මා හද තුළ ඔබ 16

තඹරු පියුම්රා දිවාකර ඉතා හොඳින් කාර්යාලීය වැඩකටයුතු සිදු කළා ය. අකුරට ම සිය වගකීම් ඉටු කළා ය. රාජකාරිය දේවකාරිය සේ කලකාගෙන, උද්‍යෝගිමත්ව හැම මොහොතක ම වැඩ කළා ය. ඈ තුළ සිටි ආඩ්බරකාර චරිතය හිත පත්ලෙහි ඔබා ගෙන කා සමගත් සුහදව ද සිනහ මුසුව ද රාජකාරී මට්ටමෙන් ද ගනුදෙනු කළා ය. ඇගේ මුහුණ මත හැම මොහොතක ම සිනහවක් විය. රාජකාරී මට්ටමෙන් ඇය ඉල්ලා සිටි යමක් පැහැර නො හරින්නට බැරි තත්වයට බොහෝ කාර්යාල සගයන් නිරායාසයෙන් ම පත් වී සිටියහ. ඒ, එපමණට ම ඇය කාරුණික වන නිසා ය. මිත්‍රශීලී වන නිසා ය. රාජකාරී උදව්වක් වුව පෞද්ගලික මට්ටමෙන් තරම් යටහත් ව ඉල්ලා සිටින නිසා ය.

“ඔහොම කිව්වහම කොහොමද ඉතිං බෑ කියන්නෙ…”

තඹරුගේ ඉල්ලා සිටීමක දී තරුණ ද වැඩිහිටි ද කියා වෙනසක් නැතිව පුරුෂ පක්ෂයේ ප්‍රතිචාර ලැබේ. ඇය ඔවුන් අතරේ ආදරණීය චරිතයක් වෙමින් සිටියා ය. ඇගේ රාජකාරීන් සාර්ථක කර ගන්නට එකී පසුබිම මැනවින් බලපෑවේ ය. ප්‍රධාන සම්බන්ධීකරණ කලමණාකාරවරයාට, තඹරු නිසා ඔහු ගේ කාරිය වඩාත් පහසු වූයේ ය. ඔහු ට ඉටු කර ගන්නට ඇතැම් විට දින කිහිපයක් වැය වෙන කටයුත්තක් ඇය පැයකින් දෙකකින් හෝ ඊටත් අඩු කාලයකින් කර ගත්තා ය.

කාර්යාලයීය කාන්තා පාර්ශවය තුළ තඹරු ඊර්ෂ්‍යාවක් ජනනය කළා වූ බව ඇත්ත ය. නමුත් මූණිච්චාවට හෝ ඔවුන්ට ද ඈ හා සුහද වෙන්නට සිදු විය.

“අපි ජීවිතේට දැනං හිටියෙ නැති මායං එයා දන්නෙ”

ඇතැම් විට ඔවුන් අතරින් කෙනෙකුට එහෙම කියන්නට ම සිදු විය. නමුත් තඹරු දැන සිටි මායමක් නැත. ඇගේ කරුණාවන්ත ස්වරයත්, ආදරණීය සිනහවත් පමණක් මායාකාරී වූයේ ය. සමහර විට තඹරු ට තනිව සිනහ නැගේ. පාසල් සමයේත් විශ්ව විද්‍යාල ජීවිතයේත් ඇයට අරක් ගෙන උන් ආඩම්බර තඹරුට ඒ කටයුතු වලින් අඩක් හෝ සාර්ථක කර ගත නො හැකි වන බව නො අනුමාන ය. කෙසේ වෙතත් ඇය සීමාවන් දැන සිටියා ය.ඒ සීමාවෙන් මෙපිටට කිසිවෙකු ට ඇඟිල්ලක් හෝ පෙවිය නො හැකි ලෙස ඇය සීමාව නඩත්තු කළා ය. එහෙයින් ම ඇගේ පෞරුෂය අනිත් කාන්තාවන් අතරේ කැපී පෙනුණේ විය. පිරිමින්ගෙන් වැඩ ගැනීමේ කලාවෙහි ඇය පිකාසෝ කෙනෙකු යයි කියමින් සම්බන්ධීකරණ කළමනාකාරවරයා නිතර සිනහ වෙයි.

