හතලිස් එක් වැනි නෙත් සැරිය
චත්‍ර අයත්මාගේ උකුලට හිස තබා ගත්තේය. අයත්මා ඔහුගේ සිනිඳු හිස කේ අතරින් හිස් මුදුන පිරිමැද්දාය. පුපුරා යන අකුණකින් එක්වරම තිගැස්සෙද්දී ඇයගේ අතැඟිලි එහෙමම නිහඬ වූ තත්පරද විය.
” සිහිනිට කොහොමද චත්‍ර ?..”
අයත්මා හැකි තරම් පහත් හඬින් අසුවාය. වැස්සේ හඬ නිසා කිසිවක් ඇසෙන්නේ නැතැයි සිතුනද, අවධානමක් ගත නොහැක. අයියා සිටින්නේ අවදානයෙනි.
” ශේප් … මම සයිකැට්රික් කෙනෙක් ළඟට ගෙනිච්චා..කවුන්සලින් සෙශන් දෙකකටත් යැව්වා…”
චත්‍ර ඇය දෙස නොබලාම කීවේය.
” ඔයා කලබල නොවී එයාව බලන්න. මට පුලුවන් මාව බලාගන්න …”
අයත්මා ඉන් පසුව කිවාය. චත්‍ර එයට හිස සැලුවා පමණි. ඔහුට විමසන්නට අවැසි වූ දේ බොහෝ වුවද ඇගේ උකුල සුව යහන මත චත්‍ර සුවෙන් වැතිරී හිඳීමේ නිරාමිසය පුහුණු කරමින් උන්නේය.
” හොඳටම වහිනවා…..”
” පායාවි .. මං පාන්දරට තියලා යන්නම්….”
” ආයේ මෙහෙම හිතුවක්කාර වැඩ කරන්න එපා චත්‍ර … වැස්සේ නිසා පේන්නේත් නෑ පාර. අර පාරේ මුල හෙන කානුවක් ….. අනෙක් එක ඔයා ආව තැන එතන තාප්පේ උසයි … ලෙස්සලා ගියොත් කකුලම කැඩෙයි …”
චත්‍ර කෙලින් වී මඳක් නැවී දකුණු කකුලේ වලලුකර දෙස බැලුවේය. වලලුකර අසලින් කකුල ඉදිමී තිබුණි. වේදනාවක් නොදැනුනේ ඇයිදැයි චත්‍රට වැටහුණේ නැත. අයත්මාද ඒ අනුව නැවී ඔහුගේ පාදය දෙස බැලුවාය. ඇයට හීල්ලුණි.
” දෙය් යනේ.. මොකක්ද උනේ ?…”
” ඒක හරි … පොඩි ක්‍රැක් එක්ක ඇත්තේ …. මම උදේට මුකුත් කරගන්නම් …”
අයත්මාට එහෙම ඉවසා සිටිය හැකි වූයේ නැත. ඕ චත්‍රට බැණ බැනම කාමරයෙන් පිටතට ගියාය. පෙරලා කාමරයට පැමිණියේ උණ්ය්සුම් ජල බඳුනක්ද සමඟිනි.
අල්මාරියෙන් කුඩා තුවායක් ගත් ඕ එය පොඟවන අතරේම චත්‍ර අසල බිම හිඳගත්තාය. චත්‍ර උන්නේ ඇගේ හැසිරීම් වෙන් වෙන්ව එකින් එක විඳිමිනි. ඕ තුවාය ගුලියක් වන සේ සකසා ජල බඳුනේ යන්තමින් එබුවාය. එය අත්ලේ මත තවරමින් මදක් උණුසුම පරික්ශා කලාය. චත්‍රගේ පාදය එක් එතකින් අල්ලා ගත්තාය. අනෙක් අතින් උණුසුම් තුවායෙන් ඔහුගේ කකුල තැව්වාය. චත්‍ර ට දෑස් ඇය කෙරෙන් ගලවාගන්නට හැකි වූයේ නැත.
තමා විදෙස් ගත වන්නට පෙර අයත්මාට පෙම් කරන වග නොපැවසුවේ ඇයිදැයි චත්‍රට මතකය. අයත්මාගේ පියා ඍජුවම කීවේ දේශපාලනය කෙරූ පියෙකුගේ පුතෙකු වීම අයත්මා විවාහ කර ගැනීමට හේතුව නොවන බවය. ඉගෙනීම් කටයුතු අවසන් කරගෙන, ජීවත් විය හැකි රැකියාවක නියැලීම පලමුකොට කරන ලෙසත් ය.
විදෙස් ගත වු පසු අයත්මා තමා සමඟ කිසිඳු සම්බන්ධතාවයක් නොපවත්වා සිටින්නට තීරණය කරන්නට ඇත්තේ මන්දැයි ඔහු දැන් දනී. ඇය සිතා ඇත්තේ තමා ඇය හැර විදෙස් ගත වූවාය කියාය. උසස්පෙල අවසන් වන විට තමන් දෙදෙනාම එකිනෙකා කෙරෙහි වන යම් නැවුම් හැඟීම් වලින් පිරෙමින් තිබියදී එක්වරම තම විදෙස් ගත වීම ඇයට කලකිරීමක් තනන්නට ඇත.
කල්පනා මුන ගැසුණේ ඒ අතරේය. මුලදී ඈ මවුවත් කම් පිරි මිතුරියක වූවාය. ඇය ජීවිතය පටලවාගෙන ජීවිතය අත් හරින්නට සූදානම් වූ මොහොතේ තමා ඉදිරියට ආවාය. අල්ලා ගන්නට තීරණය කලේ තමාය. ඇය තමාට පෙම් කරන බව කීවේ පසුවය. එහෙත් අයත්මා ගේ මතකයන් ඉක්මවමින් කල්පනාට නවාතැන් දෙන්නට ඉඩක් තම හදවතේ නොවූ බවද චත්‍රට විශ්වාසය. එහෙත් ඕ පෙම් කරන බවම පවසමින් හඬද්දී, තම පසුපසම රැදෙද්දී යම් ලතෙත් බවක් ඇති නොවූවායැයි කියන්නට චත්‍රට නොහැක.
ඇය සමඟ එක්ව වාසය කිරීමට තීරනය කිරීම අහම්බයක් නොවේ. ඇය උන්නේ ජීවිතය අත් හැරීම හැම විටෙකම විකල්පයකර ගනිමිනි
. කල්පනා නැවතී උන් නිවස ඇ් සමඟ බෙදාගත් ශ්‍රී ලාංකික මිතුරියගේ පෙම්වතාද ඔවුන් සමඟ වාසය කරන්නට විත් තිබුණි. කල්පනා ගේ සැඟවුණු කතාවක් යලි මතු කරමින් ඔහුගෙන් කල්පනා වෙත යම් බලපෑම් ඇති වෙන්නට පටන් ගෙන තිබුණි. එක් දිනෙක කල්පනා නාන කාමරයේ සිටියදී ඔහු පැමිණ ඇයව බලහත්කාරයෙන් සිප ගෙන බැඳාගැනීමට උත්සාහ දරා තිබුනි. කල්පනා තම නිවසට පැමිණියේ මහා පීඩනයක් එක්ක බව චත්‍රට අමතක නැත. ඕ උන්නේ කිසිවක් නොවිසඳෙනවාමය යන මතය එක්කය.
” කොහේවත් යන්න ඕනි නෑ කල්පනා .. මෙහෙ ඉන්න .. ඔයා ඇතුලේ රූම් එක ගන්න … මට විසිටර්ස් රූම් එකට ශිෆ්ට් වෙන්න පුලුවන් …”
කල්පනා කිසිඳු පැකිලීමක් නැතිවම චත්‍ර හා නිවෙස බෙදාගත්තාය. එහෙත් චත්‍රට ඇය හා යහන සම්පූර්නයෙන් බෙදාගන්නට සිතක් වූයේ නැත. ඕ යහනේ වැතිරෙමින් ඔහුගේ ලය මත හිස තියා ගත් දින නොවූවා නොවේ. එහෙත් ඇය හා ඉන් එහා ඉමකට යන්නට චත්‍ර ට සැලසුම් වූයේ නැත.
ඕ සැබැවින්ම චත්‍ර රැක බලා ගත්තේ මවක මෙන් බව චත්‍රට මතකය. එහෙත් ඒ කිසිවකින් අයත්මා අමතක වූයේ නැත. ඇය පෙම් කලා වුවද, තමාට ඇයට පෙම් කල නොහැකි වූවා වූයේ ඇයිදැයි චත්‍රට වැටහෙන්නේ තමා මේ මොහොතේ අයත්මාට පෙම් කරන තරමේ බර වැටහෙද්දීය. තමා ඇයට හිතෛෂී රැකවලෙකු වූවා පමණය.
චත්‍ර පියවි සිහියට එළැඹෙද්දී අයත්මා ඔහුගේ පාදය බැන්ඩේජ් පටියකින්ද වෙලා අවසන් කර තිබුණි. ඕ පාදය දෑතින්ම අල්ලාගෙන මොනවාදෝ මුමුනන්නටද අමතක නොකලාය.
” මොනවද කල්පනා කරන්නේ ?..”
ඕ එහෙමම හිඳගෙන හිස ඔසවා විමසද්දී චත්‍ර කිසිත් නොමැති වග පවසන්නට හිස දෙපසට සැළුවේය. ඇය ඔහුගේ අතක් අල්ලාගෙනම නැගිට්ටාය.
” කකුල තෙමාගෙන්නේ නැතිව යන්න බෑනේ?… වැස්ස අඩු වෙන්නේ නැති වෙයි …. අනෙක මෙහෙම තියාගෙන තාප්පෙන් යන්නේ කොහොමද? .. රෝලර් ගේට් එක අරින්නත් බෑ අයියාට ඇහේවි …”
” අපි බලමුකෝ.. ශේප් එකේ තාප්පෙන්ම ය්න්න පුලුවන් …. මං ගෙදර ගිහින් ආයේ බැන්ඩේජ් කරගන්නම් …”
අයත්මා හිස පසෙකට ඇල කරමින් එයට එකඟ නොවන වන හැඟෙව්වාය. චත්‍ර ඇගේ කොපුලක් පිරිමැද්දේය. ලෝකයම තමන් දෙදෙනාට එරෙහිව නැගී සිටින විට පවා තමන් දෙදෙනාට එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින්නට ලැබීමම කෙතරම් භාග්‍යක්දැයි චත්‍ර සිතුවේ ඇයගේ හිස පිරිමදින අතරේය. ඕ ඉතා දයාර්ද්‍ර කිරිල්ලියක ලෙසින් සන්සුන්ව තම උරිස්සට හිස තියාගෙන සිටින්නීය.
තමන් දෙදෙනා මෙතරමට සැනසීමෙන් සිටින්නේ හතරවටෙන්ම ගිණි ඇවිලෙද්දී නොවේදැයි සිතෙද්දී චත්‍රට දැණුනේ ආදරය මෙතරම් සුන්දර වන්නේදැයි යන හැඟීමම පමණක් ය.
| අපේක්ෂා ගුණරත්න |