මේඝා අහස්ව ඇමතුවේ කාර්යාල වේලාවකය. ඒ උවමනාවකටය. වෙන කුමන හේතුවකටවත් අහස් තමාව ඇමතුවේ හෝ තමා අහස්ව ඇමතුවේ හෝ කෙටි පණිවිඩයක් හුවමාරු වූයේ හෝ නැති බව මේඝාට සිහි වූයේ දුරකථනය නාද වන අතරතුරේය.
” හෙලෝ ”
අහස් ගේ සුපුරුදු කාරුණික හඬ අනෙක් පසින් ඇසුණි.
” අහස් මං මේඝා ”
” දන්නවා. කියන්න මේඝා ”
කුමක් හෝ අමුත්තක් ඇති බව දැනුනු නිසා මේඝා මොහොතක් කල්පනා කළාය.
” මේඝා කියන්න ? ”
මේඝාගේ නිහඬ බව නිසා අහස් කීවේය.
” අ.. නෑ මම මේ… කියන්න ගත්තේ අහස්…. ”
මේඝා නතර කලාය.
” ඔව් ඉතින් ? ”
අහස් අසා උන්නේය.
” නෑ. ඔයාගේ commercial එක හෙට ඉඳලා telecast වෙනවා කියන්න ගත්තේ ”
මේඝා කියා දැම්මාය.
” එහෙමද ? ”
අහස් දුන්නේ හිස් පිළිතුරකි.
” අහස් ? ”
” හ්ම් ? ”
” හැමදේම හොඳින් නේද අහස් ? “
” ඔව් මේඝා.. ඇයි එහෙම ඇහුවේ ? ”
” නිකන්. මං තියන්නම් එහෙනම් ”
මේඝා ඇමතුම අවසන් කලාය. හිතට කුමක්දෝ නුහුරක් දැනේ. අහස් තමා සමඟ හිත නොහොඳින් දැයි මේඝාට සිතේ. එහෙත් ඒ කුමක්දැයි හරියටම තෝරා ගත නොහැක.
මේඝා ආයෙමත් අනෙක් මොහොතේම දුරකථනය අතට ගෙන අහස්ගේ අංකය ඇමතුවාය. ඔහු දිනක් හෝ තමා වෙනුවෙන් යමක් කළ අයෙකි. එය අමතක කළ යුතු නැත. ඔහු සමඟ කතා කිරීමටවත් වෙලාවක් වෙන් නොකිරීම ගැන මේඝාට දැනුනේ පසුතැවිල්ලකි.
” කියන්න මේඝා ”
අහස්ගේ හඬ පුරුදු පරිදිම දයාබරය. එහෙත් පෙර ඇමතුමේදී දැනුන අමුත්ත මේඝාට මෙහිදීත් නොඅඩුවම දැනුණි.
” ඔයා මට කෝල් එකක්වත් දුන්නේ නැති නිසා බැලුවේ. ඔයා මේ දවස්වල බිසී ද අහස් ? ”
මේඝා ඇසුවේ හිතාමතාමය.
” එහෙම විශේෂයක් නෑ මේඝා. ඇයි ? ”
” ඔයා අද හවස ෆ්‍රී නම් coffee එකකට යමුද ? නැත්තං ඔයා මගේ ගෙදර එනවද ? මට ටිකක් කතා කරන්න ඕනේ ”
” මං එහෙම ඔයාගේ ගෙදර එන එක හරි නැහැ නේද ඔයාට ? මම කිව්වේ කෙල්ලෙක් තනියම ඉන්න ගෙදරකට කොල්ලෙක් එන එක ? ”
මේඝා මොහොතකට නතර වුණාය. නිම්නාද තමාගේ ආත්ම ගෞරවය පිළිබඳව මේ ආකාරයට සිතූ එක වරක් වත් මේඝාගේ මතකයට ආවේ නැත. ඇත්තටම නිම්නාද එසේ කර තිබුණේද නැත. ඒ අතින් බැලූ කල අහස් යනු ඇත්ත වශයෙන්ම මහත්මයෙක් බව මේඝා සිතුවාය.
” එහෙනම් අපි කොෆි එකකට යමු ? ”
” ඕකේ.. ඔයා තැනක් බලලා මට වෙලාව කියන්න ”
අහස් තමාගේ අදහසට කැමති වීම ගැනම මේඝාට දැනුනේ අස්වැසිල්ලකි.
මේඝා උන්නේ අහස් මුණගැසීමට නොඉවසිල්ලෙනි. සැබවින්ම අහස් යනු ඕනෑම කෙනෙකුගේ සිතක් නිවිය හැකි පුද්ගලයකු බව මේඝා සිතුවාය.
අහස් කෝපි හල වෙත ආවේ මේඝා පැමිණ පැය බාගයක් පමණ ගතවූ පසුය. කලු පැහැ කලිසමට ඇඳි කෙසෙල් දල්ලේ පැහැ අත් දිග කමිසය ඔහුට ගෙනවිත් තිබුණේ අමුතුම පෙනුමකි. එයින් ඔහුගේ කඩවසම් බව දෙගුණ තෙගුණ වී ඇති බව මේඝා ඔහුව දුටු සැණින්ම සිතුවාය.
” මම පරක්කුයි නේද ? ”
අහස් වාඩි වෙන අතරේ කීවේය.
” අනේ නෑ. මමයි කලින් ආවේ. මම කොෆී ඕඩර් කලා ”
මේඝා කීවාය. අහස් ඇය දෙස හොඳින් බැලුවේය. මේඝා වෙනදාට වඩා පැහැබරය. පහුගිය කාලයේ ඇගේ මුහුණෙ දකින්නට තිබූ මලානික බව දැන් බිඳක් හෝ පහව ගොස් ඇත. ඇය සිටින්නේ හිත හදා ගනිමින් විය යුතුය. එක අතකට නිම්නාද වැනි නරුමයකු ඇයට අහිමි වී ගිය එකම හොඳ යයි අහස් සිතුවේය.
” ඇයි ඔහොම බලන්නේ ? ”
මේඝා ඇසුවේ අහස් තමා දෙස බලාගෙන මොනවදෝ කල්පනා කරනු දුටු නිසාය.
” ඔයා රිකවර් වෙලා ”
අහස් පිළිතුරු දුන්නේය. මේඝා පෑවේ මද හිනාවකි.
” දකින අය එහෙම හිතනවා. ඒත් මං විතරයි දන්නේ මං හිනා වෙන්නේ හිනා නොවී බැරිකමට කියලා ”
” ඉතින් ඔයාට බැරි ඇයි මේඝා ඇත්තටම හිනා වෙන්න ? ”
අහස් එසේ අසද්දී මේඝා දිගු සුසුමක් හෙලුවාය.
” එයා මගෙ හිනාව අරගෙන ගියා අහස් ”
මේඝා කීවේ කෝපි හලේ සේවකයා පිළිගැන්වූ කෝපි එක අතට ගන්නා අතරේය.මේඝා එය අහස්ට පිළිගන්වා අනෙක් කෝපි එක ඇය වෙත ලං කර ගත්තාය.
” ඒ හිනාව ආපහු අරගෙන එන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා ”
අහස් කෝපි උගුරක රස බලමින් එසේ කීවේ සන්සුන්වය. මේඝා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.
” ඒ කිව්වේ ? ”
” ඒ කිව්වෙ , අපි හැමෝටම ලියවිච්ච කෙනෙක් මේ ලෝකෙ කොහේ හරි ඉන්නවා මේඝා. අපිට වැරදි මිනිස්සු හම්බ වෙන්නේ , ඒ මිනිස්සු නිසා අපි දුක් විඳින්නේ අර අපිට ලියවිච්ච කෙනා හම්බ උන දවසක එයාට පැලෙන්න ආදරේ කරන්න පුළුවන් වෙන්න ”
මේඝා නිහඬව අසා උන්නාය. අහස් කියන්නේ ඇත්තය. එහෙත් පවුලෙන්වත් තමාට නොලැබුණු ආදරයක් දෙන්නට මේ ලෝකයේ කෙනෙක් සිටිය හැකිද ?
” ඔයා හිතන්න, ඔයාට පුළුවන් නම් වැරදි මනුස්සයෙකුට ඒ තරම් ආදරේ කරන්න , හරි කෙනා හම්බුන දවසට ඔයා කොහොම ආදරේ කරයිද ? ”
ඉන්පසුව දෙදෙනා අතර මොහොතකට පැවතියේ දිගු නිහැඬියාවකි. අහස් මේ කතා කරන්නේ මොනවදෝ හිතේ තියාගෙන බව මේඝාට දැනේ. එහෙත් එය අසන්නට නොහැක.
” ඔයත් එක විදියකින් රැවටිච්ච කෙනෙක්. මාත් එක විදිහකින් රැවටිච්ච කෙනෙක්. හැබැයි මම ඉන්නෙ හිත හදාගෙන. ඔයා ඉන්නේ තාම කොතනද කියලා මම දන්නෙ නෑ මේඝා. හැබැයි , ඔයා නිම්නාදට වචනෙකින් වත් වරදක් නොකරපු එකම ඇති ඔයාට හිත හදා ගන්න ”
නිම්නාද කළ රැවටීම සුළුපටු එකක් නොවේ. ඔහු තමාගේ හදවතේ ඇති කල තුවාලය සුව වීමට තව කොපමණ කාලයක් ගතවේ දැයි අදහසක් වත් තමාට නැති බව මේඝා සිතුවේ වේදනාවෙනි.
” අනිත් එක , ඔයා එක්ක හිටියට වඩා සතුටින් නිම්නාද වර්ෂා එක්ක ඉන්නව නම් එහෙම හිතලා හරි ඔයා හිත හදා ගන්න. මොකද , අපි ආදරය කරන කෙනා සතුටින් ඉන්න එක අපේ සතුට වෙන්න ඕනේ මේඝා ”
මේඝාගේ දෑස් වලට කඳුළු උනා ආවේ නිම්නාද වර්ෂා සමඟ සතුටින් ඉන්නවා යැයි කී විටය. ඔහු කොහේ හෝ සතුටින් සිටිය යුතු නමුත් ඔහු අන් කෙනෙකුට ආදරය කරාවි යැයි තමා සිහිනෙකින්වත් සිතා තිබුණේ නැත. එහෙත් අවසන සිදු වූයේද එයමය. මේඝා ඇස් පියන් තද කර ගත්තාය. ආදරය යනු තමා මේ අයුරින් අසරණ වන ,තමා දුර්වල වන එකම තැනය.
” මේඝා ”
මේඝා දෑස් හැරියේ අහස්ගේ හඬටය. දෑස් වල සිරවී තිබූ කඳුළු කම්මුල් දිගේ රූරා ගියේ නිදහසේය.
” අනේ Im sorry මේඝා. මං ඔයාව අඬවන්න හිතාගෙන කිව්වේ නැහැ. අනේ ප්ලීස් ”
මේඝා කම්මුල් පිස ගත්තාය.මෙය හැඬිය යුතු වෙලාවක් නොවේ. එහෙත් අහස් කියූ සෑම වචනයක්ම සත්‍ය නොවේද ?
අහස් ටිශූ කඩදාසියක් ගෙන මේඝා ගේ කම්මුල්වල තැවරුණු කඳුළු බිංදු හෙමින් සීරුවේ පිස දැම්මේ මේඝා වෙත නැඹුරු වෙමින් ය. ඒ මලක් ස්පර්ශ කර බලනවාක් මෙන් මෘදුවය. පරිස්සමටය. එය මේඝාට නොදැනුනා නොවේ.
” මාත් එක්ක තරහද ? ”
මේඝා පියවි ලොවට ආවේ අහස් එසේ අසදීය.මේඝා ” නැහැයි ” කියන්නට මෙන් හිස වැනුවාය.
” මං දෙයක් කියන්නද මේඝා ? ”
අහස් අන්තිමට ඇසුවේය.