සමනල් ඇය ගැන උනන්දු වූ අතීතය අමතක වී ගියා සේ ඔහු ඉදිරියේ ඇය හැසිරුණා ය. ඇය රාජකාරී කරනා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඔහු ට ලැබිය යුතු සහාය ද ගෞරවය ද නො අඩුව ඇගෙන් ලැබිණ. ඔහු නො දැන සිටි අලුත් තඹරු කෙනෙකු ලෙස ඕ ඔහු ට සුහදශීලී ද වූවා ය. එය වැඩ කිරීමට පහසුවක් ද විය.

“තඹරු කොහොමහරි අපේ කොල්ලො ටික ඔක්කොම අල්ලගත්ත නේ…”

වීදුරු කුටිය තුළට වී මුළු කාර්යාලය ම නිරීක්ෂණය කරනා සමනල් ඇයට එලෙසින් විහිළු කළේ ය.

“සීඊඕගෙ ඉඳලම මේකෙ ඉන්න පිරිමි ටිකගෙ නහය විදගෙන ඉන්නෙ එයා”

කාන්තා පාර්ශවයේ ඇතැමුන් රහසින් එසේ මුමුණා ගත්හ. වාචිකව එසේ චෝදනා නොකරන තරුණ සේවිකාවන් පවා ඒ වගේ කතාවකදී විරුද්ධ නොවී මඳහසකින් එකඟ වූහ.

දැන් සමනල් දිවයුරු රණසිංහ ප්‍රේමය විමසමින් තඹරු පසුපස එන්නේ නැත. එහෙම එන්නට හේතුවක් ද නැත. ඇය උදේ අටේ සිට හවස පහ වනුරුත්, ඇතැම් විට ඊට පසුවත් ඔහු ගේ දෑස් මානයෙහි ගැවසෙන නිසාවෙනි. අනිත් අතට සිය අදහස ඇයට ඒත්තු ගන්වා අවසාන බව ද ඔහු විශ්වාස කළේ ය. දැන් වන්නේ තඹරු ගේ වාරයයි. ඒ කීරණය ගන්නට පූර්ණ නිදහස ඇයට තිබිය යුතු ය. අවශ්‍ය කාලය මුළුමනින් ඇය ලබා ගත යුතු ය. කිසිවෙකුගේ, අඩු තරමින් ඔහු ගේ වත් බලපෑමකින් තොර ව, සූර්යෝදයේ පිබිදෙන මලක් තරම් ස්වභාවික ලෙස ඇගේ සිත පිබිදිය යුතු ය. එනයින් තඹරු කෙරෙහි සමනල් හැසිරුණේ අතිශය ප්‍රවේසමෙනි. නමුත් දිනෙන් දින ඔහු තව තවත් ඇය වෙත බැඳෙමින් සිටියේ ය.

ඇගේ කුටියෙන් හමනා සල්මල් සුවඳ දැන් සමනල් ගේ ආත්මයේ සුවඳ බවට පත් වී තිබේ. හැම දවසක ම තඹරු කෙසේ හෝ සල් මලක් දෙකක් කඩාගත්තා ය. ඇතැම් විට උදේ අවදි වූ ගමන් ම වගේ පාරට ගොස් සල් මලක් නෙලා ගත්තා ය. ඇතැම් දේවල් දෛනිකව නිතර සිදු වෙත්දී පුරුද්දක් බවට පත් වේ. සල් මලක් නැතිව කාර්යාලයට යන්නට වුණොත් එය මහත් අඩුවක් සේ ඇයට දැනෙනා කරම් විය.

“ප්‍රථම වැටුප ලැබෙන දා කල් ඇතිව ම කාර්යාලයීය සගයෝ තඹරු ට වදේ ගසන්නට වූහ. ඔවුහු ඇගෙන් කේක් ඉල්ලා සිටියෝ ය.

“හරි හරි. මං අම්මට කියල කේක් දාගෙන අරං එන්නං. අදම ඕන නෑනෙ”

ඇය සියුම් ලෙස ඒ වදයෙන් ගැලවී ගන්නට බැලුවා ය.

“එහෙම බෑ. සෙලිබ්‍රේට් කරන්න ඕන දවස අදනෙ. අදයි කේක් කන්න ඕනෙ”

තඹරු සිනහ වූවා පමණ ය. නමුත් ටික වෙලාවක් යන විට ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේ ය.

“මිස්ගෙ පාර්සල් වගයක් ඩිලිවර් කරන්න තියනව. පොඩ්ඩක් එළියට ඇවිත් ගන්නවද…”

තඹරු පිටතට ගියේ කුතුහලයෙනි.  ඇය කිසිත් ඇනවුම් කොට තිබුණේ නැත. කැබ් රථයකින් ඇය වෙතට භාර වූයේ කේක් පෙට්ටි කිහිපයකි. තඹරු වඩාත් විශ්මිත වූයේ ඒ කේක් පෙට්ටි ‘කේක් ඇන්ඩ් කොෆී’ වල නම මුද්‍රිත ඒවා වූ නිසා ය. ඇතුළට විත් කේක් පෙට්ටි ටික මේසය මතින් තැබූ ඕ වහ වහා අම්මා ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

“අනේ අම්මෙ ඔයා කේක් හදල එවනව කියල මට කිව්වෙවත් නෑනෙ. මේ කට්ටිය වද දිදී හිටියෙ ෆස්ට් සැලරි එකෙන් කේක් ඕනෙ කියල. මං කිව්ව ඉතිං අම්මට කියල හදල පස්සෙ ගේන්නං කියල. ඔයානං සෝ ස්වීට් අනේ. මගෙ සුරංගනාවි. උම්මා. ගෙදර ඇවිත් උම්ම ගොඩක් දෙනෝ”

ඇය කියවා ගෙන ගියා ය. රන්මුතු සිනහවකින් දියණිය ගේ ස්තූති කතාව අසා සිටියා ය.

“මං ඔයාට ගෙවනව හැබැයි”

“හරි හරි මට ගෙවල තියෙන්නෙ”

“ගෙවල තියෙන්නෙ…කවුද…”

උස්සා පොළොවේ ගැසුවා සේ එවර නම් ඇය කැළඹී ගියා ය.

“ඔයාගෙ සීඊඕ. සමනල් පුතා”

“මිස්ට සම..නල්…”

එහෙම කියන ගමන් තඹරු ගේ ඇස් ඉදිරිපස වීදුරු කුටිය වෙත යොමු විය. ඇදෙස බලා උන් සමනල් දඩබ්බර සිනහවකින් ඉවත බැලුවේ ය. ඒ මුල දී ඇයට හුරු පුරුදු ව තිබි සිනහව ය. එපා කියත්දී ඈ හඹා එත්දීත් ඔහු ගේ මුහුණේ දඟ කළ මුරණ්ඩු සිනහව ය.

“හ්ම්. ඊයෙ උදේ මට ඕඩර් කළේ. උදේම ජිම් එකට ඇවිත් යන ගමන්. තඹරු පිටින් කේක් ගන්නෙ අපරාදෙනෙ…කඩේ කේක් වලට වගේ ආන්ටිගෙ කේක් රස නිසා මෙහෙං ගන්න එක හොඳනෙ කිව්ව. මං සල්ලි එපාම කිව්ව. කේක් වල ගාන ඔයාගෙ සැලරි එකෙන් කපා ගන්නං කියල බලෙංම දීල ගියා. කැබ් එකක් දාල එහෙට ගෙන්නගත්තෙත් සමනල් පුතා”

“ඉතිං ඔයා මට ඊයෙ කිව්වෙ නෑනෙ අම්මෙ”

“මට කිව්වනෙ ඔයාට කියන්න එපා කියල”

තඹරු ඒ දුරකතන සංවාදය නිමා කළේ විදුලි දහරක් ස්නායු සෛල දිගේ සිරුර පුරා සංසරණය වත්දී ය. ඔය වාගේ හිතුවක්කාර වැඩ කරන්නට ඔහු දන්නා බව ඇය නො දන්නවා නොවේ. කේක් ටික එහෙම ම තිබියදී ඇය සීඊඕ කුටියට ගියා ය.

“මොනා කියල බනින්නද දැං ආවෙ…”

සමනල් ගේ දෙතොල් අතරේ තවමත් අර මන්දහාසය රැලි නගයි.

“මං කේක් ගේන්නනෙ හිටියෙ”

ඔහු සීඊඕ ය කියා මෙහෙම වෙලාවක ඇඟට කඩන් නො පැන ඉන්නා සැටි ඇය දන්නේ නැත.

“හරි ඉතිං දැං ගෙනාවනෙ”

“ඔය වගේ වැඩ සීඊඕ කෙනෙකුට බොළඳ වැඩියි කියල හිතෙන්නැද්ද…”

“සීඊඕ නෙවේ ඒක කළේ. පිස්සු වඳුරෙක්”

තඹරු යටිතොල තදින් සපාගත්තා ය. අයිස් කුට්ටියක් සේ එහි පැමිණි ඇය දිය වෙමින් යන හැටි ඇයට දැනේ.

පාලිත ගේ ද උදව් ඇතිව හැන්දෑවේ ඇය කේක් කැපුවා ය. සුදු පීරියසකට සමනල් ගේ කැබැල්ල වෙන් කොට ඔහු වෙත ගෙනගොස් දී, ඉතිරි කේක් කඩදාසි පිඟන් මත තබා බෙදා හරින්නට පාලිත ට පැවරුවා ය. ඒ හෝරාව කාර්යාල පරිශ්‍රයට කුඩා තේ සාදයක් බඳ වූයේ ය. කවුරුත් කේක් කමින් තඹරු ට සුබ පතා ගියහ. සමනල් ඔහු ගේ කේක් කැබැල්ල සහිත පීරිසියත් සමග ම තඹරු ගේ කියුබිකල් එකට පැමිණියේ ය.

“අම්මට කියන්න කේක් රසයි කියල”

“හෙට ජිම් එකට එනවද..”

තඹරු ගෙන් කඩඉම් ප්‍රශ්නයකි.

“හෙට…සැටර්ඩේනෙ…ඔව්. ඇයි…”

සති අන්තියේ දින දෙක ඔවුන්ට නිවාඩු ය. ඇයට මේ රැකියාව ලබා දීම වෙනුවෙන් සමනල් ට කුඩා භෝජන සංග්‍රහයක් පැවැත්විය යුතු යයි කේක් පෙට්ටි දුටු මොහොතේ සිට තඹරු ට සිතෙමින් තිබේ. ඔහු හෙට මත්තේගොඩ එනවා නම් ඒ හොඳ ම දවස වනු ඇත. ඔහු වන් කෙනෙකුට දිය හැකි ත්‍යාගයක් ගැන ඇයට සිතිය නො හැකි ය. නමුත් ඔහු රන්මුතු ගේ කෑම වල රසය ගැන නිතර කියවන නිසා එය හොඳ තිළිණයක් වනු ඇතැයි ඇයට හදිසියේ ම සිතිණ.

“එහෙනං ලන්ච් වලට අපේ ගෙදර එන්න”

“ශහ්…වාව්…වොන්ඩර්ෆුල්…මාවලස්… එහෙනං මං අද රෑ ඉඳලම ෆාස්ටින් ඉන්න ඕනෙ”

තඹරු නැගෙන්නට ආ සිනහවට අවසර නොදී හිටියා ය. ඒ ආඩම්බර හැසිරීම ඔහු අස ඇයට වඩාත් පහසු ය. සමනල් ට ද සුවපහසු එතකොට ය. ඇය රාජකාරී මට්ටමින් සුහද නොවී ඔහු ට රවනකොට ගොරවනකොට ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles