වෙත්තමුනි අපිට කියපු ගෙවල් හරියට එනකොට රෑ හත විතර වෙලා තිබුණා.වටෙන්ම කට්ට කළුවර වෙලා තිබුණේ ළඟ පාතක ගෙයක් දොරක් නැති හින්දා කියන එක මට තේරුණා.
“මහා ඝන කැලයක් නේ..අලි කොටි ඉන්නවද දන්නෙත් නෑ..මොන වනාන්තරයකද මේ ගෑනි රිංගගෙන ඉන්නේ..”
ප්‍රහාන් ඇහුවේ අපි හැමෝටම ඒ වෙනකොට හිතේ ඇතිවෙලා තිබිච්ච ප්රශ්නය..
“අපි මේ හරියෙන් වාහනේ දාලා හිමිහිට ඉස්සරහට ඇවිදගෙන යමු. වෙත්තමුනි කියපු විදිහට මෙන්න මේ ඉස්කෝලේ ගාව තියෙන පාරෙන් තමයි අපි ඇතුළට යන්න ඕනේ..ඒ පාරේ තියෙන අන්තිම ගෙදර..”
රාජරත්නම් එහෙම කියල වාහනයෙන් බැස්සේ ආරියවතීට දෙන්න ගත්තු ස්පෙශල් බෝතලෙත් අරං..
#රාස්සගල කනිෂ්ට විද්‍යාලය..#
කියලා බෝඩ් එකක ගහලා තියෙනවා යන්තම් හඳ එළියට පෙනුන.
” එහෙනම් ඕගොල්ලෝ තව ටිකක් දුර මාත් එක්ක ඇවිල්ලා නවතින්න.දැන් වෙලාව හරියටම හතයි දහයයි.රෑ එකොළහයි දහය වෙනකනුත් මම ආවේ නැති උනොත් ඔයාලා ඉක්මනින්ම ළඟම තියෙන පොලිසියට මේ ගැන දැනුම් දෙන්න..”
රාජා එහෙම කියනකොට මම රාජගෙ අතින් අල්ලගත්තා.
“රාජා.. කලබල වෙන්න එපා..ඊට වඩා හොඳ තීරණයක් අපි අරගමු.අපි තලාවයි ප්‍රහාන් වයි මෙතන තියමු.අපි දෙන්න යමු ඒ ගෙදරට.ඇත්තටම රාජා අපි කවුරුවත් දන්නෙ නෑ ඒ ගෑනු කෙනා කොයි වගේ කෙනෙක්ද කියන්න.මේක සුළුවෙන් තකන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි.අයිස් කන්දක උනත් මතුපිටින් පේන්නේ හතරෙන් එකයි කියලා කියනවානේ.මට හිතෙන්නෙ මේ ප්‍රශ්නෙත් අන්න එහෙම එකක්.මේක සුළුවෙන් තකන්න ඕන දෙයක් නෙමෙයි.රාජා මේකට විරුද්ධ වෙන්න එපා.අපි දෙන්නම යමු… මේ දෙන්නව මෙතන තියලා..”
මම එහෙම කිව්වහම රාජරත්නම් මගේ මූණ දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා මූණෙන්.. එහෙනම් යමු කියන එක කියලා ඉස්සරහට යන්න පටන් ගත්තා.තලම්මැහැර යි ප්රහානුයි එතන නැවතිලා අපි දෙන්න දිහා බලාගෙන හිටියා.
ඒක නිකං ගුරු පාරක්.
දෙ පැත්තෙන්ම තිබුණේ රක්ෂිත වනාන්තරයක්.අපි ෆෝන් එකේ ලයිට් එක ගහ ගත්තෙ පාර හරහා සරපයෝ මාරු උනොත් පේන්නෙ නැති හින්දා.පාර අවසාන වේගෙන එනකොට පුංචි කහපාට ලාම්පු එළියක් වගේ එකක් පෙනුනා.පිරිමියෙක් උනාට ලද බොළඳ ගෑනියෙක්ගෙ වගේ මගේ හිත එහාට මෙහාට වැනෙන්නේ ඇයි කියන එක හිතාගන්න බැරුව ගියා.හිතේ සැකයට ද මං දන්නෑ මට මහ ගඳක් දැනෙන්න පටන් ගත්තා.මම නිකන් හිතෙන් හිතලා බැලුවා.ඉස්කෝලෙ ගාවින් හැරුනහම ඉස්කෝලේ ඉවර වෙනවා මීටර් සීයකින් විතර..දැන් අපි මීටර් පන්සීයක් විතර ඉස්සරහට ඇවිදගෙන ආවා.මේ කළුවරේ ඇහැට පේන මානයක වෙන කිසිම ගෙයක් පහු උනේ නෑ. ඉස්කෝලේ මීටර් සීයකින් පහු උනාට පස්සේ පාරේ දෙපැත්තෙම තියෙන්නේ මහා රූස්ස රක්ෂිත වනාන්තරය. ජොලි මූඩ් එකක හිටියනම් සොබා දහම විඳින්න පුළුවන් හොඳම තැනක්.හැබැයි දැන් ඉන්න මානසිකත්වය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.හරියට නිකන් පොඩි එකෙක් වගේ හැමතිස්සෙම මට හිතුණා කවුරුහරි කැලේ අස්සෙන් එලියට පනී කියල. ඒ එකපාරටම ගස් අස්සෙන් මතුවෙන කෙනා
සිස්ටර් කෙනෙක්… ෆාදර් කෙනෙක් වගේ උනොත්.. එයාගේ පිටිපස්සට හඳ එළිය වැටිලා තිබුනොත්..
ඒක මාර හොරර් ගතියක් වෙයි කියලා හිතුනා. ..
මට හිතෙන දේවල් රාජරත්නම්ට කියන්න මට ලැජ්ජා හිතුනා.මිනිහා හිතයි මම කොහොමත් මානසික වෛද්‍යවරයා හින්දා ඕවර් තින්කින් කියලා … මේ අව්අස්සෙ මොන දේකටද මම දන්නේ නෑ මට ස්ටීෆන් කින්ගේ පෙට් සමෙට්රි මතක් වුණා. ඒ කතාවේ අන්තිම කොටසේ කතාවේ ප්‍රධාන පිරිමියා තමන්ගේ නෝනාගේ මැරිච්ච මිනිය කර ගහගෙන සුරතල් සතුන්ගේ සුසාන භූමිය හොයාගෙන වැල් පාලම දිගේ යන දර්ශනය මට මැවී මැවී පෙනෙන්න පටන් ගත්තා.
අපි දෙන්නගේ ෆෝන් වල ලයිට් එළියෙන් ලෑලි වලින්ද සිමෙන්ති වලින්ද හැදුවේ කියලා හරියට හිතාගන්න බැරි දිරාපත් වනු අමුතු ගෙයක් පේන්න පටන් ගත්තා.එතකොට අපි දෙන්නම ඉවෙන් වගේ දැනගත්තා අපි හරියටම ගමනාන්තයට ඇවිල්ලා කියලා …
“මේ ගෑනි ගෙ ගෙදරට ලයිට්වත් නෑනේ..”
රාජා කුටු කුටුවෙන් කිව්වා.
දියසෙවල බැඳිච්ච හද්ද පරණ බංගලාවක කෑල්ලක් වගේ මට නං කළුවරේ පෙනුනේ. දිරලා කෑලි ගැලවෙන්න ළං වෙච්ච ගේට්ටුව අල්ලන්නත් මට බය හිතුනේ බැරිවෙලාවත් කෑල්ලක් ඇනුනොත් ටෙටනස් වලට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න අනිවාර්යෙන් සිද්ධවෙන හින්දායි. ඔය මොන ඉන්ජෙක්ෂන් එක ගැහුවත් මම නම් ටෙටනස්වලට හරි බයයි. ගැහුවම සතියක් විතර අත රිදෙනවා..
මොකක් හරි නොපැහැදිලි භාෂාවකින් ස්තෝත්රයක් කියන හඬක් ඇහී නොඇහී යනවා වගේ දැනුන හින්දා මම රාජාගේ මූණ දිහා බැලුවා..
“මං හිතන්නේ මේ හුළඟ..කැලේ ගස් අස්සෙන් හමාගෙන එනකොට තමයි ඔය කවුරු හරි මුමුණනවා වගේ ඇහෙන්නේ..”
රාජාගේ රාජකාරී ජීවිතයත් එක්ක මේවා බොහොම සුළු දේවල් හැටියට දැනුනත් මගේ රාජකාරී ජීවිතයේදී මම මේ වගේ අත්දැකීම් වලට කවදාවත් මුහුණ දීලා තිබුනේ නෑ.ඒ හින්දා ඇත්තටම මම හිටියේ හරිම තිගැස්මෙන්..මොනා උනත් මේ වගේ ගමනක් රාජාව මට තනියම එවන්න බැහැ කියලා හිතුන හින්ද තමයි අවදානම නොතකා මම රාජ පස්සෙන් ආවේ. ඒක ඉතිං සීයට සීයක්ම රාජරත්නම් වෙනුවෙන් ඇතිවෙච්ච ප්‍රේමයම නෙමෙයි කියන්නත් පුළුවන්.මම දැන් මේ රහස් චාරිකාවේ ප්‍රධාන රසිකයෙක් වෙලා ඉවරයි.ඇතිවෙන්න දේකුත් නැති නැති වෙන්න දේකුත් නැති මගේ ජීවිතයේ මට ඕන වෙලා තිබුනේ මේ කතාවේ අන්තිම මොකද වෙන්නේ කියලා දැනගන්නයි.
“කවුරුවත් පේන්න නෑ වගේ නේ..”
මම එහෙම කිව්වහම රාජා මිදුලෙ ටිකක් ඉස්සරහට ගිහිල්ලා
“ආරි අක්කේ … ආරි අක්කේ …”
කිව්වා .
ටික වෙලාවකින් කසිකබල් ලෑලි දොරක් අර පරණ හොල්මන් ෆිල්ම් වල වගේ
ඥා..ස් ගාලා ඇරුනා..
දිග ලෝගුවක් වගේ ගවුමක් ඇඳගත්ත ගෑනු කෙනෙක් භූමි තෙල් ලාම්පුවක් අතින් අරගෙන දොර අස්සෙන් එළියට ආවා..
“සමනල්ලු දෙන්නම ඉවරයි..”
රාජරත්නම් එහෙම කියනකොට මට හිතාගන්න බැරුව ගියා..මොකක්ද ඒ කියපු අන්ඩර දෙමලෙ කියලා…
මට තේරුම් ගන්න බැරුව ගියා.
“ඒක මේගොල්ලන්ගේ රහස් වචනයක්.මට ඒක වෙත්තමුනි කිව්වේ. ඕක කිව්වෙ නැත්තං අද ඔය ගෑණු මනුස්සයාගේ දොර ඇරවන එක බොරු..”
රාජා මට කුටු කුටු ගාලා කිව්වා..
වචනයක්වත් නොකියපු ගෑනු කෙනා කුප්පි ලාම්පුව දිගටම උඩට කරලා අල්ලගෙන හිටියේ හරියට අපට පාර පේන්න වගේ.අපි දෙන්නා හෙමින් හෙමින් ගේ පැත්තට ගියා.
“කවුද මේ? …”
“ආරි අක්කාව පොඩ්ඩක් හම්බවෙන්න කියලා ආවේ.. වෙත්තමුනි මහත්තයාගෙන් තමයි විස්තර අහගෙන ආවේ.බයවෙන්න එපා! අපෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ..අපිට ආරි අක්කගෙ උදව් ඕන වෙලා තියෙනවා.”
රාජ රත්නම් එහෙම කිව්වේ කැඩිල බිඳිලා තිබිච්ච ගෙදර පඩිය නගින ගමන්..
“ඇතුලට එනවද එළියෙම ඉඳගන්නවද…”
“නෑ අපි එළියේ ඉමු. සනීප හුළඟකුත් එනවානේ…”
රාජරත්නම් උත්තර දෙන්න ඉස්සර වෙලා පැනලා මම උත්තර දුන්නේ ඇත්තටම මට ඒ ගේ ඇතුලට යන්න බය හිතිච්ච හින්දයි.අපේ තාත්තා ඉස්සර කියලා තියෙනවා නොදන්නා වතුරට බහින්නත් එපා.හිස් කොලයක අත්සන් කරන්නත් එපා කියලා. ඒ වගේම දෙයියො පය ගහන්න බය අඩවිවල මෝඩයෝ කරණං ගහනවා කියලා.ඔය කියමං වලින් මොන එකද මෙතනට අදාළ වෙන්නේ කියන එක මට හිත කලබල හින්දා හරියට ගලපගන්න බැරි උනා.
වචනයක්වත් කතා කළේ නැතිව ඒ ගෑනු මනුස්සයා ගේ ඇතුළට ගිහිල්ලා පුටු කබල් දෙකක් අරගෙන එළියට ආවා.අපි කවුද කින්ද මන්ද කියලා අහන්නෙත් නැතුව මේ තිත්ත කළුවරේ පුටු කබල් දෙකකුත් අරගෙන එක පාරටම ආපහු එනකොට මටනම් හිතාගන්න බැරුව ගියා.එතන යම්කිසි අසාමාන්‍ය ගතියක් තියෙනවා කියලා මට හිතුනා.
සම්පූර්ණ පිඟානක් තරම් විශාලෙට හඳ පායලා තිබුණ හින්දා මට ආරි අක්කගෙ මූණ බොහොම පැහැදිලිව පෙනුනා.
එතන හිටියේ ගැහැණියෙකුත් නොවන පිරිමියෙකුත් නොවන අර්ධනාරී මනුස්ස රූපයක්.. සුද්ද සිංහලෙන්ම කියනවනම් පොන්සියෙක්.. මහ රෑත් තොල්පාට කරලා ඇස් ඇඳගත්ත පොන්සියෙක්.. ලාලිත ශරීරය මැද්දෙන් මස්ගොබ පිම්බුනු යකඩ වගේ අත් දෙකක්… සුකුමාල ඉඟසුඟට පස්සේ දඬු කඳක් වගේ හයිය කකුල් දෙකක්… මස්කාරා තොල් ආලේපන රෝස පෞඩර් පිරිච්ච මූනක්…
තනිකරම මල හොල්මනක්…