාවයක් දැනේ. වලාකුළක් මත ගුරුත්වයට අංශුමාත්‍රික බලයක් නැතුව පාවෙන්නට ඇත්නම්! එතකොට හදවතක් කියා දෙයක් තිබෙනවායි නොදැනිය යුතු ය!
හදවත තමයි භයානකම! රිදෙන්නේත්, තැවෙන්නේත්, දැවෙන්නේත්, බර දැනෙන්නේත් හදවතට ය. හදවතක් නැති වූවා නම් හුස්ම ගන්න ට පහසු වනු ඇත. පුළුවන්නම් ශල්‍ය වෛද්‍යවරයෙකුට කියා සැත් පිහියකින් හදවත ගලවා සිරුරෙන් ඉවත් කරගත යුතු ය!
වත්ත පහල ට්‍රයිඩැක්ස් මිටියාවතෙහි සිට ඉර බැස ගෙන යන අහස දෙස බලා ඉන්නා විට ඇය කුණාටු නැතිව ම නිශ්චල වන්නී ය. ග්ලැසියර නොවී ම මිදී යන්නී ය. ! මෙලොව කිසිදු පාට පෙට්ටියක නැති තරම් පාට කලවං වෙන බටහිර අහසේ අන්තිම අඩියේ දම් පාට තීරයක පාවෙන්නී ය. කොටින් ම ඇයට ඇයත් නැති වී යන ඒ ශුන්‍ය වීමට ඇය ආස ය.
ටයිඩැක්ස් මිටියාවතේ කෝටි ගණනින් පිපෙනා ට්‍රයිඩැක්ස් මල් ද සුදු පාටට බේබිස් බ්‍රෙත් වගේ පිපෙන පොඩිසිංඤ්ඤොමරං මල් වැල් ද මුහු කොට හදනා මල් ඔටුන්නක් එසඳිගේ හිස පලන්දා ඇය හිනා වෙන ලස්සන බලන් ඉන්නා එක, විශ්වයේ ඇයට තිබෙනා සුන්දර ම නිමේශය වේ.
“මගෙ සතුටු මන්තරේ…සතුටු පෙති බෝතලේ”
කියා රිදෙන්නට මිරිකත්දී එසඳි ගේ හිනාවෙන් ට්‍රයිඩැක්ස් මිටියාවත නින්නාද වේ. ඒ සිනහ හඩ තරම් සතුටක් ඇයට මේ මිහි මත තවත් නොවෙනා තරම ය.
“ඇත්තට ම මට ජීවත් වෙන්න ඕනෙ එසඳි නිසයි”
සයුරංගනා ගේ මුවින් එසේ පිට වී තිබිණ. එතකොට වසා උන් ඇස් තටු වලට මිරිකී ඉසිහින් කඳුළක් ද මිරිකී වැටී තිබිණ.
“එයා නිසා විතරද…”
කියා අසාගෙන යශෝදර ඈ ළඟ හිඳගත්තේ ය. සයුරංගනා වහා නෙතු විවර කළා ය. පාරමී ඔවුන් දෙසට එමින් සිටියා ය. සයුරංගනා ට්‍රයිඩැක්ස් මිටියාවත දෙසට දිව ගියා ය කියන ඔත්තුව යශෝදර ට දුන්නේ ඇයයි. මුලින් යශෝදර ව එවා පාරමී හෙමිහිට එදෙසට ආවේ ඔවුන් එළිමහනේ තනිව කතා බහ කරනු දැකීමත් කෙනෙකුට අලුත් කතාවක් නිර්මාණය කිරීමට හේතුවක් බව දන්නා නිසා ය.
“අනේ යශෝදර මට මැරෙන්න පුළුවන්නං මං එහෙම කරනව. ඒත් එසඳිව තනි කරල මං කොහොම එහෙම ගමනක් යන්න හිත හදාගන්නද…”
“ස..යූ..මොනාද ළමයො මේ කියන්නෙ..”
“ඇයි කවුරුත් මාව තේරුං ගන්නෙ නැත්තෙ…ඇයි මට නිදහසේ මේ දරුවත් හදාගෙන ඉන්න දෙන්නැත්තෙ…තවත් මට මේ දේවල් දරාගන්න බෑ යශෝදර…”
“රංගි…ඇයි මොකද වෙලා තියෙන්නෙ…”
සයුරංගනා ළඟින් හිඳ ඇගේ අතක් අල්වාගෙන ම පාරමී යෙහෙළිය ගේ මූණට එබුණා ය.
“අර මනුස්සය අපේ ගෙදර ඇවිත්…අපේ අම්ම මට කතා කරල ඒ මනුස්සයට ෆෝන් එක දෙන්න ගියා. මං ලයින් එක කට් කළා. මට දවස් දෙකකට ගමේ එන්න කියනව අම්ම. නැත්තං ඒ මනුස්සය මෙහෙ එන්න අහනවලු මාව බලන්න”
“ඇයි ඉතිං මේක එක වචනෙකිං ඉවරයක් කරන්නැත්තෙ…”
යශෝදර ගේ වචන තුළ තරමක දැඩි බවක් තිබුණා විය යුතු ය. නමුත් ඒ දැඩි බවින් ඔතා තිබුණේ අයිතිවාසිකමක් ගැන හැඟීමකි.
“මං කිව්වනෙ ඉතිං..දැනුත් කිව්ව”
“කියන එක හරියට කියන්න ඕනෙ. වැනෙන උත්තර නැතුව…ආයෙ ඔය වගේ යෝජනාවල් ගේන්නෙ නැති වෙන්නම”
“වැනෙන උත්තර කියන්නෙ…ඔයා හිතන්නෙත් මට දැං මේ කසාදයක්..”
කියන්නට ගිය දේ සයුරංගනා එහෙම ම ගිල ගත්තා ය.
“මේ…ගෙදරට යමුද…මෙතන ඔය දෙන්න කියෝගන්නකොට ඒකත් ඇති දකින මිනිස්සුන්ට හොඳේ”
සයුරංගනා යළි ගෙදර ගියේ පාරමී ගේ මැදිහත්වීම නිසා ය. යශෝදර ගේ හිත නො සන්සුන් ව තිබිණ. ඉක්මනින් යමක් සිදු විය යුතුය කියා ඔහු ට සිතේ. බරපතල මැදිහත්වීමක් වන්නට තවමත් ඔහු උත්සාහයක් නො දරා සිටියේ ගිම්හාන් මිය ගිය උණුහුමේ එහෙම කරන්නට ඔහු ට හිත හදා ගත නො හැකි නිසා ය. අනිත් අතට සයුරංගනා ගේ හදවතේ තුවාලය තව දුරටත් සුව අතට හැරී නො තිබූ නිසා ය. ඒ සියල්ල කාලයත් සමග සමහන් වී ගිය පසු සිය තීරණය ක්‍රියාත්මක කිරීම ගැන යශෝදර සිතා සිටී. නමුත් හැම පැත්තකින් ම සිදු වන්නේ තුවාල සුව වන්නට නොදී තව තවත් පෑරෙන එකයි.
සයුරංගනා තේ හදන්නට සූදානම් කළා ය. පාරමී අඩුවැඩිය ළං කොට දී එසඳිත් එක්ක මුළුතැන්ගෙයින් නික්මුණේ යශෝදර එහි සක්මන් කරමින් කල්පනාවේ නිමග්න ව සිටි නිසා ය. ඇතැම් විට ඔවුන්ට තනිව කතා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා විය හැකියි අනුමාන කොට ය.
“මං තාත්ත එක්කහරි අයිය එක්කහරි මේ ගැන කතා කරන්නං”
ඔහු තීරණාත්මක සරකින් කීවේ ය. සයුරංගනා අසීරුවෙන් කෙළ බිඳක් ගිල ගත්තා ය. ඇගේ උගුර කට වියළී ගිහින් තිබේ. ඇයට ම පාලනය කර ගත නො හැකි ගැස්මක් මුළු සිරුර පුරා ම දිව යනු දැනේ. සයුරංගනා හුස්ම ගත්තේත් මුව මඳක් විවර කොට ය. සියල්ල තීරණය කිරීමේ අයිතිය ඔහු ට පවරා නිසල වන්නට ඇත්නම් යයි ඇයට දැනී නො දැනී ගියේ ය. නමුත් කොහොම එහෙම කරන්න ද? යශෝදර ට අයිතිවාසිකම් කියාගෙන මල්කාන්ති රවා බලා සිටිනවා සේ ඇයට දැනේ.
මේ වෙත්දී ඔහුත් එක්ක ඇති වී තිබෙන බැඳීම කුමක්ද කියා නිර්වචනය කිරීමට සයුරංගනා ද අපොහොසත් ය. හැම එකට ම යශෝදර කියා ඔහු සෙවීම ඇරඹුණේ ගිම්හාන් නික්ම ගොස් අහවල් දවසේ සිට යයි නිශ්චිත ව කියන්නට ඇය දන්නේ නැත. නමුත් යශෝදර කියා කියන්නට වෙන හැම තැනක ම ඔහු සිටියේ ය. ඔහු උවමනා වන හැම තැනක ම සිටියේ ය. මෙතැන් පටන් දිවියෙහි ඔහු ට අයිති තැන කුමක් ද? සයුරංගනා ඇයට ම නො දැනී සුසුමක් හෙළුවා ය.