ආකාස මෝස්තර – 27

අලුත් ලෝකයක් ගොඩනැගීමේ බලාපොරොත්තුව ඇතිව අලුත් ඉරක් පායා ආවේ ය. මිනිසුන් ගේ හදවත් වල වූයේ උද්‍යෝගයක් ද අලස බවක් ද කියා හරියට ම විශ්ලේෂණය කළ නො හැකි ය. ඉංග්‍රීසි පාලනයෙන් නිදහස් වීමෙන් පසු මේ දක්වා සිදු වූයේ ම පොදු ජනතාව ගේ ජීවන අපේක්ෂා බිඳී යාමයි. පැතුම් අහෝසි වීමයි. මූලික ම අයිතිවාසිකම් වෙනුවෙන් හෝ අරගල කළෝතින් ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීමයි. පාට වෙනස් වුණාට පක්ෂ වෙනස් වුණාට හැමදාමත් පාර්ලිමේන්තුවට ගියේත් රට පාලනය කරනවා කීවේත් එක ම පිරිසකි. දිනන පැත්තට පරාජිත පැත්තේ සිට රිලවුන් මෙන් පනිනා දේශපාලක රැලකි. එබැවින් සර්ව ජන ඡන්ද බලය යන ශුද්ධ වූ අයිතිය පවා පොදුජන හදවත් තුළ උදාසීනත්යකට පෙරළී තිබිණ. සිය ඡන්දය දුන්නත් නැතත් බලයට එන අය බලයට ඒම නියතයක් වන නිසා මිනිස්සු ඡන්ද පොළ වලට යාමත් අනිවාර්ය වගකීමක් සේ නො සලකන තත්වයක් එළඹ තිබිණ. පාරුල් උදයෙන් ම දෝවනය වී සුදට හුරු ගවුමක් ඇන්දේ එහෙම ජනතාවාදී නොවන රාජ්‍ය සමයක පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයින් වෙනුවෙන් මනාපය සලකුණු කොට එන්නටයි.

“හප්පටසිරි මේගොල්ලොන්ට ඡන්දෙ දාන්න තියන හදිස්සිය”

උමා “පාරෝ”  යි හඬගසාගෙන ගෙදරට ගොඩ වූ පසු චන්දුල එසේ කීවේ කට කොනක සිනහවක් තවරාගෙන ය.

“ගඟුල් විජයවීරට දෙන්නැති මනාපෙ කාට දෙන්නද ඉතිං”

උමා ඇඟට පතට නො දැනී කීවා ය.

“නැද්ද නෑනො…”

ඇය පාරුල් ගේ තෙත කොණ්ඩය මෑත් කොට මූණට එබුණා ය.

“හප්පතසිලි…මෙයාගෙ මූණ නිකං ඡන්ද අපේක්ෂිකාවක් වගේනෙ”

“ශ්…”

පාරුල් සිය දබරැඟිල්ල දෙතොල් මත්තෙහි තබා උමා වැළකුවා ය. ඔවුන් දෙදෙනා වක්කඩ කැඩුවා සේ සිනහ වෙන්නට ගත්තේ ලී ගේට්ටුවෙන් පිටතට පිලිපන් පසුයි. චන්දුල උළුවස්සට හේත්තු වී අත් දෙක පපුවෙහි බැඳ, කකුලක් හරහා දැමූ පාදයක ඇඟිලි තුඩු බිම තියාගෙන බලා සිටියේ ය. යුවතියන්ගේ සිනහව ඔහු ගේ ද මුහුණට මඳහසක් කැන්දා තිබිණි. නිල් කොටු වැටුණ සුදු සරමක් බිම ගෑවෙන දිගට හැඳ, අත් සහිත සුදු බැනියමක් දමාගෙන සිටි ඔහු වෙතින් දිස් වූයේ කදිම පෞරුෂයකි. තද කොළ පාටකින් වැවී එන ඔහු ගේ රැවුල් කොට අතරින් ආර්යමය රන්වන් පාටක් එබිකම් කළේ ය. උමා යළිත් හැරී බැලූයේ උදෑසන දුටු ඒ පිය දසුන එකවර හිතෙන් පළවා හරිනු නො හැකිව ය.

“ගඟුල්ට මනාප දහයක් දොළහක්වත් හොරට දාන්න ට්‍රයි කරල අහුවෙලානං එන්නෙපා”

චන්දුල කෑගෑවේ ය. උමා ද අත්හැරියේ නැත.

“දහයක් දොළහක් මොකටද… පුළුවන්නං දාහක් දෙදාහක්වත් දානව”

කෙල්ලන් ගේ සිනහව, ඔවුන් තවත් අඩි කිහිපයක් ඇවිද යන තුරුත් චන්දුල ගේ සවන් ළඟ දඟ කළේ ය.

“මං මේ කල්පනා කළේ කෙල්ලෙක් බෑ කියද්දිත් බලෙං සම්බන්ධයක් ඇතුළෙ හිර කරං ඉන්න හදන පිරිමි මොක්කුද කියල. බෑ කියන්නෙ බෑ කියන එකටයි කියල තේරෙන්නැද්ද මුන්ට… යන්නෝනෙ කියන එකෙක්ව බලෙං තියාගෙන මොන අල ගෙඩියක් කරන්නද…”

උමා පාරුල් සමග නිදහසේ කතා කරන්නට වෙලාවක් සොයමිනි සිටියේ. නමුත් පාරුල් වචනයකින්වත් ප්‍රතිචාර දැක්වූයේ නැත. ඇගේ මුව මත උදෑසන ම අට සිල් සමාදන් වූ උවැසියක ගේ වන් නිවුණේ බවක් වේ. ඒ ශාන්තියත් සමාදාන සුවයත් පසන් ගැන කතා කොට විසුණු කොටගන්නට ඇයට හිත් දුන්නේ නැත. මධ්‍ය විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට යන්නට පෙර ඕ උමාව ද ඇදගෙන සංඝබෝධි විහාරයේ බුදු රුව ඉදිරියට ගියා ය. මල් ගෙන ආවේ නැතියෙන් සුපිරිසිඳු හිත මලක් කොට පූජා කළා ය. පැතුමක් හිතේ ඉතිරි වී තිබිණ. ගඟුල් ට ජයග්‍රහණය හිමි වේවායි හිතත්දී ඇස් බොඳ වෙන බවක් ඇයට දැනිණ. මේ දේශපාලනඥයෙකු වෙනුවෙන් පැතුමක් පැතුවා ම ය.

දෙපා ළඟ දැවටුණ පූස් පැටවෙකු පෑගෙන්නට ගොස් පාරුල් ඒ වළකා ගත්තේ කෑගසමින් උඩ පැනයි. ඇස් හැරි ගමන් තවත් කුඩා පැටවුන් සිව් දෙනෙකු ම බුදු පාමුල ඉසිර විසිර සිටියහ. බලු පැටවුන් පූස් පැටවුන් මහ මග දමා යාමේ පව්  සමා කොට ගන්නටදෝ මිනිස්සු පන්සලක් කිට්ටුව උන් අතාරිති. බුදු නෙත්හි කරුණාව පව් කරන මිනිසුන් ද අසරණ සතුන් ද කෙරේ එක ලෙසම වේ.

ගඟුල් උදයෙන් ම නා පිරිසිඳු වී නිල් ඩෙනිම් කලිසමක් හා සුදු කමිසයක් ඇන්දේ ය.

“නැශනල් කිට් එක අඳින්න තිබුණනෙ. එතකොට තමයි නියම දේශපාලකයෙක් කියල මිනිස්සු පිළිගන්නෙ”

සුරත් විජයවීර පුතාගේ හිතුවක්කාරකම් ගැන නො මනාපය හැඟවූයේ ය. නිර්ධා ගගුල් ව කෑම මේසයට කැඳවා ගෙන ගොස් කිරිබත් කැබැල්ලක් කැව්වා ය.

“ජාතික හැඟීම තියෙන්න ඕනෙ ඇඳුමෙ නෙවෙයි පුතා. හිතේ. වැඩ වල. අදින් පටන් ගන්න ගමන රටේ මිනිස්සු වෙනුවෙන් සේවයක් කරන එකක් වෙනවමයි කියල හිතට ගන්න. නැතුව පරම්පරාවට සේවයක් කරගන්න නෙවෙයි…”

සුරත් නිර්ධා ට රැව්වේ ය. නමුත් ඇගේ මූණට යමක් විරුද්ධව කියන්නට ඔහු බය ය. සුරත් සූදානම් වී සිටියේ ගඟුල් සමගින් ම ඡන්ද පොළට යන්නටයි. ගගුල් ඊට විරුද්ධ වූයේ ය.

“මං කැමතියි මගෙ දේශපාලන ප්‍රතිපත්ති තියන මගෙම ගමනකට. තාත්තගෙ නැශනල් කිට් එකේ එල්ලිල ගිහිං මට අමුතුවෙන් දෙයක් කරන්න වෙන්නෑනෙ. තාත්ත කරන දේවල් තාත්තට දැන් වුණත් කරන්න පුළුවන්නෙ. ඒක නිසා වෝට් කරල එන්න මං තනියම යන්නං. තාත්ත අම්මත් එක්ක එන්න”

නිර්ධා හොරෙන් සිනහ වෙන හැටි දුටු සුරත් ඒ නො දුටුවා සේ ඉවත බලා ගත්තේ ය.

රාජකීය විද්‍යාලයේත්, මධ්‍ය විද්‍යාලයේත් පිරිමි හා ගැහැනු පෝලිම් දෙකෙහි ගඟුල් විජයවීර  ද පාරුල් දෙව්රූ ඇල්ලගේ ද රැඳී සිටියේ එක ම වෙලාවක ය. අතැඟිලි වල තීන්ත සලකුණු යෙදුණේත්, මනාප සලකුණු කරන ලද පත්‍රිකා පෙට්ටි වලට බහාලුයේත් එකට ම ය. පාරුල් සලකුණු කළේ එක් මනාපයක් පමණකි. ගඟුල් වෙනුවෙන් පමණකි!

ඔවුන් දෙදෙනා ගේ ම හදවත් වල අමුතු උණුහුම් බවක් විය. සිය යුතුකම ඔහු වෙනුවෙන් පමණකුදු නොව සමස්ථ දුක් විඳින වතු ජනතාව වෙනුවෙන් ද ඉටු කළා වන් සාඩම්බරයකින් පාරුල් පිම්බී සිටියා ය. ඔහු ඡන්දය දමනා පක්ෂයට පාරුල් ගේ ද ඡන්දය දම්මවන්නට මේ උදයේ ද පසන් උත්සාහ කළේ ය. රණ්ඩු වෙන්නට බැරි නිසා පාරුල් හා හ්ම් කියමින් පාඩුවේ සිටියා ය. මේ මනාපය පසන් ඉරුගල්බණ්ඩාර ට ද විරුද්ධවයි.

ඡන්ද මධ්‍යස්ථානයට ගඟුල් පැමිණියේ තනිව ය. ආධාරකරුවන් පිරිවරාගෙන නොවේ. එබැවින් ඔහු තනිව ම රියට ගොඩ වී ආමර් වීදිය පැත්තට යන්න හිතුවේ ය. පාරවල් පාළු ය. වාහන වලින් හිස් ය. එතකොට කොළඹ නගරයෙහි වන්නේ වෙනත් ම සුන්දරත්වයකි.

උමා හා පාරුල් සැහැල්ලුවෙන් සිනහ වෙමින් සරුංගල දෙකක් සේ පාරේ පාව එමින් සිටියහ. ගඟුල් දුරට ම ඔවුන් හැඳින්නේ ය. තරුණියන් පසු කොට මඳක් ඉදිරියට ගිය රිය මග අයිනට කොට නැවතිණ. පාරුල් උමා ගේ අතක් අල්වා ගත්තා ය. ඇගේ අත සීතල වී තිබෙනු උමා ට දැනිණ.

“කොහෙද මේ ගෑනු ළමයි පාරෙ දඟල දඟල යන්නෙ ආ..”

ඔහු කවුළු වීදුරුව පහත් කොට අව් කණ්ණාඩි හිස් මුදුනට කරමින් එබී බැලුවේ ය. පාරුල් දෙතොල් තෙරපා සිනහ වූවා ය.

“මේ පාරුල්ට උදේ පාන්දරින්ම ගිහින් මනාපෙ දාල එන්නෝන කිව්වනෙ. එක මනාපයයි මාක් කරන්නෙත්… බයේ ඒක කවුරුහරි දාගනී කියල”

ඉස්සර වූයේ උමා ය. පාරුල් ගේත් ගගුල් ගේත් නේත්‍රාවකාශයේ අකුණක් පුපුරා ගියේ ය.

“අපේනං ගෙවල් ළඟනෙ. ඡන්ද අපේක්ෂකයො මෙහේ තනියම කරක් ගහන්නෙ මොකටද කියලයි අහන්න ඕන නේ පාරු… ආරක්ෂාවක් නැතුව…”

“ආරක්ෂා කරන්න තරං මොනාද අනේ අපිට තියෙන්නෙ…”

ගඟුල් රියෙන් බැසගත්තේ ය. අත් දෙක පපුව මත බැඳ, දෙපා මඳක් ඈත් කොට සිටගෙන ඉන්නා ඔහු ගේ පෞරුෂය බටහිර නළුවෙකු ගේ වාගේයි පාරුල් ට සිතිණ. මඳ වෙලාවක් ඔවුන් වල්පල් දොඩන්නට ඇත. වැඩිපුර කතා කළේ උමා හා ගඟුල් ය. පළතුරු කරත්තය අසල සිට ශාරුක් ඔවුන් සිටින දෙස බලා හිඳිනවා හදිසියේ ම පාරුල් ගේ නෙත ගැටිණ. ඔහු මෙතැනට පැමිණියහොත් අනවශ්‍ය විකාරයක් සිදු වනු ඇතැයි සිතූ ඕ ගඟුල් ගෙන් සමුගත්තා ය.

“මන්නං කියන්නෙ මන්ත්‍රීතුමා උඹට ලව් කියලමයි”

“එයා දන්නව පසන් මාව මැරි කරන්න ඉන්නව කියල”

“ඉඩෝරය ඉවසගත්තොත් පතොක් ගස් වලත් මල් පිපෙනව කියල මං හිතන්නෙ මන්ත්‍රී තුමා දන්නව”

“එහෙම එකක් වෙන්නෑ මෝඩයො”

කියමින් පාරුල් උමා ගේ අතකින් ඇදගෙන ගියා ය. නමුත් ඇගේ ඇස් මත ආශාවේ එළියක් තැවරී තිබිණ.

ඒ වත්තට ප්‍රීතිමත් දිනකි. අවුරුදු ආවා වගේ පිරිස නිදහසේ සිටියහ. පිරිමි කිහිප දෙනෙක් රංචු ගැසීගෙන බෝතලයක් වට කොට ගත්හ. පොදුවේ හැම දේශපාලකයෙකුට ම දොස් කීහ. සිය ජීවිත ගැන බලාපොරොත්තු අත්හැර ගන්නට සිදු වූ ආත්ම වේදනාවකින් කතා කළහ.

“අපේනං දැං කාලෙ ඉවරයි. අපේ පොඩිඋන්ට වැටිල ඉන්න රටක්වත් නැතිවෙයිද කියන දුකයි තියෙන්නෙ”

ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කරන විට මැදියම් රැය ඉක්මවා තිබිණ. වෙනදා නම් මැතිවරණ රැයක පාරුල් යම් කාලයක් වනතුරු නිදිවැරුවේ හුදු විනෝදය වෙනුවෙනි. නමුත් මේ රැයේ ඇහැ පියවාගන්නා බලාපොරොත්තුවකුදු ඇයට නොවිණ. කොළඹ ප්‍රතිඵල අනුව ගඟුල් නියෝජනය කළා වූ පක්ෂය ඉදිරියෙන් ම සිටියේ ය. වාර්තාගත මනාප ඡන්ද ප්‍රමාණයකින් ගඟුල් විජයවීර ඉදිරියෙන් සිටිනා බවක් රටේ ජනතාව දැනගත්තේ පසු දා දහවල් වන විට යි. නමුත් ගඟුල් එය කල් ඇතිව දැන සිටියේ ය. ඒ ප්‍රතිඵල ගණන් කරනා මධ්‍යස්ථාන වල සිටි ආධාරකරුවන් මාර්ගයෙනි. සුබ පැතුම් දහස් ගණනින් ඔහු වෙත ගලා එමින් තිබියදී ඒ සතුට ඉතා ඉක්මනින් පාරුල් සමග බෙදා ගැනීමේ නො ඉවසිල්ල ඔහු ට දැනිණ.

“නිල නොවෙන ආරංචියක් නිසා කියන්න හිතෙන්නෙත් නෑ. දැනගත්ත විදිහට කොළඹින් වැඩිම මනාප තියෙන්නෙ මට. ඒක රෙකෝඩ් එකක් කියලයි කියන්නෙ”

ඇයිදෝ මන්දා පාරුල් ට වචනයක්වත් කතා කරගත නො හැකි වූයේ ය. ඇගේ උගුර හිර වී තිබිණ. ඇස් වලට දැවිල්ලක් දැනුණෙන් ඕ ඉක්මන් ඇස් පිය ගැසුවා ය.

“තෑන්ක් යූ…”

“ඇයි…”

ඇය අමාරුවෙන් අසාගත්තා ය.

“මෙහෙම තැනකට මාව අරං ආවට. ඒකෙ ක්‍රෙඩිට් එක යන්නෝනෙ ඔයාට කියල මං දන්නව”

“මේ ලැබෙන බලය මිනිස්සුන්ට වැඩ කරන මනුස්සයෙක් වෙන්න යෙදෙව්වොත් තමයි ඔයා ඇත්තටම දිනන්නෙ”

ඉතා කෙටි කලබල දින දෙක තුනකට පසු ගඟුල් විජයවීර කොළඹ නගරාධිපති වශයෙන් දිව්රුම් දුන්නේ ය. එදා පාරුල් හා ගගුල් අතරේ ලොකු රණ්ඩුවක් ඇති විය.පුරපති ලෙස වැඩ භාර ගත් ගමන් ඔහු ගේ අවධානය යොමු වූයේ ලොන්ඩරිවත්ත ප්‍රධාන කොළඹ අඩු පහසුකම් ලාභී ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් ගත හැකි පියවර ගැනයි. ඒ අතරේ දවසක පසන් ඉරුගල්බණ්ඩාර ගගුල් විජයවීර ගේ කාර්යාලයට දුරකතන ඇමතුමක් ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles