මා හද තුළ ඔබ 31

තඹරු පියුම්රා දිවාකර අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සීගෙන සිටියා ය. නිරන්තර ඇගේ උගුර කට වියළුණේ ය. කිසි දා නො දැන සිටියා නම් යෙහෙකැයි සිතෙනා භයානක රහස් ගුහාවකට ඇතුළු වූවා වන් භීතියක් ඇයට දැනෙමින් තිබිණ. මේ රහස හෙළිදරව් කළ යුතු ද නැත්නම් තව දුරටත් රහසක් ලෙස සිය හදවත තුළ වැළලී යන්නට ඉඩ හළ යුතු ද කියා ඇයට සිතා ගත නො හැකි ය. තාත්තා ට සිදුව ඇත්තේ බරපතල අසාධාරණයක් බව දැන් ඇයට ප්‍රත්‍යක්ෂ ය. අම්මා ද සිතා සිටියේ තාත්තා ගේ අනියම් සබඳකම නිසා ඔහු සිය ව්‍යාපාර බංකොලොත් කර ගත්තා ය කියායි තඹරු දනී. නමුත් ඔහු නිවැරදිකාරයෙකි. සමනල් ගේ පියා ඩිලන් රණසිංහ විසින් සැලසුම් සහගත ලෙස තාත්තා ගේ ව්‍යාපාරය බිමට සමතලා කොට ඒ අළු දූලි මතින් ඔහු ගේ සාර්ථකත්වය නිර්මාණය කරගෙන තිබේ. එය ව්‍යාජයකි. ඒ බව දැන ගැනීම තාත්තා ට කෙසේ බලපානු ඇත්දැයි කඹරු ට සිතා ගත නො හැකි ය. ඔහු ජීවිතයේ දෙවන ඇරඹුම සිදු වූවා විතර ය. ව්‍යාපාර කඩා වැටී දරුණු රිය අනතුරකින් දිවි තොර වී යළි ගොඩ විත්, ඊටත් වසර දහයක් ද ඉක්මවන තැන අම්මා සමගින් අතීතය අමතක කොට එක්සිත් වූ ගමන් ම ඔහු ගේ හිත යළි බිඳිය යුතු ද?

ඩිලන් ට කිසි දා සමාවක් දිය නො හැකි ය. ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකු නොවේ. ඔයු කපටි වංචාකාරයෙකි. සාධාරණ මිනිසෙකු අසීරුවෙන් ගොඩනගනා ලද ව්‍යාපාරයක් හිතා මතා බංකොලොත් කොට ඔහු ගේ ජීවිතය අපායට ඇද දැමූ පාපතරයෙකි. එහෙම හිතත්දී තඹරු ගේ රුධිර සංසරණය වේගවත් වේ. ශ්වසනය ඉක්මන් වේ. සිරුර උණුහම් වේ. එහෙම එකේ මේ පුවත තාත්තා කෙරේ කෙබඳු තත්වයක් ඇති කරාවිදැයි ඇයට බිය ය. දීර්ඝ කාලයක් හිතේ සැනසීමක් නැතිව යන්ත්‍රයක් සේ වැඩ කළ අම්මා හිනා වෙන්නට ගත්තා විතර ය. ඉතින් ඇයට මේ බව කියා ඇගේ සැනසීම යළිත් වතාවක් උපන් ගෙයි ම මියෙන්නට හැරිය යුතු ද?

හිස පුපුරන්නට එනවා වන් පීඩනයක් තඹරු ට දැනිණ. කාර්යාලයේ සිට පැමිණි වෙලාවේ පටන් ඇඳ බදා ගෙන සිටිය ද එක මොහොතකටවත් ඇස් පියවී නිදි සුව ලැබුණේ නැත. රන්මුතු කිහිප වතාවක් විත් තඹරු ගේ නළලත පිටි අත්ල තබා බැලුවා ය. වේදනා නාශක පෙති දෙකක් බොන්නයි සිහිපත් කළා ය. තේ හදා ගෙනැවිත් දුන්නා ය. පසු දා රැකියාවට යාමේ අදහසක් ඇයට වූයේ ද නැත.  නමුත් ඒ කිසිවකින් තඹරු ගේ පීඩනය අඩු වූයේ නැත. හැන්දෑ වන තුරුත් ඇය සිය සිතිවිලි සමගින් පොරබදමින් සිටියා ය. එය දරා ගන්නට බැරි තැන  යහනෙන් නැගී සිට වෙනත් ඇඳුමක් දමා ගත්තා ය. සැහැල්ලු ඇලඩින් පෑන්ට් එකක් හා ටී බැනියමක්! ඇයට ඒ පීඩනයෙන් පලා යාමට අවශ්‍ය විය. නො එසේ වී නම් රුධිර පීඩනය වැඩි වී ඇගේ ශරීරයෙහි අසමතුලිතතාවයක් ඇති විය හැකි බව ඇයට දැනිණ.

“කොහෙ යන්නද බබූ…”

තඹරු කාමරයෙන් පිටතට එත්දී කුඩා ආලින්ද කොටසේ දිවාකර සමගින් තේ බොමින් සිටි රන්මුතු විමසුවා ය.

“මං පස්වෙනි පටුමගේ ටිකක් ඇවිදල එන්නං අම්මි”

රන්මුතු දෙගිඩියාවෙන් බලා සිටියා මිස තඹරු වැළකූයේ නැත.

” ඩොක්ට ළඟට ගිහින් බෙහෙත් ටිකක් ගමුද බබූ…”

“රෑ වෙලා බලමු”

කියාගෙන ඇය පියගැට පෙළ බැස්සා ය.

“අසනීපයක්නං බල බල ඉන්න හොඳනෑනෙ. ඔයා බබූ එක්ක ඩොක්ට ළඟට යන්න එහෙනං”

දිවාකර මඳ කල්පනාවක කිමිදෙමින් කීවේ ය. තඹරු කියන්නේ ඔහු ගේ ජීවිතය මත්තේ පෑයූ සූරියකාන්ත කුසුම ය. ඇය නිරන්තර ඔහු දෙස බලාගෙන සිනහ වූවා ය. ඔහු ගේ මානසිකත්වය කෙබඳු වී ද ඒ සිනහවේ වෙනසක් නොකළා ය. නමුත් ඊයේ සිට ඇය ඔහු ට මුහුණ දෙන්නේ නැති බවක් දිවාකර ට දැනේ.

තඹරු තාත්තා ට මූණ නොදී සිටියේ ඇයට දරාගන්නට අසීරු නිසාවෙනි. තාත්තාට වූ අසාධාරණයට සාධාරණයක් ඉටු විය යුතු ය. මුළු ලෝකය ම හිතන්නේ ඔහු අසාර්ථක ව්‍යාපාරිකයෙකු බවයි. නමුත් දැන් ඇය ඇත්ත දනී. එනමුත් තාත්තා ට වූ වරද නිවැරදි කරන්නේ කෙසේ ද?

“අසනීපයක්ද නැත්තං ඔෆිස් එකේ මොකක්හරි ප්‍රශ්නයක්ද කියලයි මං මේ හිතන්නෙ..නැත්තං ඔෆිස් නොයා ඉන්න තරං හිසරදයක්…ඊටත් බබූ ඔය පස්වෙනි පටුමගේ ඇවිදින්න කැමති එතකොට හිත සන්සුන් වෙනව කියල..”

රන්මුතු කල්පනාබර ව මිමිණුවා ය.

අසනීපයි කියා කාර්යාලයෙන් නික්ම ගියාට පස්සේ තඹරු ගේ දුරකතනය ක්‍රියාත්මක වූයේ නැත. අසනීප නිසා ඇය විවේක ගන්නවා ඇතැයි සමනල් හිත සන්සුන් කොට ගත්තේ ය. අසනීපයක් මිස ඇගේ වෙනසකට හේතුවක් ඔහු දන්නේ නැත. එවැන්නක් සිතා ගැනීමේ ඉඟියක් හෝ තිබුණා නොවේ. ඇය පසුදා ආයතනය වෙත නොපැමිණීම සමනල් තව දුරටත් නො සන්සුන් කරවන ලදී. දුරකතනය තව දුරටත් ක්‍රියා විරහිත ය. සමනල් ස්ථාවර දුරකතනයට ඇමතුමක් ගෙන රන්මුතු සමග කතා කළේ ය.

“තඹරු ඔෆිස් ආවෙත් නෑ ෆෝන් එක කන්ටැක්ට් කරන්නත් බෑ. ඒකයි ආන්ටි මං ලෑන්ඩ් ලයින් එකට ගත්තෙ. තඹරුට මොකද දැන්…”

“ඒ ආපු වෙලාවෙ ඉඳලම ඔළුව රිදෙනව කියල ඇඳේමයි පුතා. අඩු වුණෙ නැත්තං හවසට ඩොක්ටර් ළඟටවත් එක්ක යන්න ඕනෙ. ඉන්න පුතා මං දුවට කතා කරන්නං”

“නෑ නෑ එපා ආන්ටි. එයා රෙස්ට් කරපුදෙං. හවසට මං ජිම් එකට ආවොත් එන්නංකො ඒ පැත්තට ආන්ටි”

සමනල් සමග වූ ඒ කතා බහත් රන්මුතු නැවත සිහිපත් කළා ය. කුමක් නමුත් සිදු වී තිබේ. සමනල් ගේ කතාබහ අනුව ඔහු එය දන්නවා කියා සිතන්නට ද ඇයට සිත ඉඩ දෙන්නේ නැත. තඹරු යනු කිසිත් ඇගෙන් සඟවනා ගෑනු ළමයෙකු නොවේ. නමුත් යමක් සිදු වී තිබේ!

පස් වෙනි පටුමග හරි සිහිලැල් ය. සෙවනැති ය. පටුමග දෙපස වැවැණු නුග හා වෙනත් රූස්ස තුරු මුදුන් වලින් වියනක් තනා ඇත්තේ ය. ඒ නිසා බෙහෙවින් නිසංසල ය. මග අයිනෙහි වන විසල් ක්‍රීඩා පිටියට ඔබ්බෙන් වනජීවී රක්ෂිතයකි. එය සිය ගොදුරු බිම කරගෙන වසනා සත්ව ගහන රැසකි. පාරේ යන එන්නන්ට ඒ සතුන් නිතර දැකිය නො හැකි වී ද උන් නගනා හඬවල් ඇසිය හැකි ය. පස් වෙනි පටුමගේ ඇවිදින්නට තඹරු වඩාත් රිසි නුග ඇතුළු දැවැන්ත වනස්පතීන්ගේ සෙවනත්, රක්ෂිතය දෙසින් අතොරක් නැතිව නැගෙනා කුරුලු කූජනත් නිසා ය. හිස හිරිවට්ටා ඇති පීඩනය තුනී කරගනු වස් ටික වෙලාවක් එමග පිය නගන්නට තඹරු තීරණය කළේ හදිසියේ ය.

සල්ගස් හන්දිය පසුකොට ඇය මත්තෙගොඩ හන්දිය දෙසට ඇවිද යත්දී සමනල් ඇය දුටුවේ ය. තඹරු ඇවිද ගියේ කිසිදු අරමුණකින් තොරව සිහිනයක් දිග ඇවිදින්නා සේ ය. ඇය ඔහු ගේ රිය දුටුවේ නැත. දුටුවත් හැඳින්නේ නැත. සමනල් රිය නලා හැඬවී ය. ඒ ඇයට ඇසුණේ නැත. ඇසුණත් වගක් වූයේ නැත. රියක් නලා හඬවා තමන්ට කතා කරතැයි සිතන්නට ඇයට ඕන වුණේත් නැත. පස් වෙනි පටුමග වන පෙත් මගට ඇය අවතීර්ණ වත්දී සමනල් රිය අයිනට කොට නවතා දිවගෙන වාගේ ඇය වෙත ආවේ ය.

“තඹරු”

තමන් ඉදිරියෙහි සිට ගෙන සිටිනා සිහින් උස කොල්ලා දෙස ඇය නෙතු පිය නගා බැලුවා ය. නමුත් ඇය සිටියේ ඇගේ ම වූ ලෝකයක ය. ඔහුත් එක්ක සිනහ වෙන්නට තරම ඇයට අමතක වී තිබිණ. සමනල් ට වෙනසක් දැනිණ. ඇය අමුතු බව දැනිණ.

“ඇයි තඹරු…ඔයාට කොහොමද දැං…”

“ඔයා කොහෙද මෙහෙ…”

“මං…ජිම් එකට යන ගමං. ඔයාව දැකල නතර වුණේ”

“මං ටිකක් ඇවිදින්න යනව. මට හිත ටිකක් සන්සුන් කරගන්න ඕනෙ”

“යං. මාත් එන්නං”

තඹරු ඔහු ව ප්‍රතික්ෂේප කළේ නැත. මෝටර් රථය වන්නේ අයිනට වන්නට ය. ඔහු දුරස්ථ පාලකයෙන් දොර අගුලු දමා ඇති බව තහවුරු කරගත්තේ ය.

පස් වෙනි පටුමග යනු දෙව් ලොවට යන මාවත වැන්න. එය එතරම් ම නිවුණේ වෙයි. තඹරු ඒ සෙවනැති සිසිල තුළ හදවතින් ගිලී ගියා ය. සුළඟේ ගී හඬ ඇසෙයි. කුරුලු කූජන සංගීතය සපයයි. සමනල් ඇය ළඟින්, ඇගේ සිරුරේ ස්පර්ශ වෙන- නො වෙන තරම් සමීපයෙන් පිය නැගුවේ ය. වරින් වර ඔහු ඇගේ මුහුණ දෙස බැලුවේ ය.  තඹරු කිසිත් පවසන්නට උත්සාහ දරනා බවක් පෙනෙන්නට නැත.

“දැන් ඔයාට කොහොමද තඹරු…”

මුල දී පිළිතුරු නොලද පැනය ඔහු නැවත ද යොමු කළේ ය. ඒ ඉතා ප්‍රවේසමෙනි. යමක් සිදුව ඇති බව ඔහු ට දැනෙයි. ඒ අසනීපයක් නොවනා බව ද දැන් ඔහු ට හැඟෙයි. නමුත් ඒ කුමක් දැයි නිශ්චිත නැත. එබැවින් ඇය වෙත ප්‍රවේශ විය යුත්තේ ප්‍රවේසමෙනි. ඇගේ හදවතේ සංවේදී ම තැනකට අත තබන්නට සිදු වේ නම් එය කළ යුත්තේ ඊටත් වඩා ප්‍රවේසමෙනි. ඒ බව ඔහු දැන සිටියේ ය.

“මං දන්නෑ”

ඇය දුර්වල ලෙස මිමිණුවා ය.

“ඒ කිව්වෙ…”

“මගෙ ඔළුව පැලෙන්න එනව. මං මැරෙයිද කියල මට හිතෙනව. ඒත් මට එහෙම මැරෙන්න බෑ. මගෙ තාත්ති පව්. අපි පව්. අපි කොච්චර දුක් වින්දද…අපි නොකළ වරදකට…ඒ වැරදි කරපු කෙනා එහෙම ඉඳං මගෙ තාත්ති මෙහෙම ඉන්නව දකිනකොට මට වාවන්නෑ. මං දන්නෑ මං මොකද්ද කරන්න ඕනෙ කියල. මේව අම්මිට කියල එයාව අවුල් කරන්නත් හිතෙන්නෑ”

“ඒක මටවත් කියන්න බැරි දෙයක්ද…”

තඹරු එහෙම ම මග නතර වී සමනල් ගේ මූණ දෙස හොඳින් බැලුවා ය. හිතේ වන මේ ආවේගය පිට කරන්නේ කෙසේ ද කියා ඇයට වැටහුමක් නැත. නමුත් ඇගේ දෑස් දුටු සමනල් තිගැස්සුණේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles