අපේ බබාට තමයි බැරි.. අල්ලපු ගෙදර බබා මෙයාටත් වඩා පොඩියි. ඒත් එයාට ඕන දෙයක් තේරෙනවා. අයියගෙ පුතා තව ම ඉස්කෝලෙ එකේ. අපේ දුව තුනේ පන්තියෙ වෙලත් එයාට තවම හරියකට කියවන්නවත් බෑ. සමහර අම්මලා දුරදිග නොබලා කරන කතාබහ තුළ තියෙන්නෙ මේ වගේ නිෂ්පල සංසන්දනය කිරීම් සහ අනවශ්‍ය විදියට ගොඩනගාගන්නා මානසික කරදරවීම්. මේ වචන සමහර අවස්ථාවලදි තමන්ගෙ දරුවන් ඉදිරියේ දී ම ඉවක් බවක් නැතිව කියවන අම්මලාට නොතේරෙන දේ තමයි, ඒ වචන තමන්ගෙ දරුවන්ට ඇතිකරන පීඩනය, පසුබෑම සහ මානසික කැළඹීම කොයිතරම් දරුණු ද කියන එක. දරුවන්ගේ හැකියාවන් විවිධයි. කිසිම දරුවෙක් තවත් දරුවෙකු හා සැසඳීම අතිශයින් ම අනුචිතයි.
වෙන එකක් තබා එකම පවුලේ එකම මොහොතක එකම මව්කුසින් ඉපදෙන නිවුන් දරුවන් අතර පවා රූපයෙන් පවතින සමානකම් ගතිගුණවලින් හෝ හැකියාවන් අතින් දකින්නට අපහසුයි. දරුවන්ගේ අවබෝධ මට්ටම් විවිධයි. එක ම සිදුවීමක් වුවත් එක ම වයසේ සිටියත් ඔවුන් කිසිවිටෙකත් සමාන ප්‍රතිචාර දක්වන්නේ නැහැ. සමහර දරුවන් විෂයයන් ඉගෙන ගන්නට දක්වන උනන්දුව තවත් දරුවෙක් දක්වන්නේ චිත්‍ර අඳින්නට හෝ යමක් දෙස ඇතිවන තුරු බලාසිටින්නට හෝ විෂය පරිබාහිර වෙනත් යමකට විය හැකියි. ඉතින් එවැනි අවස්ථාවක දෙමව්පියන්ගේ සැසදීම හා ඒ හරහා දරුවා හෑල්ලු කිරීම තුළ විනාශ කරදමන්නේ දරුවා තුළ සැගව ඇති එවන් සුවිශේෂ හැකියාවක් විය හැකියි. මේ නිසා දරුවන් සැසඳීම අතිශයින් හානිකරයි.
පැලයක් සරු පල සපිරි ගසක් වන්නේ ඉවසිල්ලෙන්, වගකීමෙන් නිසි කලට දිය පොහොර ලබා දී රැක බලාගත් විට පමණයි. දරුවෙක් සම්බන්ධ ව තීන්දු තීරණ ගැනීම, ඔවුන් රැකබලා ගැනීම කළ යුත්තේත් එපරිද්දෙන් ඉතා සියුම් ව සැලකිලිමත් වෙමිනුයි. ඔබේ දරුවන් ගැන ඒ සැලකිල්ල, අවධානය, රැකවරණය වෙනුවට අනිත් දරුවන් සමඟ සසඳමින් නොහැකියාවන් ගැන පසුතැවෙමින් කටයුතු කළොත් දරුවන්ට සිදුවන්නේ මෙන්න මේ කනගාටුදායක තත්වයන්ට මුහුණ දෙන්නටයි.
මානසික ආතතිය සහ හීනමානය
දරුවන් නිතරම අනෙක් දරුවන් හා සැසඳීම නිතැතින්ම ඔවුන්ට මානසික ආතතියක් ඇති කරන අතර ඔවුන් ගැන නිරතුරුවම දෙමාපියන් විසින් ඇති කරන පරාජිත සිතිවිලි නිසා හීනමානය ඔවුන් වෙලාගන්නවා.
සමාජශීලී නොවීම සහ කුලෑටි වීම
තමන් ගැන ඇති පරාජිත හැඟීම් නිසා දරුවා නිරන්තරයෙන්ම සමාජයෙන් සැඟවී සිටීමට උත්සහ කරන්නට පටන් ගන්නවා. මේ නිසා ඉතා ඉක්මණින් එවැනි දරුවන් සමාජයෙන් ඉබේටම කොන් වන්නට පටන් ගන්නවා.
කුසලතා ප්‍රගුණ නොවීම
ඔබේ සැසඳීම් මත ඔබ දරුවාට ලබා දී ඇති ඇගයීම් හේතුවෙන් තමන්ගේ කුසලතා නිතරම සුළු කොට සලකන්නට දරුවන් හුරුවෙනවා. ඒ වගේ ම ජිවිත කාලය පුරාවටම තමා දක්ෂ දේත්, තමා උගත් දේත් ප්‍රමාණවත් නොවන බව තදින්ම විශ්වාස කරනවා. මෙවැනි දරුවන් නිතර භීතියෙන් පසු වන අතර ආත්ම ශක්තිය හීන බැවින් ජිවිතයේ ඉදිරියට යන්නේ ඉතා සෙමින්.
අනෙක් දරුවන් සමඟ වෛරය ඇති වීම
අනෙක් දරුවා නිතර තමන්ට වඩා හොඳ යයි දරුවන්ට ඇඟිලි දික්කරන දෙමව්පියන් නිසා ඊට ලක්වන දරුවන් බොහෝ විට අනෙක් දරුවන්ට සිතින් වෛර කරනවා. මේ නිසා දරුවා වැඩෙත්ම ආදරය සහ කරුණාව වෙනුවට ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය වැනි හැඟීම් රෝපණය වනවා.
දරුවන් මේ තත්වයට පත්වුණොතේ එහි වරද සිදු වී ඇත්තේ ඔබ අතිනුයි. හීනමානය, අවතක්සේරුව, නොහැකියාව පිළිබඳ ශෝකය, මානසික කනස්සල්ල, සමාජය කෙරෙහි පිළිකුළ, අන්‍යයන් කෙරෙහි ඊර්ෂ්‍යාව සමඟ ලොකුමහත්වන දරුවන්ට පෞරුෂත්ව ගුණාංග සකස් කරන්නට ඉන්පසු කිසිසේත් හැකිවනනේ නැහැ. දරුවාට මේ අභාග්‍යසම්පන්න ඉරණම අත් නොකර දීමේ වගකීම මව්පියන්ට පැවරෙනවා. ඉතින් දරුවන් සංසන්දනය කිරීම වහා ම නතර කරන්න. දරුවන් අගය කරන්න. ඔවුන්ගේ පුංචිම දක්ෂතාවයන් පවා අගය කරන්න. ඒවා ඔප් නංවන්නට සහාය වන්න. පෞරුෂත්ව ගුණාංග සපිරුණු යහපත් දරුවෙකු සමාජයට දායාද කරන අභිමානවත් දෙමව්පියන් අතරට එක්වන්න.
– නිරංජලා –