ඒකපාර්ශ්වික – 39

පසු දිනට භාර දීමට නියමිතව තිබෙන හදිසි කටයුත්තක් සම්පූර්ණ කරන අතර මධ්‍යම රාත්‍රිය පසු කරමින් සිටි මේඝාට හදිසියේම අහස්ව සිහි විය. ඒ සමගම ධනුක විසින් සවස මුහුදු වෙරළේදී ඇසූ පැනයද සිහි විය.

” උඹ අහස් ගැන මොකද හිතන්නේ? ” 

ධනුක විසින් නිකරුණේ එවැනි ප්‍රශ්නයක් අසන්නේ නැති බව මේඝා දනී . ඒ ඇරුණු කොට මෙවැනි වෙලාවක එවැන්නක් ඇසීමට ධනුකට යම් හේතුවක්ද තියෙනවා විය හැකිය. 

” අහස් හොඳයි ” 

මේඝා ලබා දුන්නේ සරල පිළිතුරකි. එහෙත් එයින් ධනුක සෑහීමකට පත් වූයේ නැත. 

” ඌ හොඳයි කියලා මම දන්නවා. මං අහන්නේ ඌ ගැන උඹේ හිතේ තියෙන්නේ මොන වගේ අදහසක්ද කියලා ” 

” කිසිම අදහසක් නැහැ ” 

තමාගේ දෙපස වාඩි වී හුන් ධනුක සහ නිකිනි මුහුණට මුහුණ බලා ගන්නා යුරු මේඝා දුටුවේ නැත. එක අතකට මේඝා ගෙන් එවැනි ප්‍රශ්නයක් ඇසීම අනුවණකමකැයි ධනුකට සිතුනේ කිසිදු හැඟීමකින් තොර වූ මේඝා ගේ මුහුණේ ඉරියව් දුටු විටය.

” මොනා උනත් අහස් කියන්නේ පට්ට ජෙනුයින් පොරක්. ඌ තමන්ගේ පාට්නර් වෙනුවෙන් ලෝකෙම එක්ක හැප්පෙන්න වුණත් පුළුවන් ජාතියෙ එකෙක් . කෙල්ලෙකුට ලැබෙන්න හොඳ අන්න ඒ වගේ කොල්ලෙක්  ” 

ධනුක කියන්නේ සම්පූර්ණ ඇත්තය. එහෙත් ඔය මොන ජාතියක කෙනෙකු වුවත් තමාට ඉන් පලක් නැති බව මේඝා සිතුවාය. කිසිවෙකුටත් ඇතුළු වීමට නොහැකි වන ලෙස දොරගුළු ලා ඇති හදවතේ දොරටුව යළි කිසි දිනක විවෘත නොකරන්නට තමා තීරණය කර ඇති බව මේඝා වචන වලට නැගුවේ නැත. 

අහස් දින ගෙව්වේ වේදනාවෙනි. එම වේදනාව කොනක මේඝා නැතැයි කිව නොහැක . එහෙත් පුරුද්දක් හැටියට ඔහු තම සිතේ ඇති කිසිවක් කිසිවෙකුටත් ඇඟෙව්වේද නැති අතර හොඳම මිතුරා වූ විශ්මිත පවා අහස් ගේ සිතැඟි හඳුනා ගත්තේ නැත. විශ්මිත සිතා උන්නේ මේඝා නිම්නාදගේ සුව දුක් විමසීම සඳහා රෝහලට ගිය නිසා අහස් ඇය කෙරෙහි තිබුණු අදහස වෙනස් කරගෙන ඇති බවය. ඒ බව විමසමින් අහස් ගේ සිත නැවත රිදවන්නට විශ්මිතට වුවමනා වූයේ නැත. ඒ නිසා ඔහු අහස්ට  සුපුරුදු පරිදි ඔහුගේ දින ගෙවන්නට ඉඩ හැරියේය. 

” මේඝා මේක දැක්කද ? ” 

එක් දිනක උදෑසන අපූර්වා ඇගේ ජංගම දුරකථනය රැගෙන මේඝා වෙත පැමිණෙද්දී මේඝාට යම් තිගැස්මක් දැනුනේ ඒ නිම්නාද ගැන යමක් දැයි දැනුනු නිසාය.

” අහස් අවෝඩ් එකකට නොමිනේට් වෙලා ” 

අපූර්වා කීවේ දැන්වීමක් පෙන්වමිනි. වසරේ නිරූපණ ශිල්පියාට හිමි සම්මානයකට අහස් ඇතුළු තවත් නිරූපණ ශිල්පීන් දෙදෙනෙකු නිර්දේශ වී තිබෙන බව එම දැන්වීමේ සඳහන් වී තිබුණි. කොහේදෝ තිබූ සතුටක් මේඝා ගේ සිතට ගලාගෙන ආවේ එම දැන්වීම දුටු විටය. මේඝා අපූර්වා ගේ ජංගම දුරකථනය රැගෙන එම දැන්වීම නැවත නැවතත් බැලුවේ උවමනාවෙනි. 

දින කිහිපයකින් අහස්ට දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලබා දුන්නේ නැතත් , ඔහු එවූ කෙටි පණිවිඩ වලට පිළිතුරු යැව්වේ නැතත් මේ ඔහුට සුබ පැතිය යුතුම වෙලාවක් බව මේඝා සිතුවාය. දුරකථනය අතට ගත් මේඝා මද වේලාවක් කල්පනා කර අහස් ගේ අංකයට ඇමතුමක් ගත්තාය. 

” මේඝා ” 

අහස් ගේ හඬෙහි කිසිදු වෙනසක් නැත. එහි තැවරී තිබෙන්නේ දුකද සතුටද කියා වත් සිතන්නට මේඝා වෙහෙස වූයේද නැත. ඇයට අවශ්‍ය වූයේ අසීරුම මොහොතවල් වල දෙවරක් නොසිතාම තමාට උපකාර කිරීමට ඉදිරිපත් වූ හිතවතාට සුභ පැතීමටය. 

” Congratulations අහස්.මට හරිම සතුටුයි ඔයා ගැන. මේ අවෝඩ් එක ඔයාට ලැබෙන්නම ඕනේ ” 

මේඝා කීවේ ඇත්තටම සතුටිනි . එය හදවතින්ම පැන නැගුනු අවංක සුබ පැතුමක්ම විය.

” Thank you මේඝා “

” එහෙනම් ඉතින් දැන් අපිට පාටි එකක් ඕන හරිද ? ” 

” Any time. ඔයා දවසක් වෙලාවක් කියන්න. අපි පාටි එකක් දාමු ” 

මේඝා ට සිනාවක් නැගුනේ දුරදිග නොසිතා කී දෙයකට ඔහු දුන් පිළිතුරටය. 

” මං විහිළුවක් කලේ. සීරියස් ගන්නෙපා අනේ ” 

” ඔයා විහිළු කරාට මම විහිළු කරන්නේ නෑ. ධනුකයි නිකිනියි එක්ක අපි ඇත්තටම පාටියක් දාමු . මොකද සමහර විට අපිට එහෙම දේකට ආයේ අවස්ථාවක් එයිද දන්නේ නෑනේ ” 

අහස් කීවේ බැරෑරුම් හඬකිනි. මේඝා ගේ සිත ඒ පිළිතුරෙන් සසැලුණි. නමුත් එයට හේතුවක් මේඝා ට සිතා ගත හැකි වූයේ නැත.

” ඒ කිව්වේ අහස් ? ” 

මේඝා යළි ඇසුවේ අහස් කී දෙය පැහැදිලි කර ගැනීම පිණිස ය.

” සමහර අවස්ථාවල් අපිට දෙපාරක් එන්නෙ නෑ මේඝා ” 

අහස් කුමක් හෝ නොකියා කියන බව මේඝාට දැනුනත් ඇය එය තව දුරටත් විමසන්නට ගියේ නැත. එහෙත් වචනයට පෙරළා ගත නොහැකි කුමක්දෝ අමුත්තක් පමණක් මේඝාට දැනුනි.

”  මොනාද මේඝා කල්පනා කරන්නේ ? ” 

අහස් ට ලබා දුන් ඇමතුමෙන් පසුව මේඝා සිටින්නේ වෙනමම කල්පනාවක බව දුටු අපූර්වා විමසුවේ බැරිම තැනය.අහස් ගේ සිතෙහි මේඝා කෙරෙහි විශේෂ කැමැත්තක් ඇති බව අපූර්වා කොහොමටත් දැන උන්නාය. ඒ රූගත කිරීම දිනයේ අහස් ගේ හැසිරීම සහ ඔහු මේඝා වෙත සැලකිල්ල නිසාය. එහෙත් මේඝා ගේ සිතෙහි තවමත් නිම්නාද හැරුණු කොට වෙන කිසිවෙකු නැති බව අපූර්වා සිතුවාය.

” අහස් කිව්වේ පාටි එකක් දාමු කියලා ” 

” දැන් ඔය මෙච්චර වෙලා කල්පනා කරේ ඒක ගැනද ? ” 

” එහෙමමත් නැහැ ” 

” එහෙමමත් නැහැ කියන්නේ තව මොකක් හරි තියෙනවා ” 

අපූර්වා එසේ කී විට මේඝා මොහොතක් නතර වූවාය. නැවත නොපැමිණෙන අවස්ථාවක් පිළිබඳව පවසා අහස් අදහස් කළේ කුමක්ද ?අහස් තමා සමඟ කුමක් හෝ අමනාපයකින් පසු වෙනවාද ? කෙසේ වුවත් එය දැනගත හැකි වන්නේ අහස්ගෙන් ම පමණක් බව මේඝා සිතුවාය.  

” අහස් හරි අමුතු කතාවක් කිව්වා. මං මේ කල්පනා කරේ ඒක ගැන ” 

මේඝා තම පෞද්ගලික කාරණාවක් ආවාට ගියාට ලෙහෙසියෙන් කාර්යාල වේලාවේදී හෝ කාර්යාලය තුළදී කතා කරන්නේ නැත. ඇය මේ එකවරම පවසන්නේ අහස් පැවසූ දෙය ඇයගේ සිතට අතිශයින් වද දෙන නිසාවෙන් විය හැකිය.

” ඒ මොකද්ද ? ” 

” එයා කිව්වනේ පාටියක් දාමු කියලා. සමහරවිට එහෙම අවස්ථාවක් ආයෙ එන එකක් නෑ කිව්වා ” 

” හරි එහෙනම් ” 

” ඇයි ? ” 

මේඝා අපූර්වා දෙස බැලුවාය.

”  ඒ වෙලාවට එයා මොකක් හරි ඔයාට කියන්න ඉන්නවද දන්නේ නෑනේ ? මං කියන්නේ.. රින්ග් එකක් එහෙම දීලා , දණ ගහලා ? ” 

අපූර්වා කීවේ සිනාව තද කරගෙනය. අහස් අදහස් කළේ එවැන්නක් නොවන බව මේඝා දනී.එසේ නම් ඔහුත් සූදානම් වන්නේ හැර යන්නද ? 

” උඹට විකාර ” 

මේඝා තවමත් සිනාසෙන අපූර්වා ගේ පිටට පහරක් එල්ල කළාය. අහස් යළි හමු නොවන බව පැවසීම මේ තරම් සිතට වද දෙන්නේ ඇයි ? ඒ තරමටම අහස් තමාගේ සිතට ළෙන්ගතු වූයේ කෙසේද ? මේඝා සිතුවාය. 

දහවල් ආහාර වේලාව වන තුරු මේඝා වෙනත් කිසිදු වැඩක් කළේ නැත. ඇගේ සෑම සිතිවිල්ලකම උන්නේ අහස් පමණකි. ඔහු නොකියා කී දේ පමණකි. එය දැනගැනීමේ කුතුහලය පමණකි. මෙය තව දුරටත් කළ නොහැකි බව මේඝා සිතුවාය. එසේ සිතමින් ඇය ක්ෂණිකව ආ සිතිවිල්ලක් මත අහස් හට දුරකථන ඇමතුමක් ගත්තාය. 

” කියන්න මේඝා ” 

” මට ඔයාව හම්බ වෙන්න ඕනේ අහස් . අදම ”  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles