ශරදාකාසේ -23

ඒ උදය ට හිරු පෑයුවේ ම සංවේගී ව ය. විටින් විට පොසොන් වැහි හමා ගියේ ය. වරින් වර පොළොව තෙමුණේ ය. විටින් විට අහස අඳුරු වූයේ ය. ශාරද ගියේ පංචලී ගේ නිවස දෙසට ය. ඇගේ ගෙදරට හැරෙනා ගුරු පාර ළඟ රිය නවතා ගෙන ඔහු ඇය ට දුරකතනයෙන් කතා කොට ඇය ව එතැනට ගෙන්වා ගත්තේ ය.

“මට බස් එකේ යන්න තිබුණනෙ”

ඒ මූසල ගුප්ත නිහඬ බව පංචලී ගේ පපුව සූරන්නට වූයෙන් ඇය යමක් කියා ගත්තා ය. නමුත් ඒ කී දේ තුළ වූ වචනාර්ථය ගැන හැඟීමක් ඇයට වූයේ නැත. ඒත් ශාරද කතා නොකළේ ය. ඔහු රිය පදවා ගෙන ගියේ මීට පෙරත් ඔවුන් හමු වී කතා බහ කරන උඩු මහලක් සහිත අවන්හල වෙතට ය. එහි උඩු මහලේ මේස වෙත යන්නේ පෙම්වතුන් ම ය. ඒ නිසා එහි වන පෙම් බස් මිමිණීම් හෝ ආලිංගන ගැන කිසිවෙකුට ඒ හැටි වගක් නැත.

ශාරද ගේ අසීමිත නිහඬ බව, යමක් සිදු ව ඇති බව පංචාලිට දනවයි. නමුත් සිදු ව ඇත්තේ කුමක් දැයි ඇය ට නිශ්චිත නැත. නිශාමනී ශාරද පසු පස පිය ගැට පෙළ නැංගා ය. වෙනදා සේ ඔහු ඇගේ අතකින් අල්ලා ගත්තේ නැත. ඒ වෙනස ඇය ට නො දැනුණා නොවේ. නමුත් පංචලී ඒ දේවල් ගැන වද නොවී ඉන්නට තරම් මේ වෙත්දී අත්දැකීම් අතින් මෝරා වැඩී සිටියා ය.

අසුන් ගත වූ පසු ඔහු ඇදෙස එක එල්ලේ ම බලා සිටියේ ය. සිය පිරිමි පපුව ඇදුම්කනු ඔහු ට දැනිණ. මේ දේවල් මේ තරම් ඉක්මනට මේ විදිහට පුපුරා යනු ඇතැයි ඔහු සිහිනයෙන් හෝ හිතා සිටියේ නැත. මඳ වෙලාවක් ශාරද දෙස බලා උන් පංචලී බිම බලා ගත්තා ය. ඇය ගැන මහත් දයා අනුකම්පාවක් ඔහු ගේ සිත වසා ගත්තේ ය. 

“ඇයි මට කියන්නැතුව නිශාමනීට කියන්න ගියේ…”

ශාරද ගේ මුළු පපුව ම නාය ගියේ ය. මේ තරම් අසරණ හැඟීමක් මින් පෙර කිසි දාක මේ විදිහට ඔහු ගේ හුස්ම හිර කොට නැත. 

“ආ…”

“දරුවෙක් කියල ඇයි මට කිව්වෙ නැත්තෙ…මං ඔයාව අසරණ කරන්නෑ කියල ඔයා දන්නව. එහෙම එකේ ඇයි නිශාමනී ට කියන්න ගියේ…එයා කොහොම ඒක දරා ගන්න ඇත්ද…දෙයියනේ…මං…මං…මං නිසා එයා…එයා මොන දුකක්ද විඳින්න ඇත්තෙ…මට මේක දරා ගන්න බෑ පංචලී. නිශාමනී වගේ අහිංසක ගෑනියෙක්ට වාව ගන්න පුළුවන් ද මේක…”

හඬන්නට පෙර අහස කළු වන්නා සේ ශාරද ගේ ඇස් මුලින් රතු වූයේ ය. ඊළඟට ඒවාට කඳුළු පිරී ආවේ ය. ඔහු අතැඟිලි වලින් ඇස් තද කොට කඳුළු මිරිකා හැරියේ ය. 

“එහෙනං ඇයි ඔයා මට බොරු කිව්වෙ…ඇයි කිව්වෙ නිශාමනී ඔයාට ආදරේ නෑ කියල..ඇයි කිව්වෙ ඒ ජීවිතේ අපායක් කියල…ඇයි ශාරද ඔයා එහෙම කළේ…එහෙම නොවුණනං මං ඔයාට ලං වෙන්නෙ නෑ නේද…එක අතකට මේව අපි වගේ කෙල්ලන්ට හොඳ පාඩං”

“එහෙම බොරුවක් කිව්වට මං ඔයාට ආදරෙයි කියන එක බොරුවක් නෙවෙයි පංචලී”

පංචලී ඔහු ගේ කමිස අත ගුලි කොට අල්ලා ගත්තා ය. ඊළඟට ඒ අත මත හිස හොවා ඉකි බිඳ හඬන්නට පටන් ගත්තා ය.

“ඇයි දෙයියනේ මෙහෙම වුණේ…ඇයි අපිට මෙහෙම වුණේ…”

ටික වෙලාවක් ගෙවී ගියේ හැඬුම් වැළපුම් වලට ය. කඳුළු තුනී වූ ඉක්බිති ඔවුහු උනුන් දෙස බලා ගත්හ.

“ඔයා මේ ගැන මොනවත් හිතන්න එපා ශාරද. නිශාමනී ව මුණ නොගැහුණානං මේ වෙලාවෙ මං ඔයාට කියයි කොහොමහරි මාව බඳින්න කියල. ඒත් දැන් මට එහෙම කියන්න බෑ ශාරද. ඒකට කමක් නෑ. මං මේ දරුවව හදනව. මේ අපේ ආදරේ. මං ඒ ආදරේට කවදාවත් වෛර කරන්නෑ. මට එහෙම කරන්න බෑ”

ශාරද ගේ හිතේ බොහෝ සැලසුම් තිබිණ. කොහොමටත් ඔහු හිතා ගෙන සිටියේ පංචලී ව විදේශයකට යවන්නට ය. විටින් විට එහි ගොස් ඇයත් සමග ජීවත් වන්නට ය. දැන් සියල්ල අවුල් වී තියේ. නූල් බෝලයක් සේ පැටලී ගිහින් තිබේ. යළි සියල්ල පෙරපර ගලපා ගත හැක්කේ කෙසේ දැයි ශාරද ට සිතා ගත නො හැකි ය. සියල්ල ට පෙර නිශාමනී ගේ හිත හදා සිටිය යුතු බව ඔහු ගේ හිත කියා සිටියේ ය.

නිශාමනී ගියේ සිය දෙමාපියන් ගේ නිවසට ය. එසඳි ද කැටිව ඇය කිහිප විටක් එහි පැමිණියෙන්, නිශාමනී කුළී රියෙන් බසිත්දී මිදුලේ උන් පිලපිටිය යුවලට එහි සුවිශේෂත්වයක් වූයේ නැත. නමුත් කුළී රථ රියදුරා ඩිකිය හැර ලොකු ඇඳුම් බෑග් කිහිපයක් බිමට බාත්දී නම් ඔවුහු මුහුණෙන් මුහුණ බලා ගත්හ.

“මං ආයෙ ගෙදර යන්නෑ අම්ම”

නිශාමනී පිලපිටිය මැතිණිය ගේ පපුවේ ඔබා ගෙන මඳ වේලාවක් සිටියා ය. දෙමහල්ලෝ වචනයක් හෝ නො කියන්නට ප්‍රවේසම් වූහ. සිය දියණිය ශාරද ට කෙතරම් ළෙංගතු දැයි ඔවුහු ඉතා හොඳින් දැන සිටියහ. ඇය වාගේ වැදගත් කමට හැදුණ කීකරු දියණියක මවු පියන්ට අකීකරු වූයේ ද ඒ ප්‍රේමයේ තිබූ ශක්තිමත් කම නිසා බව ඔවුහු අවසාන වශයෙන් තීරණය කළහ. යළි ඇය ට සමාව දී මහ ගෙදරට එන්නට ඉඩ දුන්නේ ද එබැවිනි. නමුත් ශාරද කියන්නේ පිලපිටිය මහතා ගේ හිතේ කිසි සේත් ප්‍රසාදයක් ඇති කළ පුද්ගලයෙකු නොවේ. ඒ ඔහු ගේ පියා ගේ කල්ක්‍රියාව නිසාවෙන් ම ඇති වූ අප්‍රසන්න භාවයකි.

“දුව දැං ගෙට යන්නකො. යමුනා දුවව ඇතුළට එක්කං යන්න”

පිලපිටිය මහතා ඇසින් බිරිඳට කීවේ නිශාමනී ට කිසිත් නොකියා නො අසා හිඳිනා ලෙසයි. දෙන්නා අතරේ කුමක් හෝ බහින් බස් වීමක් වන්නට ඇතැයි ඔවුන් දෙදෙනා ට ම සිතිණ. මීට පෙර එවැනි තත්වයක් මත නිශාමනී මහගෙදර පැමිණ නැත ද, දිනක් දෙකක් යන විට ආවේග තුනී වී ඇය ශාරද වෙත යනු ඇති බවට ඔවුහු වචන රහිත ව ම එකඟතාවයකට පැමිණියහ.

ශාරද කල්පනා කළේ ඉදිරි කටයුතු කෙසේ සිදු කළ යුතු ද කියා ය. මේ විදිහට රහස් හෙළි දරව් වූයේ කෙසේ දැයි ඔහු ට නම් සිතා ගත නො හැකි ය. අනිත් අතට මේ වාගේ කාරණයක් මත ඔහු ගෙන් වෙන් වීම අපේක්ෂා කරන්නට තරම් නිශාමනී කලබල වන්නේ ඇයි දැයි ඔහු ට සිතන්නට ඕනා විය. මීට වඩා සන්සුන් ව ඇය මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතු යයි ඔහු සිතුවේ ය.

 ශාරද කිහිප විටක් ගෙදර දුරකතනය ට ද නිශාමනී ගේ ජංගම දුරකතනය ට ද ඇමතුම් ගත්තේ ය. එය වූ කලී අමුතු දෙයක් නොවේ. කොහොමත් බොහෝ දින වල ඔහු කෑම විවේකයේදී කෑමට යාමට පෙර නිශාමනී ට ඇමතුමක් ගත්තේ ය. ඇය කෑවා ද බීවා ද කියා විමසුවේ ය. සිඟිති එසඳි සමගින් ඇගේ හුරතලයක් අත් වින්දේ ය. කාර්යාලයේ දීත් හැම මොහොතක ම ඔවුන් දෙදෙනා සිය හදවත තුළ ජීවත් වෙන බව ඇඟවූයේ ය. සැබවින් එය එසේ නොවූවා ද නොවේ. ඔහු ගේ හදවතේ ඔවුන් වෙනුවෙන් විශාල ඉඩක් වෙන් වී තිබිණ.

දුරකතන වලට පිළිතුරු නො දෙන්නේ ඇගේ හිතේ ඔහු ගැන වන අමනාපය නිසා යයි ඔහු සිතා ගත්තේ ය. නිශාමනී සන්සුන් වන්නට තව පෝ කාලයක් ගත වනු ඇත. නමුත් පංචලී ගේ කුසයට ආ රාහුල බැම්ම ශාරද ගේ හිතේ ගිනි අවුලා තිබේ. 

“මට පුතෙක් ඕනෙ”

පංචලී එක්ක ප්‍රේමාලිංගනයෙහි යෙදෙත්දී ඔහු එසේ කියා තිබෙන්නේ වරක් දෙවරක් නොවේ. ලංකාවේ නැති වුව ද වෙනත් රටක ඔවුන් ගේ පුංචි ලෝකයක් ගොඩ නගා ගන්නට ඔහු හිතෙන් සැලසුම් හැදුවේ ය. ඊට පෙර දෙබරයට ගලක් වැදී තිබේ!

“මල්ලි මට තමුසෙ එක්ක කතා කරන්න ඕනෙ. අපි වේලාසන ගෙදර යමුද…ශාමි ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ”

හැන්දෑවේ ආකාස ට කතා කොට ශාරද එසේ කියා සිටියේ ය.

“ආන්සර් කරයිද ඕයි තමුසෙ කරල තියන බලු වැඩ වලට…”

ආකාස දුරකතනයෙන් ද ගුගුළේ ය. 

“හරි හරි. තමුසෙට පුළුවන්ද එන්න…”

“එන්නං”

ශාරද ගෙදර ගියේ රෑ කෑම ද මී ව්ත බෝතලයක් ද එසඳි වෙනුවෙන් රස කැවිලි බෑගයක් ද මිලදී ගෙන ය. නමුත් වෙනදා සේ මහ දොර හැර දමා තිබුණේ නැත. ශාරද කිහිප වරක් දොරට ගසමින් කතා කළේ ය. නමුත් දොර හැරුණේ හෝ නිශාමනී කතා කළේ නැත. පණ පිටින් පොළොවේ වැළලී යන්නා සේ ඔහු ට දැනිණ. පාර්සල කිහිපය පුටුවක් මත අත් හැරිය හෙතෙම ශෝකයේ පරිසමාප්තියෙන් කිසිදු අරමුණකින් තොර ව බරාඳයෙහි ඒ මේ අත සක්මන් කළේ ය. සැලසුම් කළ පරිදි සියල්ල සිදු කර ගන්නට පමා වූ ඔහු ට ම ඔහු ශාප කළේ ය. අනිත් අතට නිශාමනී ට මේ විදිහට ඉක්මන් නොවී ඉන්නට තිබුණායි ඔහු තනිව දොස් කීවේ ය.

ආකාස පැමිණියේ ශාරද උන්මන්තකයෙකු සේ බරාඳයෙහි ඒ මේ අත කැරකෙමින් සිටියදී ය.

“ශාමි ගිහිං”

ඔහු ට කියවුනේ හැඬුම්බර ස්වරයකිනි. හරියට පාසල් ගොස් එන්නට පෙර අම්මා ඔහු දා ගමනක් ගොස් තිබූ වෙලාවක දරුවෙකු මෙනි. 

මොහොතකට ආකාස පාෂාණිභූත විය. මේ කොයි මොහොතේ හෝ සිදු විය හැකි දෙයක් බව දැන සිටිය ද එය සිදු වූ ඉක්බිති ඊට කෙසේ මුහුණ දෙන්නද කියා ඔහු දැන සිටියේ නැත. අනිත් අතට නිශාමනී නොමැති ශරදාකාසයක් කෙසේ වනු ඇත්ද කියා ඔහු හිතන්නේ දැන් ය. යන බවක් නො කියා ම ඇය ගිහින් තිබේ. ආයේ ඇය නො එනු ඇත. නිශාවනී කෙබඳු ගැහැනියක ද කියා ආකාස දනී. හැඬෙන්නට ම ආවත් ඔහු ආයාසයෙන් සිය හැඟීම් තද කර ගත්තේ ය. අයියා ගේ බිරිඳ ගේ හැර ගිය දුකට හඬන්නට අයිතියක් ඔහු ට නොවන බව ද ආකාස දැන සිටියේ ය. ඔහු බරාඳ පුටුවක් මතට වැටී හිස බිත්තියට බර කර ගෙන ඇස් පියාන ටික වෙලාවක් හිටියේ ය.  ඊළඟට හදිසියේ ම සිහිපත් ව නැගිට පාපිස්ස යටින් යතුර ගෙන ගෙදොර හැරියේ ය.

වෙනදා පෙර මගට එන්නේ ඇය සිනහ වෙවී ය. නමුත් විවර වූ දෙපියන් මහ දොරෙන් අද ගෙතුල සිට පැමිණියේ උහුලා ගත නො හැකි මූසල පාළුවකි. ආකාස ගෙතුලට නො ගොස්, කමිසයේ බොත්තම් කිහිපයක් විවර කරමින් යළිත් පුටුව මතට ම වැටුණේ ය.

“ඇයි ඕයි තමුසෙ ඒ හැම දෙයක්ම විනාස කරල දැම්මෙ…”

අවසන ඔහු සුසුමකින් අසා ගත්තේ ය.

“දෙයියම්ප තමුසෙ මගෙ අයිය නොවුණනං මගෙ අතින් තමයි මැ රෙ න් නෙ…”

ශාරද පුටුවේ ඉදිරියට බර වී දෑතෙහි හිස රඳවා ගත්තේ ය. ඔහු ගේ හිත මේ මොහොතේ රළ නගනා සයුර මෙනි. කැළඹීමක් මිසක් සන්සුන් කමක් නොමැත්තේ ය. රළ නගනා සිතිවිලි අතරේ ඔහු ගේ මනසෙහි අතීත සිතුවම් කිහිපයක් හොල්මන් කරයි. ඒ අතරේ ඔහු ගේ මව ද පියා ද සිය පන්තියේ උන් මිතුරෙකු ගේ ද රුව ඇඳී මැකී යයි. මේ සියල්ල ඒ අතීතය තෙක් මුල දුවා ඇති සෙයක් ඔහු ට දැනෙයි.

“නිශාමනී වගේ ලස්සන..වැදගත්…ඒ ඔක්කෝටම වඩා ආදරණීය වයිෆ් කෙනෙක් ඉඳගෙන කොහොමද අයියෙ තමුසෙගෙ හිත තවත් කෙල්ලෙක් ළඟ නතර වුණේ…මට ඒක දැන ගන්නම ඕනෙ. කොහොමද එහෙම වෙන්නෙ…හැම පිරිමියම ලව් කරල කසාද බැඳල අන්තිමට ඔහොම වෙනවනං…ඇත්තමයි මටනං කසාද බඳින්න ඕන නෑ”

ශාරද සුසුමක් හෙලමින් ආකාස දෙස බැලුවේ ය. සොයුරා ගේ මූණේ වන පරාජිත බව තේරුම් ගන්නට බැරි කමක් ආකාස ට නැත. නිශාමනී වන් බිරිඳක අහිමි කර ගන්නා මිනිසෙකු යනු පරාජිතයකු බව අමුතුවෙන් කිව යුතු ද නැත.

“මං ශාමිට ආදරේ කළේ නෑ කියලද තමුසෙත් හිතන්නෙ මල්ලි…මං එයාටයි දුවටයි ආදරේ කළා. ඒගොල්ලො වෙනුවෙන් හැම යුතුකමක් ම ඉටු කළා. ඕන තරං සල්ලි වියදං කළා. මං පංචලීටත් ආදරේ කළා තමයි. ඒත් ඒක මේ තරං වරදක් වුණේ කොහොමද…”

“මොකද්ද…තමුසෙට පිස්සුද ඕයි…”

වහා අසුනෙන් නැගී සිටි ආකාස නොරිස්සුම් හැඟීමෙන් කාමරය දෙසට ගියේ ය. ඔහු ගේ සපත්තු අඩි හඬ, වෙනදා නොවූ තරමට පාළු ගෙතුළ දෝංකාර දුන්නේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...