සපත්නීරෝශයක්

“මාලිංග අයියා හරිම ලස්සනයි අක්කි” කියල ඔෆිස් එකේ තාරුණ්‍යා කියද්දී තරංගා ඉතින් ඇත්තටම ඒකෙ වරදක් හිතුවෙ නෑ. මාලිංග වගේ ලස්සන, රටම දන්න, මොඩ්ල් කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක් වෙලා ඉන්නවනම් තමන් බොහොම හොඳට ඉවසන්න පුරුදු ගෑණියෙක් වෙන්න ඕන කියල තරංගා දැනගෙන හිටියෙ මාලිංග එක්ක යාලුවෙන කාලෙ ඉඳලමයි.

එක එක දවසට එක එක ලස්සන කෙල්ලො එක්ක ෆොටෝස් දාන, ෆැශන් ශෝ වලට යන තමන් වගේ දහ ගුණයක් ලස්සන කොල්ලෙක්ව බැඳල ඉද්දි ඔය වගේ කතා අහන්න නොලැබුනා නම් තමා පුදුම වෙන්න ඕන කියලා දන්න හන්දම තරංගා තාරුණ්‍යා එක්ක ඒ විදියටම හිනාඋනා.

අනික ඉතින් කොච්චර ආඩම්බරද ලස්සන හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක? තරංගා එහෙම තමා හිතුවෙ.

හැබැයි තමන්ට කොතන හරි වැරදිලා කියල තරංගාට තේරුම් ගියේ තාරුණ්‍යයාගෙ කරේ මාලිංගට තමන් බැන්දට පස්සෙ ආව පළවෙනි උපන්දිනේට අරන් දුන්න දෙන්නගෙ නමේ අකුරු දෙක වෙච්ච එම්, ටී පෙන්ඩන්ට් එක තියෙන රත්තරන් චේන් එක දැක්කම. මාලිංගගෙ උණුහුම් හාදු ලඟින්ම දැනෙන වෙලාවට ඔය පෙන්ඩන්ට් එක පපුවෙ වැදිලා දැනෙන රිදුම වගේ දහස් ගුණයක රිදුමක් තමයි තරංගාට ඒ වෙලාවෙ දැනුනෙ.

“ඇයි මාලිංග මට එහෙම කලේ?” කියල තරංගා අඬ අඬ අහද්දි ඒ වේදනාව වැඩිඋනේ මාලිංග ඒකට දුන්නු උත්තරේ එක්ක. මාලිංගගෙ කට හඬේ පසුතැවිල්ල ඕනවටත් වඩා ගෑවිලා තිබුණට “මට සමාවෙන්න තරංගා, එයා එක්ක යාලු උනාට මම ආදරේ ඔයාට” කියලා කිව්වම තරංගාට අහන්න තිබ්බෙ “මට ආදරේ නම් ඇයි මාව රැවැට්ටුවෙ කියල”

“තාරුණ්‍යා මාර ගෑණියෙක්නෙ බං, ළඟම උන්නු යාලුවට එහෙම කරනවද?” කියල මේ සිද්දිය දැනගෙන උන්නු තරංගගෙ යාලුවො අහද්දි තරංගට ඇත්තටම තාරුණ්‍යා ගැන තරහ ආවෙ නැතුව නෙවෙයි. මොකෝ ඉවසනව කියල ගෑනියෙක් කොච්චර කාලයක් නම් ඉවසන්නද? තමන් කියන්නෙත් හැඟීම් දැනීම් තියෙන ගෑනීයෙක්, ආදරේ ඉල්ලන හිතක් තියෙන, රැවටුණාම අඬන, පොලොවෙ හැපෙන ගෑණියෙක්.

ඒ දුක තව වැඩිවුනේ තාරුණ්‍යා එක එක ලව් කෝට්ස් එක්ක ෆේස්බුක් එකේ පුංචි පුංචි කවි කෑලි, සින්දු කෑලි ශෙයාර් කරන්න ගත්තම.

“එක හිතකට බැරිද හිත් දෙකකට ආදරේ කරන්න” කියල තාරුණ්‍යා හෙන දාර්ශනික විදිය දාන ෆේස්බුක් පෝස්ට් වලට මිනිස්සු ඇවිල්ලා දාපු කමෙන්ට් වල තිබ්බෙ හොඳ ප්‍රතිචාර. ඒත් ඔය දාර්ශනික කතා අස්සෙ තමන්ගෙ හිත කොච්චර නම් තමන්ගෙ කසාද අයිතිය, අත්සනක අයිතිය ඉල්ලල අඬනවද කියල දන්නවද කියල තාරුණ්‍යාගෙන් අහන්න තරංගාට ඕන කරා. මෙච්චර දවසක් එක ඔෆිස් එකේ එකට කාපු බීපු දෙන්න, එකට එහෙ මෙහෙ ගිය දෙන්න තරහ වෙලා ඉද්දි ඒකෙන් ප්‍රයෝජන ගන්න කට්ටිය ඕන තරම් උන්නා. දෙපිල බෙදිලා කට්ටියක් තරංගටයි කට්ටියක් තාරුණ්‍යාටයි උදව් කරා. තාරුණ්‍යා නම් හිටියෙ “මාලිංග අයියා තරංගට ආදරේ කරාට මට දුකක් නැ” කියල හෙනම දාර්ශනික ලීලෙන්.

“සපත්නීරෝශයක් නෑ කියා ස්ථිරද?” කියල තාරුණ්‍යා ස්ටේටස් අප්ඩේට් කරද්දි,

“අත්සනට හිමිවේවි නුඹෙ සිරුර සීතලට

මං ආදරේ කරේ පණ ගැහෙන හදවතට” කියල පෝස්ට් ශෙයා කරද්දි තමන් තව දුරටත් ඉවසන්න ඕනද කියන කතාව නොහිත ඉන්න තරංගට බැරිවුණා.

වාසුලව අතාරින්න අසෙනිට මොකක් හරි හේතුවක් හන්දා බැරිවෙන්න ඇති. ඒක සමහරවිට ආදරේ වෙන්නැති, එහෙම නැත්තම් හිත අස්සෙ හංගන් උන්නු නපුරුකම වෙන්නැති. ඒත් කතාවල කියනවට පෙන්නනවට වඩා ඇත්ත ජීවිතේ වෙන දේවල් දරාගන්න කොච්චර අමාරුද?

සමහරවිට මාලිංග ඇත්තටම තමන්ට වඩා ලස්සන, තරුණ තාරුණ්‍යයාට ආදරේ ඇති. එහෙම නම් මේ අත්සනක් හන්දා ඒ සිරුර සීතලට හිමිවෙන දවසක් ගැන හිතන්නෙ මොකටද, අත්සනට අයිතිවෙන්න ඕන උණුහුම අහිමිවෙලා තියෙද්දි.

“අපි ඩිවෝස් වෙමු, මම කැමතියි. මට ඔයාට වෛර කරන්න බෑ, තරහෙන් ඔයා එක්ක එක ගෙදර ඉන්නත් මට බැ. අපි හොඳ හිතෙන් වෙන් වෙන එක ඊට හොඳයි” කියල කියන්න තරංගා වචන හොයාගත්තේ හිතුවිල්ල හන්දා.

ඉතින් ඇත්තටම,

සපත්නීරෝශයක් නෑ මගෙ හිතේ!

More Stories

Don't Miss


Latest Articles