ස්පගති කියන්නෙ කාලයක් අපි බොහොම දෙනෙක් රෙස්ටොරන්ට් වලින්ම කන්න පුරුදු වෙලා හිටිය කෑමක් වුනත් අද වෙද්දී නම් ගෙදරදීම ඉතාම පහසුවෙන් හදල කන කෑමක් වෙලා තියෙනවනේ.
ඒත්, තාමත් ඔබ ගෙදරදි හදන ස්පැගති වල කඩෙන් කද්දි එන රස දැනෙන්නෙ නැත්නන් ඒකට ප්‍රධානම හේතුව ඔබ නිවසේදී කෘතිම රසකාරක හෝ වර්ණක යොදා නොගන්න නිසා වෙන්න පුළුවන්.
එහෙම කෘ තිම රසකාරක හෝ වර්ණක නැතුවත් හරිම ලේසියෙන් රස පිරුණු ස්පැගති හදන්න පුළුවන් කියල ඔබ දන්නවද?
එහෙනම් එන්නකෝ අද smart lady අපි ඔබට මේ කියල දෙන්න සූදානම් වෙන්නෙ ගෙදරදි පහසුවෙන්ම හොයාගන්න තියෙන දේවල් කීපයක් භාවිතා කරල අපිට පුරුදු රසට ස්පැගති හදාගන්නෙ කොහොමද කියලයි.
කෘතිම වර්ණක, රසකාරක නැතිවුනත් කොච්චර රසට ස්පැගති හදන්න පුළුවන් ද කියල ඔබට මේ විදිහට ස්පැගති රස බැලුවම තේරෙයි.
අවශ්‍ය ද්‍රව්‍ය
ස්පැගති පැකට් 01 ක්
තක්කාලි ගෙඩි 04 ක් 06 ක්
තෙල් මේස හැඳි 02 ක් (ඔලිව් තෙල් නම් වඩා හොඳයි)
කුඩාවට කපාගත් සුදුළූණු මේස හැඳි 01 ක්
කුඩාවට කපාගත් ලූණු මේස හැඳි 01 ක්
මිරිස් කුඩු තේ හැඳි 01 ක්
කෑලි මිරිස් තේ හැඳි 02 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක්
රස අනුව ලුණු
තක්කාලි සෝස් (අත්‍යාවශ්‍ය නැත)
වතුර
සාදාගන්නා ආකාරය
මුලින්ම ස්පැගති තම්බා ගැනීමට තරම් ප්‍රමාණවත් තරමට වතුර දැමූ භාජනයක් ලිප තබා එහි යන්තමින් වතුර බුබුළු එනතුරු රත්කර ගන්න.
එයට ස්පැගති ඇතුළත රස ගැන්වීමට ප්‍රමාණවත් තරම් ලුණු එකතු කරගන්න.
(ස්පැගති තුළ ලුණු රස ගැන්වීමට ලැබෙන එකම අවස්ථාව මෙය නිසා ප්‍රමාණවත් තරම් ලුණු යොදාගැනීමට ඔබ සැළකිලිමත් විය යුතුයි.)
ඊලඟට එයට ස්පැගති එකතු කර ස්පැගති ඇතුළත සුදු පැහැය ඉවත්වන තුරු හොඳින් තම්බා ගන්න.
තැම්බුනු ස්පැගති ලිපෙන් ඉවත්කර ජලය පෙරා සාමාන්‍ය ඇල් ජලය ස්පැගති උඩින් වත්කර ස්පැගති යන්තමින් සෝදා ගෙන පසෙකින් තබාගන්න.
ස්පැගති තැම්බූ ජලය කෝප්පයක් පමණ වෙනම පසෙකින් තබාගන්න.
ඊළඟට, නැවත වතුර භාජනයක් ලිපතබා එය නටන තුරු රත් කරගන්න.
වතුර නටන තුරු අපි අවශ්‍ය තක්කාලි ගෙඩි ටික සූදානම් කරගමු.
ඒ සඳහා මුලින්ම තක්කාලි ගෙඩි හොඳින් සෝදා තක්කාලි ගෙඩි වල උඩින් වෙන් නොවෙන සේ හතරට කපාගන්න.
දැන්, නටන වතුර භාජනයට කපාගත් තක්කාලි ගෙඩි ටික දමා විනාඩි 05 ක් පමණ තම්බා ගන්න.
තැම්බුනු තක්කාලි ගෙඩි වතුරෙන් ඉවතට ගෙන නිමෙන තුරු තබා තක්කාලි පොතු ඉවත් කරගන්න.
පොතු ඉවත් කරගත් තක්කාලි ගෙඩි බ්ලෙන්ඩරයේ කෝප්පයට දමා හොඳින් බෙල්න්ඩ් කරගෙන පසෙකින් තබාගන්න.
දැන් ස්පැගති හදාගමු.
මුලින්ම, භාජනයක් ලිපතබා එයට තෙල් එකතු කර තෙල් රත්වෙන තුරු තබන්න.
තෙල් රත්වුණු පසු එයට සුදුළූණු , ලූණු සහ කෑලි මිරිස් එකතු කරගන්න.
මඳගින්නේ විනාඩියක් දෙකක් පමණ බැඳෙන තෙක් තබාගන්න.
ඊළඟට, එයට බ්ලෙන්ඩර් කරගත් තක්කාලි, රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.
මේ තක්කාලි මිශ්‍රණයේ බුබුළු නැගෙන තුරු විනාඩි 03 ක් පමණ තබාගන්න.
විනාඩි 03 කට පසු සියල්ලම නැවත හොඳින් කලවම් කර භාජනයේ පියන වසා අඩු ගින්දරේ විනාඩි 05 ක් 06 ක් පමණ පිසගන්න.
භාජනයේ පියන විවෘත කර මේ තක්කාලි මිශ්‍රණයට තම්බාගත් ස්පැගති ටික එකතු කර විනාඩියක් දෙකක් පමණ හොඳින් කලවම් කරගන්න.
එයටම වෙන් කරගෙන තබාගත් ස්පැගති තැම්බූ වතුර සහ තක්කාලි එකතු කර හොඳින් කලවම් කරගන්න.
විනාඩි 03 ක් පමණ වතුර තරමක් හිඳෙන තෙක් හැඳි ගාමින් වැඩි ගින්දරේ පිසගන්න.
(වතුර සම්පූර්ණයෙන් හිඳී ගොස් වේලෙන තුරු තබන්න එපා)
දැන් අපි ස්පැගති හදාගෙන ඉවරයි.
පිඟානකට දමාගත් ස්පැගති උඩින් ඉසගත් ග්‍රේට් කරගත් චීස්, කුඩාවට කපාගත් පාස්ලි, කෑලි මිරිස් සමඟ සරසා පිළිඟන්වන්නත් ඔබට පුළුවන්.
සුදුළූණු සහ ලූණු සමඟ තෙම්පරාදුවට කුඩාවට කපාගත් කැරට්, කැප්සිකම්, තම්බාගත් මස් හෝ මාළුත් එකතු කරගෙන රස තවත් වැඩි කරගන්නත් පුළුවන්.
එහෙනම්, මේ විදිහට ස්පැගති හදල බලමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |