රසවත් බිම්මල් බැඳුමක් හදමුද?

බත් කද්දි කර කර ගාල හැපෙන බැඳුමක් කියන්නෙ ආහාර වේලට හොඳ වයනයක්, වෙනස් රසක් වගේම පෙනුමක් එකතු කරන ව්‍යාංජනයක්නෙ. 

පපඩම්, මිරිස්, නූඩ්ලස්, හාල්මැස්සො වගේ බැඳුම් ජාති සාමාන්‍යයෙන් අපි අතර ටිකක් ප්‍රසිද්ධයි. 

හැබැයි ඔන්න අපි අද අරන් එන්නෙ ඒ බැඳුම් වලට වඩා වෙනස් රසයක් වගේම ලස්සන පෙනුමක් තියෙන බිම්මල් බැඳුමක් හදාගන්නෙ කොහොමද කියලයි. 

බිම්මල් කියන්නෙ ඕනෑම කාලෙක අඩු මිලට වෙළඳපොලේ හොයාගන්න ලැබෙන ආහාරයක් නිසා මේ බිම්මල් බැඳුම ගෙදරදි සාමාන්‍ය අවස්ථාවල පිළියෙල කරන්න වගේම විශේෂ අවස්ථාවකට වුනත් බය නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක්. 

එහෙනම්, මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල බලල සූදානම් කරගෙන ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

හොඳින් සෝදා පිරිසිදු කරගෙන වතුර බේරාගත් බිම්මල් පැකට් 01 ක් 

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක් 

කරපිංචා ඉති 02 ක කොළ

මිරිස් කුඩු 

ලුණු කුඩු 

කහ කුඩු 

කෑලි මිරිස් 

දුඹුරු සීනි (අත්‍යාවශ්‍ය නැත)

තෙල් 

අසුරා තැබීමට වීදුරු බෝතලයක් (කල්තබා ගැනීමට අවශ්‍ය නම්)

වීදුරු බෝතලය වතුරේ තම්බා නිවෙන්නට හැර හොඳින් වේලාගත යුතුයි. 

සාදාගන්නා ආකාරය

මුලින්ම, වතුර බේරා ගත් බිම්මල් සිහින් කැබලි වලට ඉරාගෙන තවත් වතුර තිබේ නම් අතින් මිරිකා වතුර ඉවත් කරගන්න. 

වතුර ඉවත් කරගත් ඉරාගත් බිම්මල් කැබලි භාජනයකට දමා ඊට කහ කුඩු, මිරිස් කුඩු සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

තෙල් තාච්චියක් ලිප තබා තෙල් රත්වූ විට බිම්මල් කැබලි තෙලට දමා රන්වන් පාට වනතුරු බැදගන්න. 

ඊළඟට, සිහින්ව ලියාගත් ලොකු ලූණුද තෙලට දමා ලොකු ලූණුත් රන්වන් පාට වනතුරු බැදගෙන ලිපෙන් ඉවත් කරන්න. 

ලිප නිවා කරපිංචා කොළ එකතු කර කරපිංචා තෙලට දමා බැදගෙන කොළ පාට තිබියදීම ලිපෙන් ඉවත් කරගන්න.  

දැන් තරමක් විශාල භාජනයක් ගෙන එයට බැදගත් බිම්මල්, ලූණු, කරපිංචා සහ ඔබේ රස අනුව මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු කුඩු සහ සීනි ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් අපි බිම්මල් බැදුම පිළියෙල කරගෙන අවසන්. 

සකසාගත් වීදුරු බෝතලයේ සුළං නොවැදෙන සේ අසුරා කල්තබා ගන්නත් සියඹලා ඉස්ම ස්වල්පයක් දමා ඒ මොහොතේම කෑමට ගන්නත් ඔබට පුළුවන්.

එහෙනම්, ඊළඟ දවසෙ බිම්මල් මේ විදිහට හදල බලන්නකෝ. 

මේ වගේම රස කෑමක් එක්ක අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles